මානව විශ්වීයත්වය සහ නිදහස හෙවත් “වාර්ගික ජීවියා ( Species Being )”

මානව විශ්වීයත්වය සහ නිදහස හෙවත් “වාර්ගික ජීවියා ( Species Being )”

මානව නිදහස, මිනිස් අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසි බලය, සිවිල් සමාජය, සදාචාරය, ආචාරධාර්මිකත්වය ආදි සංකල්පයන් බලගන්වන්නේ හෝ සවිමත් කරන්නේ කෙසේද? ඒ සදහා සුදුස්සන් කවුද? එවැනි දෑ බලගැන්වීම හෝ ඒවාට අනුව මිනිසුන් ජීවත් විය යුතුය යන්න ඔවුන් දැනගත්තේ කෙසේද?, ඔවුන් එවැනි බලගැන්වීම් සදහා සුදුසුකම් ලද්දවුන් වූයේ කෙසේද?, යන්න සැලකීමේදී ප්‍රජාතන්ත්‍රවාදී – ලිබරල් – සිවිල් සමාජ ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන, දක්ෂිනාංෂික සහ වාමාංෂික දේශපාලන පක්ෂ ආදී බොහොමයක් අපට හමුවනු ඇත. ඔවුන් මේ මොහොතේ කටයුතු කරමින් සිටින්නේ සහ මිනිසුන්ට කියා දෙමින් සිටින්නේ මිනිසුන් ජීවත්විය යුතු ආකාරය සහ මිනිස් නිදහස අත්පත කරගත හැක්කේ කෙසේද යන්නයි. මොවුන්ගේ මෙම ගෙනහැර දැක්වීම් හමුවේ සිහිගැන්වෙන්නේ මාක්ස් විසින් ෆොයාබාග් විවේචනය කරමින් ඉදිරිපත් කල “ශුද්ධ වූ පවුල” පිළිබදව අදහසයි. එනම් ෆෙයාබග්ට අනුව ශුද්ධ වූ පවුලක් සිටියි. ඔහු තේරුම් නොගන්නේ “ලෞකික පවුල” හැර ශුද්ධ වූ පවුලක් නොමැති බවයි. එනම් ලෞකික පවුලේ සියලු දුර්ගුණයන් කෙලෙසූ ශුද්ධ වූ පවුල යනු පරිකල්පණයකි. එය ලෞකික පවුලේ වියුක්තනයක් මිස මිහිපිට පවතින්නක් නොවේ. එලෙස ගත් කල මොවුන් ” මිනිසුන් ජීවත්විය යුතු ආකාරය සහ මානව නිදහස”, ලෙස පවසන්නේ  යතාර්තයෙන් වියුක්තනය කරන ලද නිදහසක් පිළිබදව කරන ලද  විවිධ අර්තකතනයන් හා ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමෙන් අනාගතයේදී එම නිදහස අත්පත් කරගත හැකිය යන නිශ්ඵල දේශනාය. එම දේශනා වලට අනුව මිනිස් ව්‍යවහාරය තුල මිනිසුන්ට නිදහස තව තවත් අහිමි වන අතර  හමුවනුයේ විඳවීමට ලක්වන මිනිසුන් පමනි. එම නිසාම “වාර්ගික-ජීවියා” පිළිබදව කතිකාව මේ මොහොතේ වැදගත් වන්නකි.

වාර්ගික-ජීවියා  ( Species – being )

වාර්ගික-ජීවියා යන සංකල්පය හදුනාගත හැකි එක් ආකාරයක් නම් එය යම් ආකාරයක මනුෂ්‍ය සාරයක් ලෙස සැලකීමෙනි. මෙම මනුෂ්‍යය සාරය පිළිබද අදහසට බටහිර දර්ශනය තුල දිගු අතීතයක් වෙයි.

ඇරිස්ටෝටල් :-

ඇරිස්ටෝටල්ට අනුව මිනිසා ස්වභාවයෙන්ම තාර්කික නැතහොත සබුද්ධික ( rational) සත්වයෙකි. ඔහුට අනුව එය සාධනය කරගත හැකිවන්නේ අනෙක් පුද්ගලයන් සමග අන්‍යෝන්‍ය සාංගමික සම්බන්දතාවය තුලය. මෙම එකිනෙකා අතර වන සාංගමික ( associative) සම්බන්දයේ ආකාරය රාජ්‍යයක ආකාරයක් ගන්නා අතර එය  ඇරිස්ටෝටල් විසින් “පෞර රාජ්‍යය”  ( Polis ) ලෙස නම්කරන ලදී.

රූසෝ :-

රූසෝ මිනිස් සාරය ලෙස සැලකුවේ නිදහසයි. ඔහුට අනුව ” නිදහස අසන්තක (අහිමිකිරීම) කිරීම යනු යමෙකුගේ මනුෂ්‍යත්වය අසන්තක කිරීමකි.” මිනිසා තුල සෑම විටම පොදු අභිප්‍රායක් මෙන්ම සුවිශේෂ අභිප්‍රායක්ද (general will and particular will) පවතින අතර එම නිසාම ඔහු තමා ගැනම හිතන්නේ සුවිසල් සමස්තයක කොටසක් වශයෙන් මෙන්ම තනි පුද්ගලයකුද වශයෙනි. එබැවින් ඔහු ස්වභාවික නිදහස වෙනුවට සිවිල් සහ සදාචාරාත්මක නිදහස අත්පත් කරගනිමින් පළමු වතාවට සැබෑ ලෙස නිදහස් වෙයි. එම නිදහස ඔවුන්ට අත්පත් කරගත හැකිවන්නේ රාජ්‍යය නැමැති සංස්ථාව පිහිටුවාගැනීමෙන් බව රූසෝ පවසයි. එහිදී “සුජාත / නීත්‍යානුකූල රාජ්‍යය ( legitimate ) සමාරම්භ කරන සමාජ සම්මුතිය හුදෙක් මෙම අත්‍යාවශ්‍ය නිදහස රකිනවා පමනක් නොව මිනිසා තුල සැලකිය යුතු වෙනසක්ද ඇති කරයි.” මේ අනුව රූසෝ , ඇරිස්ටෝටල්ගේ පෞර රාජ්‍යය වෙනුවට සුජාත රාජ්‍යය හදුන්වාදෙන අතර එමගින් මිනිසාට සිය සාරය අත්පත් කර ගැනීමට අවස්තාව සලසන බව පෙන්වාදෙයි.

ෆිෂ්ට :-

රූසෝගේ සෘජු අනුගාමියකු වන ෆිෂ්ට මනාව ආයතනගත ව්‍යවස්ථාපිත රාජ්‍යය මනුෂ්‍යයන්ට සිය නිදහස් සාරය සාධනය කරගැනීමට ඉඩ සලස්වන බව පවසයි. එසේ වුවද රූසෝට අනුව මේ නිදහසට පැවැත්ම ලබාදෙන්නේ ගිවිසුමක් මගින් වුවද, “අන්‍යෝන්‍ය හදුනාගැනීම / පිළිගැනීම “( mutual recognition ) මගින් මිනිසුන්ගේ නිදහස පවතින බව ෆිෂ්ට පවසයි. වෙනස් ලෙසකින් පවසන්නේ නම් ෆිෂ්ට අනුව තනි තනි මානවයන් නිදහස් වන්නේ ඔවුන් එකිනෙකා නිදහස් මිනිසුන් ලෙස අන්‍යෝන්‍යව හදුනාගැනීමෙනි/ පිළිගැනීමෙනි. මෙම සබදතාවය ” අයිතිවාසිකමෙහි සබඳතාවයක්” ( relation of right ) ලෙස හදුන්වාදෙන ඔහු සුජාත හෝ අයිතිවාසිකම් සහිත රාජ්‍යය (rightful state) යනු එම සබඳතාවය ආයතනගත වීම ලෙස දකියි. එමෙන්ම රූසෝ මෙන්ම ෆිෂ්ට අනුවද මිනිසුන්ගේ නිදහස් සාරය සාධනය කරගත හැක්කේ අන්‍යෝන්‍ය හදුනාගැනීම / පිළිගැනීම තුලින් වන අතර එය සාධනය වන්නේ කිසියම් ආකාරයක රාජ්‍යයකට ඇතිලු වීමෙනි.

හෙගල් :-

මාක්ස්ට පෙර බටහිර දාර්ශනිකයන් අතරින් හෙගල් මිනිස් නිදහස සම්බන්ද කතිකාවේ සුවිශේෂීත්වයක් දරයි. ඇත්ත වශයෙන්ම වාර්ගික ජීවියා සම්බන්ද මාක්ස්ගේ අදහස ඉදිරිපත් කිරීමට ඉවහල් වන පුද්ගලයා හෙගල්‍ ය. අපට කිව හැක්කේ හෙගල් නොවන්නට මාක්ස්ට මෙම අදහස නිරවුල්ව ඉදිරිපත් කිරීමට නොහැකි වන බවයි. එනම්, හෙගල් නොමැතිව මාක්ස් කෙනෙකු බිහිවිමේ වියහැකියාවක් නොමැති බවයි. කෙසේවෙතත්, හෙගල්ට අනුවද මිනිස් නිදහස අන්‍යෝන්‍ය හදුනාගැනීම / පිළිගැනීම මත අත්පත් කරගැනෙන්නේය යන්න කල්පනය කරන අතරම එය අයිතිවාසිකම් සහිත රාජ්‍යයක් තුල ආයතනගත වූවක් ලෙස දකිමින් ෆිෂ්ටගේ අදහසේම  පිහිටයි. නමුත් හෙගල්, ෆිෂ්ටගේ සංකල්පීකරණයෙන් මූලධාර්මිකව වෙනස් වෙයි. එනම්, හෙගල්ට අනුව අප අන්‍යෝන්‍යව හදුනාගැනීම/පිළිගැනීම අත්පත් කරගන්නේ අප එකිනෙකා නිදහස් තනිපුද්ගල ස්වාත්මතා (free individual selves) ලෙස නමුත් එය සිදුවන්නේ තනි විශ්වීය හෝ සාමූහික ස්වාත්මතාවයක ( universal or collective self ) කොටසක්ද වශයෙනි. එනම් , මින් අදහස් කරන්නේ තනි පුද්ගලයකු තමාව හදුනා ගනු ලබන්නේ විශ්වීයව හෝ සාමූහිකව වන අතර ඔහුට තමාව විශ්වීයව හෝ සාමූහිකව හදුනා නොගන්නේනම් තනිපුද්ගලයකු ලෙස හදුනාගැනීමට නොහැකිය යන්නයි. තවත් ලෙසකින් පවසන්නේනම් මෙය ව්‍යූහාත්මක හදුනාගැනීමකි. එනම්, තමා වැනි තවත් පිරිස් නොවන්නට තමාව කිසිසේත් හදුනා ගත නොහැකිය යන්නයි. ඒ ආකාරයෙන්ම හෙගල් පවසන්නේ මිනිසාද තමාව හදුනා ගන්නේ සහ පිළිගන්නේ මෙම සාමූහිකත්වය සහ විශ්වීයත්වය තුල බවයි. මිනිසුන්ගේ පැවැත්ම සිදු වන්නේ ම මෙම සාමූහික හදුනාගැනීම සහ පිලිගැනීම තුලය. හෙගල් මෙම අන්‍යෝන්‍ය හඳුනාගැනීම / පිළිගැනීම ” විශ්වීය ස්වයංසවිඥානිකත්වය” (universal self – consciousness) ලෙස හදුන්වා දෙන ලදී. එය ඔහු මෙසේ පැහැදිළි කරණු ලබයි.

“විශ්වීය ස්වයංසවිඥානිකත්වය යනු යමෙකුගේ ස්වාත්මය අනෙක් ස්වාත්මතාව තුල අස්ත්‍යාර්තයෙන් (affirmative) දැනගැනීමයි. එහි අනන්තරතාව (immediacy) හෝ ආශාව නිශේදනය මගින්, එයම අනෙකාගෙන් වෙනස් නොකරන හෝ වෙනස් කල නොහැකි අතර එය විශ්වීයද වාස්තුවිෂයක (objective) ද වෙයි.  එය එසේම නිදහස් අනෙකා තුල හදුනාගැනීමට/ පිළිගැනීමට දන්නේය යන්න තුල සැබෑ විශ්වීයත්වය අන්‍යෝන්‍යභාවය ලෙස ලැබෙයි. එසේම එය අනෙකා හදුනාගන්නා/ පිළිගන්නා සහ එය නිදහස්‍ ය යන්න දන්නා තාක් දුරට මෙය දන්නේය. එකිනෙකා හා බැදුණු ස්වයං-සවිඥානික ආත්මවලට, ඔවුන්ගේ අසමාන තනි සුවිශේෂභාවය යටපත් කිරීම මගින් ඔවුන්ගේ සැබෑ විශ්වීයත්වයට එසවීමත් සියලු දෙනාට අයත් ඔවුන්ගේ නිදහසත් ලබාගන්නා අතර නිශ්චාත්මක අනන්‍යතාවය (determinate identity with each other) දැකීමට හැකියාවද ලබාගනී.”

මේ අමුතු (peculiar) හදුනාගැනීම / පිළිගැනීම – එක වරම අනෙකා මගෙන් විශේෂ සහ ස්වායත්ත (වෙන්) වන බවක් පෙන්වූ නමුත් එහි මූලයේ මට සමාන ලෙස හදුනාගැනීම/ පිළිගැනීම සිදුවෙයි. මෙය හෙගල්ගේ මිනිසාගේ ප්‍රානේන්ද්‍රිය නැතහොත් සාරය (spirit) පිළිබද සංකල්පයයි. ඔහු එය phenomenology of spirit කෘතියෙහි පළමුවරට හදුන්වා දෙනු ලබන්නේ මෙසේය.

“සවිඥානිකත්වය සඳහා එයට ඉදිරියෙන් තවමත් පවතින දෙයනම් ප්‍රානේන්ද්‍රිය / සාරය කුමක්දැයි අත්දැකීමයි – එහි ප්‍රතිවිරුද්ධයෙහි පූර්ණ නිදහස සහ ස්වාධීනත්වය තුල වන, නම් වශයෙන් කියතොත් වෙනස් වෙනස් ස්වයං – සවිඥානිකත්වයන් ඒවා සදහාම පවතින, මේ පරම සාරය (substance), ඒවායෙහි එකමුතුවයි. අපි වන මම සහ මම වන අපි (I that is we and we that is I) ය.”

එනම් ප්‍රානේන්ද්‍රිය / සාරය ( මින් ඉදිරියට සාරය ලෙස නම්කරනු ලබයි) යනු එක විට “අපි” ක් එනම් තනි විශ්වීය හෝ සාමූහික ස්වාත්මයක්, මෙන්ම ‘මම’ ක් එනම් වෙන් වෙන් ස්වාත්මවල බහුත්වයක්ද වෙයි. වෙනත් ලෙසකින් කිවහොත් මිනිස් සාරය පිහිටන්නේ විශ්වීයව හෝ සාමූහිකය තුලය. එය තනි පුද්ගලයකු  වන මම තුල සාධනය නොවන අතර මම යනු විශ්වීයත්වය තුල වෙසෙන්නෙකි. මින් අදහස් කෙරෙන්නේ අපි තුල මම පිහිටන අතර අපි නොවන්නට මම යන සුවිශේෂී පුද්ගලයකු පවතින්නේ නැත යන්නයි. එවිට විශ්වීය ස්වාත්මයක් ලෙස එය ස්වයං-සාධිත (self-grounding ) ය. එනම් මිනිසුන්ගේ සාරය යනුම පොදු විශ්වීය පැවැත්මකි. එහිදී තනි පුද්ගල ස්වාත්මය හුදෙක් එහි ප්‍රකාශන මාදිළික් පමණි. නැතහොත් තනි පුද්ගලයා යනු හදුනාගැනීම සදහා ප්‍රකාශ කරන ආකාරයක් පමණක් වන අතර මිනිස් පැවැත්ම යනු පොදු, විශ්වීය ආකාරයයි. එහෙත් ඒ අතරම මේ තනි පුද්ගල ස්වාත්මමත් ” ස්වාධීන” සහ ” ඒවා වෙනුවෙන්ම පවති” යි. එනම් තනි පුද්ගල ස්වාත්මතා ප්‍රතික්ෂේප වීමක් මෙහිදී සිදු නොවන අතර එම තනිපුද්ගල ස්වාත්මතා පවතින්නේ අනෙක් තනිපුද්ගල ස්වාත්මතා වෙනුවෙන්‍ යන්න මෙහිදී ප්‍රකාශමාන විය යුතුය. විශ්වීය ස්වාත්මය වනාහී මේ සියල්ලේ එකමුතුවකි. කෙසේවෙතත් පූර්ණ ලෙස සාධිත (realized) නැතහොත් ‘ පරම’ ( absolute ) සාරය සැකසෙන්නේ ( constituted) විශ්වීය ස්වාත්මයක් පැවැත්මට ගෙන එන්නා වූ තනි පුද්ගලයින් අතර මේ අන්‍යෝන්‍ය හදුනාගැනීම / පිළිගැනීම තුල බව පැහැදිලි කාරණයකි. මේ විශ්වීය ස්වාත්මය සහ එය සාදන ( compose ) තනි පුද්ගලයන් අතර නැතහොත් මේ විශ්වීය ස්වාත්මයෙහි සාමාජිකයින් ලෙස ක්‍රියාකරන තනි පුද්ගලයින් හා සුවිශේෂී තනිපුද්ගලයන් ලෙස ක්‍රියා කරන එම තනි පුද්ගලයන්ම අතර, දෙවැනි අන්‍යෝන්‍ය හදුනාගැනීමක් / පිළිගැනීමක් මගින් එය තවදුරටත් ප්‍රතිපූරක / අතිරේකනය ( supplemented ) වන්නේය. සරළව පවසන්නේනම් පළමුව පූර්ණ ලෙස සාධිත සාරය සැකසෙන්නේ විශ්වීය ( සාමූහික) ස්වාත්මයක් පැවැත්මට ගෙන එන්නා වූ තනි පුද්ගලයින් අතර වන අන්‍යෝන්‍ය හදුනාගැනීම / පිළිගැනීම තුලය. දෙවනුව  විශ්වීය ස්වාත්මයේ සාමාජිකයින් ලෙස ක්‍රියාකරන තනි පුද්ගලයින් සහ සුවිශේෂී තනිපුද්ගලයින් ලෙස ක්‍රියාකරන අය අතර අන්‍යෝන්‍ය හදුනාගැනීමක්ද/පිළිගැනීමක්ද සිදුවන අතර එමගින් මිනිස් සාරය පරිපූර්ණත්වයට පත්වෙයි. එනම්, විශ්වීය පොදු මිනිසා අනෙකා වෙනුවෙන් පවතින තනි පුද්ගලයින්ගෙන් සහ එම විශ්වීය පොදු පැවැත්ම සාදන තනි මිනිසුන් අතර වන සුවිශේෂී මිනිසුන් අතරද ඇතිවන අන්‍යෝන්‍ය හදුනාගැනීම සහ පිළිගැනීම විසින් මිනිස් සාරය සාදන වන බවයි.

“සංහිදියාවේ/ සමාදානයේ වචනය වන්නේ, එය පිළිබදවම ශුද්ධ ඥානය එහි ප්‍රතිවිරුද්ධයෙහි විශ්වීය සාරයක් ( essence ) ලෙස, එම ශුද්ධ ඥානය තුල පරම ලෙස ඒ වෙනුවෙන්ම සත්තාවක ( being for itself ) තනිභාවයක් ලෙස, දකින්නා වූ , පවතින්නා වූ ප්‍රානේන්ද්‍රිය / සාරයයි. එහි පරම ප්‍රානේන්ද්‍රිය / සාරය වන්නේ අන්‍යෝන්‍ය හදුනාගැනීමයි. / පිළිගැනීමයි. “

තව දුරටත් හෙගල් විසින් මෙම කාර්‍යසිද්ධිය ඉදිරියට ගෙනයන අතර ” ප්‍රානේන්ද්‍රියෙහි/සාරයෙහි එකම නිසැක / යතාභූත ගුණය ( authentic property ) වන්නේ “මිනිස් නිදහස” බව පෙන්වා දෙයි. ඒ අනුව මිනිසුන් නිදහස් බවට පත්වන්නේ ඔවුන් ප්‍රානේන්ද්‍රිය / සාරය පැවැත්මට ගෙන එන්නා වූ, අන්‍යෝන්‍ය හදුනාගැනීමේ / පිළිගැනීමේ ද්විත්ව ක්‍රියාව හරහායි. එනයින් රූසෝට සහ ෆිෂ්ටට මෙන්ම හෙගල්ටද අනුව මනුෂ්‍ය නිදහස යනු බද්ධ කාර්‍ය සිද්ධියකි ( joint achievement ). තවද, අනෙක් අය සමග පුද්ගලයකුගේ ප්‍රජාගතය (  community ) තනි පුද්ගලයකුගේ සැබෑ නිදහසෙහි සීමාවක් ලෙස නොසැලකිය යුතු අතර එය සැබැවින්ම එහි විශාලනයයි. එනම්, ප්‍රජාගත නොවන්නට මිනිස් නිදහස අත්පත් කරගත නොහැකිය. එබැවින් උසස්ම ප්‍රජාව, උසස්ම නිදහසයි. එහිදී ප්‍රානේන්ද්‍රිය / සාරය සහ සාරාත්මක / ආවශ්‍යක නිදහස නියමාකාරයෙන් සාධිත වන්නට නම් මේ ප්‍රජාවට හරි ආකාර / අයිතිවාසිකම් සහිත ( rightful) ( දර්ශනය පිළිබද ශබ්දකෝෂයේ rightful යන්නට දී ඇති සිංහල වචනය ‘ හරි ආකාර’ යන්නයි. එහෙත් මෙය අයිතිවාසිකම් සහිත නැතහොත් අයිතිවාසිකම් සපිරි යනුවෙන් පරිවර්තනය විය යුතුය. මන්ද rightful යන්න ‘ දේපලට, තනතුරට හෝ තත්වයට ඇති සුජාත/ නීත්‍යානුකූල අයිතිය’ හැගවෙන බැවිනි.) රාජ්‍යයක් තිබිය යුතුය.

මිනිසා නිදහස් ය, මෙය සහතික වන්නේම මිනිසාගේ සාරාණුකූල ස්වභාවය ( substantial nature ) මතයි. ස්වභාවික නිදහස තුල මිනිසා නිදහස්ද යන්න ඔහුට හදුනාගත නොහැකිය. එය ඔහුට හදුනාගත හැකි වන්නේම එහි වස්තුගත ස්වභාවය තුලයි. එනම් මිනිස් නිදහස වස්තුගත කිරීම සිදුවන්නේම එය ඔවුන් විසින්ම සකසාගන්නා ලද ආයතනික සංස්තාවක් තුලය. එම සංස්ථාපිත ආයතනගත ව්‍යූහය වන්නේ රාජ්‍යය යි. මේ නිදහස රාජ්‍යය තුල අත නොහැරෙනවා ( not relinquished ) පමණක් නොව එය ප්‍රථම වරට සංස්ථාපනය වන්නේද සැකසෙන්නේද ( constituted) රාජ්‍යය තුලය. තව දුරටත් පවසන්නේනම් ස්වභාවයේ නිදහස, නිදහස සදහා වූ පවරාදීම සැබෑ නිදහස නොව අතර එහි පළමු යතාවත්වීම ( realization) වන්නේ රාජ්‍යය බිහිවීම තුලය. එනම්, සුවිශේෂයෙන්ම හරි ආකාර / අයිතිවාසිකම් සහිත රාජ්‍යය මෙකී නිදහස යතාවත් කරනුයේ ඒවා වස්තුගත කිරීමෙනි. ඒවාට සංයුක්තභාවයක් ( objectifying) ලබාදීමෙනි. එසේනම්, රාජ්‍යය යනු වස්තුගත / සංයුක්ත ප්‍රානේන්ද්‍රිය යි. / සාරය යි. ( objective spirit). එය තුල ‘ නිදහස එහි වස්තුගතය / වාස්තවිකත්වය ( objectivity) අත්පත් කරගන්නා අතර එහි වස්තුගතයෙහි / වාස්තවිකත්වයෙහි රස ඵලය එයයි. ( enjoys the fruits of objectivity)’. එනම්, රාජ්‍යය නම් වස්තුගත පැවැත්මෙහි සැබෑ අර්තය නිදහසයි. නැතහොත් මිනිස් සාරයයි. මෙම මිනිස් ප්‍රානේන්ද්‍රිය / සාරය මිනිස් විශ්වීයත්වය ( සාමූහිකය) සහ සුවිශේෂත්වය ( පුද්ගල) සංයෝග කරන ආකාරයටම, එහි සාරය වන නිදහසද සංයෝග කරයි. මේ දෙකම වස්තුගත / සංයුක්ත කරනු ලබන්නේ අයිතිවාසිකම් සහිත රාජ්‍යය යි. හෙගල් philosophy of  right හී එය මෙසේ සදහන් කරයි.

” පෞද්ගලික සුවිශේෂත්වයේ ස්වයං – පෝෂිත අන්තය තුල ඉෂ්ඨසිද්ධිය ( fulfillment) අත්පත් කරගැනීම සදහා ආත්මීයභාවයේ මූලධර්මයට ( principle of subjectivity) ඉඩ හරින්නේ, එම විටම එය ආපසු සාරාත්මක එකමුතුව ( substantial unity ) කරා ගෙන එමින් ආත්මීයභාවයේ මූලධර්මය තුලමත් මේ එකමුතුව ආරක්ෂා කරමිනි.”

මේ අනුව හෙගල් සාධනය කිරීමට උත්සහ දරන දෙය තව දුරටත් පැහැදිලි කරන්නේනම්, ෆිෂ්ට මෙන්ම හෙගල්ද මිනිසුන් ඔවුන් අතර අන්‍යෝන්‍ය හදුනාගැනීමේ / පිළිගැනීමේ සබදතාව හා නිදහස ආයතනගත කරන්නාවූ රාජ්‍යයක් තුල යතාවත් කරගන්නා බව පැවසුවද, එය ෆිෂ්ටගෙන් වෙනස් වෙයි. ෆිෂ්ට අනුව තනිපුද්ගලයින් වෙන්ව තබන අතර ඔවුන්ගේ නිදහස යනු අනෙක් අය සමග ඔවුන්ගේ හදුනාගැනීමේ/ පිළිගැනීමේ සබදතා මත සහ ඔවුන්ගේ ස්වයං – අධිෂ්ඨානයට අදාලව රදාපවතින්නකි. එහෙත් හෙගල්ට අනුව අන්‍යෝන්‍ය හදුනාගැනීම / පිළිගැනීම තනි පුද්ගලයින් නව සංකීර්ණ අස්තීත්වයක් ලෙස ” අපි වන මමක් සහ මම වන අපික්” භාවයට හැඩගස්වන අතර ඔවුන්ගේ නිදහස යනු මෙම එකමුතුවෙහි සාමාජිකයින් වශයෙන් ඔවුන්ගේ එකමුතුව නැතහොත් ස්වයං – අධිෂ්ඨානය ( self – determination) තනිපුද්ගල හෝ සාමූහික ලෙස ඉන් එකකට ඌණනය නොකරයි. එමගින් හෙගල් මෙම අන්‍යෝන්‍ය හදුනාගැනීමේ / පිළිගැනීමේ සබදතාව තුල තනිපුද්ගලයින් ‘ විශ්වීය ස්වයං – සවිඥානිකත්වයක් ( universal self – consciousness) සහ යතා විශ්වීයයත්වයක් ( real universality ) සහිත වූවන් බව පවසයි. එබැවින්, ඔහු ඇත්ත වශයෙන්ම ඉදිරිපත් කරන්නේ සුවිශේෂත්වයට ප්‍රතිවිරුද්ධ ‘ වියුක්ත හෝ විසංයුක්ත’ ( abstract ) විශ්වීයත්වයක් නොව විශ්වීයත්වයෙහි සහ සුවිශේෂත්වයෙහි සංයුක්තයක් ( combination) වන්නාවූ ‘ සංයුක්ත ‘ ( concrete ) විශ්වීයත්වයකි. මෙම සංයුක්ත විශ්වීයත්වය ‘ සුවිශේෂත්වය ( particularity) තනිවාචකය ( singularity) එය තුල අඩංගු කර ගනී. එලෙසම, ප්‍රානේන්ද්‍රිය වියුක්තව වනවාට වඩා සංයුක්තව විශ්වීය වන අතර එහි සාරාත්මක ගුණාංගය (  essential characteristic) වන නිදහස වියුක්ත නිදහසක් නොව සංයුක්ත නිදහසකි. එය සමස්තයෙන් වියුක්තවන්නා වූ තනිපුද්ගලයකුගේ නිදහසකට වඩා විසල් සමස්තයක කොටසක් වන්නා වූ තනිපුද්ගලයින්ගේ නිදහසයි. එනම්, විසල් සමස්තය නොවන්නට තනිපුද්ගලික නිදහසක් යතාවත් නොවේ යන්නයි. එමගින් නැවත ඔහු පෙන්වා දෙන්නේ තනි පුද්ගල නිදහස පිළිබදව වන අතර එය සිදුවීමට විසල් සමස්තයක නිදහස නොවන්නට එය සිදුවිය නොහැකි බවයි. හෙහල්ට අනුව මිනිසුන් රාජ්‍යය තුලින් බලාපොරොත්තු වූවේ මෙකී සංයුත්ත නිදහසයි. එනම්, ” රාජ්‍යය යනු සංයුක්ත නිදහසේ යතාවත් වීමයි.”

වාර්ගික ජීවියා – කාල් මාක්ස් :

1840 ගනන්වල ලේඛනවල පැහැදිලිව හදුනාගත හැකි පරිදි මාක්ස්ද රූසෝ, ෆිෂ්ට, හෙගල් අනුව යමින් නිදහස යනු මිනිසාගේ සාරයක් බවත් එය නිසි පරිදි අත්පත්කරගත හැකි වන්නේ ඔවුන් අතර සාංගමයෙන් පමනක් බවත් පිළිගනියි. මනුෂ්‍යයන් අවශ්‍යයෙන්ම ‘විශ්වීය ජීවීන්’ බවත් ඔවුන්ගේ සුවිශේෂී  ස්වයං – අභිරුචියෙහි ආස්තානය වෙතට වඩා විශ්වීය නැතහොත් සාමූහික ආස්තානයක් ( මේ දෙයාකාරය මාක්ස් වෙන්කොට හදුනාගැනීමක් නොකරයි) වෙතින් සිතීම හා ජීවත් වීම සිය සාරය වූ ජීවීන් ය යන හරාත්මක අදහස ( core idea) ඉදිරිපත් කරයි. ‘නිදහස’ මනුෂ්‍ය ජීවීන්ගේ ආවශ්‍යක ගුනාංගයක් වන අතර නිදහස විශ්වීයත්වය සමග අවියෝජනීයව බැදී ඇති බව අවධාරණය කරයි. එමෙන්ම Critique of Hegel’s Philosophy of Right හී මාක්ස් ‘ මනුෂ්‍ය ජීවියාගේ ඉහළම නැතහොත් උසස්ම සාමාජීය යතාවත් වීම රාජ්‍ය වේය’ යන්න තහවුරු කරන අතර ම ඔහු එය අවශ්‍යයෙන්ම/ සාරාත්මකව ( essentially) මානව විශ්වීයත්වයෙහි යතාවත්වීමක් / සාධනයවීමක් ( realization) ලෙස දකියි. රාජ්‍යය ( පවුල සහ සිවිල් සමාජයද එකතුව ) යනු තනිපුද්ගලයාගේ යතාවත් වූ විශ්වීයත්වයයි. ඒ තුල ඔහු ඔහුගේ ‘ සැබෑ විශ්වීයත්වය අත්පත් කරගන්නා බව පවසයි.

මානව සාරය සහ නූතන රාජ්‍යය :

මාක්ස්ගේ පෙන්වාදීමට අනුව මිනිස් නිදහස සහ විශ්වීයත්වය යතාවත් වීමේදී රාජ්‍යය යනු මිනිසා තමන්ගේ විශ්වීයත්වය සහ නිදහස හදුනාගන්නා ආකාරයයි. එය මිනිස් විශ්වීයත්වය සහ නිදහස ව්‍යාජ / නොසැබෑ ලෙස යතාවත් කලද එය මිනිස් නිදහස සහ විශ්වීයත්වය දෙසට තබන ලද අව්‍යාජ පියවරක් ලෙස ඔහු දකියි. එනම් එය අව්‍යාජ සහ සැබෑ විශ්වීයත්වය සහ නිදහස දෙසට තබන ලද පියවරකි. කෙසේවෙතත් මාක්ස් හෙගල් ඉදිරිපත් කරන ‘ හුදෙක්ම දේශපාලනික’ ( merely political) රාජ්‍යය, මානව විශ්වීයත්වය සහ නිදහස නිසි ලෙස යතාවත් කරනු ලබන මානව සමාගමයෙහි රූපාකාරය ( the form of human association) අතර තියිනු නොගැලපීමක් ලකුනු කරයි. On the Jewish Question හී දක්වන ආකාරයට මනුෂ්‍ය ජීවීන්ගේ “දේශපාලන විමුක්තිය” ( political emancipation) සහ ” මානව විමුක්තිය”  ( human emancipation) ලෙස දෙයාකරයකි. මින් පළමුවැන්න රාජ්‍යය තුලින් සැලසුනද ඔවුන් නිසි ලෙස නිදහස් වූවන් බවට පත්වන්නේ දෙවැන්න තුලිනි. මෙහිදී ඔහු දක්වන ආකාරයට ‘ මානව ජීවියා රාජ්‍යය මාධ්‍ය කොට ගෙන දේශපාලනික ආකාරයකින් තෙමේ ම සිරකිරීමකින් හෝ බාධාවකින් නිදහස් වෙයි’. එනිසාම එය වක්‍ර වූත්, නොසැබෑ වුත් නිදහසකි. එනම් මෙය ක්‍රිස්තියානියේදී මිනිසුන් දිව්‍යමය මිනිසකු දකිනා ආකාරයට සමානය. එනම් ලෞකික මිනිසාගේ දුර්ගුණයන් කෙලෙසූ පරිකල්පිත ශුද්ධ වූ මිනිසකු ( ජේසුස් ක්‍රිස්තුස්) ඇති බව විශ්වාස කිරීමයි. ඔහු තමාව හදුනාගන්නේ මේ සුවිශේෂී ශුද්ධ වූ මිනිසා මාර්ගයෙනි. නැතහොත් එම සුවිශේෂී ශුද්ධ වූ ජීවියා මාධ්‍යය කරගනිමින් වක්‍ර ආකාරයකිනි. එය මාක්ස්ගේම වාක්‍යයකින් පවසතොත්,

” ඔහු තෙමේ ම දේශපාලනිකව නිදහස් වන තරමටම, මිනිසා තෙමේ ම වටර්වුම් ආකාරයකින් ( roundabout way), මාධ්‍යයක් හරහා නිදහස් වෙයි, එය ආවශ්‍යක මාධ්‍යයක් වන විට පවා, ඔහු තමාවම හදුනාගන්නේ වටරවුම් මාර්ගයකින් පමණි. මාධ්‍යයක් හරහා පමණි. ආගම් යනු නියතයෙන්ම / සුනිශ්චිතවම වටරවුම් ආකාරයකින්, මැදිහත්කරුවකු හරහා, මිනිසාගේ හදුනාගැනීමයි. රාජ්‍යය යනු මිනිසා සහ මිනිසාගේ නිදහස අතර මැදිහත්කරුවාය. එහි හරයෙන් ම, පරිසමාප්ත දේශපාලනික රාජ්‍යය යනු, ඔහුගේ භෞතික ජීවිතයට එදිරිව මිනිසාගේ වාර්ගික – ජීවිතය ( Species- life) යි. දේශපාලනික රාජ්‍යය එහි සැබෑ වර්ධනය අත්පත් කරගෙන ඇති තැන, මිනිසා – ඔහුගේ චින්තනය තුළ, ඔහුගේ සවිඥානිකත්වය තුළ, පමණක් නොව යථාර්තය තුළ, ජීවිතය තුළ, ස්වර්ගමය එකක් සහ ලෞකික එකක් වශයෙන් ද්විත්ව / උභය ජීවිතයක් ගත කරයි. එය තුල ඔහු තෙමේ ම ප්‍රජාමය ජීවයක්/ සත්තාවක් ( communal being) ලෙස සලකන දේශපාලනික ප්‍රජාව තුළ ජීවිතය සහ ඔහු පෞද්ගලික තනිපුද්ගකයකු ලෙස ක්‍රියාකාරී වන සිවිල් සමාජය තුළ ජීවිතය වශයෙනි. ඔහු තමාටමත් අනෙක් පුද්ගලයන්ටත් සැබෑ තනිපුද්ගලයකු ලෙස සලකන ( සිවිල් සමාජය තුළ) ඔහු අසත්‍යවත්/ නො සැබෑ ( untrue) පෙනීසිටීමකි ( appearance ). අනෙක් අතින් ගත් විට, මිනිසා වාර්ගික – ජීවියෙක් / සත්තාවක් ( species being) [Gattungswesen* ]ලෙස සලකන , රාජ්‍යය තුළ, ඔහු පරිකල්පිත ස්වාධිපත්‍යයක පරිකල්පිත සාමාජිකයා ය. ඔහුගේ සැබෑ තනිපුද්ගල ජීවිතය අහිමි කෙරුණු සහ අසත්‍ය / නො සැබෑ/ යතාවත් නොවන ( unreal) විශ්වීයත්වයක් ප්‍රදානය කෙරුණු [ අයෙකි]. “

මේ අනුව මාක්ස් මානව ජීවීන්ගේ සාරාත්මක / ආවශ්‍යක (essential ) විශ්වීයත්වය දැක්වීම සදහා “වාර්ගික – ජීවය” ( Species- being ) නැතහොත් ” වාර්ගික – සාරය” ( Species – essence) යන යෙදුම ප්‍රථම වරට භාවිතා කරන්නේ ( On the Jewish Question, 1843) හී ය. වර්ගයකට අයත් වන්නා වූ හැම අස්ථීත්වයකට ( entity ) ම ‘ වාර්ගික සාරයක් ‘ තිබේ. මාක්ස්ට අනුව මානව ජීවියෙකුට වාර්ගීක – සාරයක් ඇත කීම නිවැරදි නොවන අතර මානව ජීවියක් යනුම වාර්ගීක – සාරයකි. ජර්මන් භාෂාවෙන් Wesen යන්නෙන් ජීවියෙක් යන්න මෙන්ම සාරයක් යන්නද අදහස් වෙයි. Gattungswesen යන්න Species – being ලෙසට ඉංග්‍රීසිහට පරිවර්තනය වී ඇත්තේ මේ නිසාය.

කෙසේවතත් මාක්ස්ට අනුව නූතන දේශපාලන රාජ්‍යය මානව විශ්වීයත්වය සහ නිදහස යථාවත් කරනුයේ වක්‍ර සහ නො සෑබෑ නැතහොත ‘පරාරෝපිත’ ආකාරයකටය. මෙමගින් ගෙනෙනු ලබන දේශපාලන විමුක්තිය මානව විමුක්තියේ අසම්පූර්ණ රූපාකාරයකි. මානව විමුක්තිය යනු දැනටමත් නූතන රාජ්‍ය තුල ඉටුකරගෙන ඇති විමුක්තියෙහි දිගුවකි. එසේ වුවත් එය නිර්ව්‍යාජ මානව විමුක්තිය දෙසට තබනලද පියවරකි. නූතන රාජ්‍යය තුල මිනිසුන් කටයුතු කරනවා මෙන් මානව විමුක්තිය ඉටුකෙරෙන සමාගමයක රූපාකාරය තුල මිනිසුන් විශ්වීය සහ නිදහස් ජීවීන් ලෙස මිනිසුන් එකිනෙකා සම්බන්ද වනු ඇත. ඔවුන් එසේ කරනුයේ ඔවුන්ගේ දෛනික ජීවිතය තුල වන අතර එමගින් ඔවුන් විශ්වීයත්වය සහ සැබෑ නිදහස සාධනය කර ගනියි. එවිට මාක්ස්ට අනුව මානව ජීවියාගේ සාරාත්ම ලක්ෂණය වන්නේ විශ්වීයත්වය නම් එය හෙගල්ගේ ‘ වියුක්ත විශ්වීයත්වය ‘ ද, ‘ සංයුක්ත විශ්වීයත්වයද , එය සුවිශේෂත්වයට ප්‍රතිවිරුද්ධ විශ්වීයත්වයක්ද, නැතහොත් එය සුවිශේෂත්වයෙහි සහ විශ්වීයත්වයෙහි එකතුවක්ද, ( Science of Logic හී හෙගල් නිශ්චිත ලෙස සංයුක්ත විශ්වීයත්වය  පිළිබද අදහස ‘ වාර්ගික ‘ (Species)[ Gattung] යන යෙදුම සමග සම්බන්ද කරයි.) යන්නේදී ” වාර්ගික – ජීවියා” යන යෙදුම තෝරාගැනීම තුලම සංයුක්ත විශ්වීයත්වයක් හැගවුම් කරයි. එමගින් මානව විශ්වීයත්වය යථාවත් කෙරෙන සමාජයක් පිළිබද දැක්ම මාක්ස්ගේ ඉදිරිපත් කිරීමයි. පුරවැසියකුගේ භූමිකාවට හැඩගැසීමට වඩා, හැම තනි පුද්ගලයෙක්ම ඒ විශ්වීයත්වය ඔහුගේ තනි පුද්ගල ශ්‍රමය තුළ සහ ඔහුගේ තනි පුද්ගල සබදතා තුළ යතාවත් කර ගැනීම එහිදී සිදුකරගනියි.

එම නිසාම නූතන රාජ්‍යය පිළිබදව මූලික විවේචනයක් මාක්ස් විසින් එකතු කරයි. එනම්, තනිපුද්ගලයන් ඔවුන්ගේ විශ්වීයත්වය සාධනය කරගන්නේ ඔවුන්ගේ සුවිශේෂත්වය අන්තර්ගත සංයුක්ත විශ්වීයත්වයක අව්‍යාජ ආකෘතියකින් මෙන්ම ඔවුන්ගේ සුවිශේෂත්වයට විරුද්ධ වු වියුක්ත විශ්වීයත්වයක රූපාකාරයකිනි. වෙනත් ලෙසකින් පවසතොත් තනිපුද්ගලයින්ගේ සුවිශේෂත්වය වන්නේ ඔවුන්ගේ සුවිශේෂත්වයන්ට විරුද්ධව වන වියුක්ත විශ්වීයත්වයක් වෙනුවට ඔවුන්ගේ සුවිශේෂත්වයන් සහිත සංයුක්ත සහ අව්‍යාජ විශ්වීයත්වයක් වීමයි. එමෙන්ම රාජ්‍යය තුල තනිපුද්ගලයන් ඔවුන්ගේ විශ්වීයත්වය සාධනය කරගන්නේ ‘ විසම්බන්ධිත’ ( estranged) ආකාරයකිනි. එනම් ඔවුන් එය සාධනය කරන්නේ ඔවුන්ට සහ ඔවුන් ඔවුන්ගේ සුවිශේෂත්වය යතාවත් කරන සිවිල් සමාජයේ ක්ෂේත්‍රයට ‘ පරිභාහිර සමාගමයක් හරහාය. මේ අනුව ඔවුන් ඔවුන්ගේ විශ්වීයත්වය සාධනය කරන්නේ මේ භාහිර සමාගමය හරහා වන බැවින් ඔවුන් එය සාධනය කරගන්නේ ඔවුන්ගේම සුවිශේෂත්වයට ප්‍රතිවිරුද්ධවය. වෙනත් ලෙසකින් පවසන්නේනම් නූතන රාජ්‍යය යනු සංයුක්ත විශ්වීයත්වයක් නොව වියුක්ත විශ්වීයත්වයකි. එහි තනිපුද්ගල සුවිශේෂත්වයන් අන්තර්ගත වනවා වෙනුවට වියුක්ත පුරවැසියා නිර්මාණය කරයි. තනිපුදගල සුවිශේෂත්වය විසම්බන්දිත ආකාරයට ගොඩනැගෙන අතර එය ගොඩනැගෙන්නේ පරිකල්පිත ආකෘතියකිනි. එම ආකෘතියම පරිභාහිරය. එය ඔවුන්ගේ සුවිශේෂත්වයට ප්‍රතිවිරුද්දව සංයුක්ත විශ්වීයත්වයකට වඩා වියුක්තයක ආකෘතියකි. දේශපාලන විමුක්තිය සහ මානව විමුක්තිය අතර ආවශ්‍යක වෙනස මෙයයි. මානව විශ්වීයත්වය සංයුක්ත විශ්වීයත්වය ලෙස නිසි ආකාරයෙන් සාධනය කරන්නා වූ සමාගමයක් මානව නිදහසද සංයුක්ත නිදහස ලෙස යථාවත් කරනු ඇතැයි සිතිය හැකිය.එය එක විටම වඩා විශාල සමස්තයක කොටසක් වන අතර ම තනිපුද්ගල්යින්ද අත්විදින නිදහසයි. එනම් දේශපාලන නිදහස යනු වියුක්ත නිදහසකි. එය නූතන රාජ්‍යය තුලින් යතාවත් කෙරෙන අතර සැබෑ / යථා ( real) නිදහස ප්‍රජාව තුල සාංගමිකව යතාවත් වන අතර තනිපුද්ගලයෝ ඔවුන්ගේ නිදහස එම සමාගමය තුලත් ඒ හරහාත් ලබාගනියි. එය මානව නිදහසයි.

මුදල සහ ආගම :-

On the Jewish Question හී දෙවන කොටසේ දී මාක්ස් මුදල් දකින්නේද නූතන රාජ්‍යය දකින ආකාරයට සමානවය. වෙළදපල ක්‍රමය තුල මිනිසුන්ට ඔවුන්ගේම සාරය යතාවත් කරගැනීමට හැකිවන්නේ ඔවුන්ට පරිභාහිර යමක්, එනම් මුදල් වශයෙන් පමණි. මෙහිදී මාක්ස් වඩාත්ම පැහැදිලිව පෙන්වා දෙන්නේ මිනිසාගේ සාරය විශ්වීය වුවත් මෙම විශ්වීයත්වය යතාවත් වන්නේ විසම්බන්ධිත ( estranged) ආකාරයට යන්නයි. එය ව්‍යාජ, නොසැබෑ, අයථා තත්වයකි. මෙය ආකාර දෙකකට සිදුවේ. පළමුව එය සිදුවන්නේ දේශපාලන රාජ්‍යයේ ආකෘතියෙනි.දෙවනුව එය සිදුවන්නේ මුදලේ ආකෘතියෙනි. මාක්ස් ප්‍රකාශ කරන ආකාරයට දේශපාලන රාජ්‍යය තුල මිනිසුන් ඔවුන්ගේ ආවශ්‍යක විශ්වීයත්වය සාධනය කරගනු ලබන්නේ වක්‍ර සහ ඉතා තත්‍ය නොවන ආකාරයට බව අප මුලින් පැහැදිලි කලෙමු. එලෙසම මුදල්ද, මිනිසාගේ සාරය ආගන්තුක යමක් බවට පත්කරන බවත්, එය “මිනිසාගේ වස්තුමය  සාරය ” ( objective essence) ශුද්ධ ලෙස පරිබාහිර සහ ද්‍රව්‍යමය  යමක් ලෙස සලකමින් ඔහුගෙන් වෙන්කරන බවත්ය.

එනම් මිනිසාගේ සාමූහිකත්වය, නැතහොත් විශ්වීයත්වය පවතින්නේ සිය කැමැත්තෙන් ශ්‍රමය වැගිරීම තුලය. මිනිස් සාරය එයයි.මිනිසාගේ මෙම සිය කැමැත්තෙන් ශ්‍රමය වැගිරීම විසින් ඔහුගේ ශ්‍රමය වැගිරීමට හේතුවන තවත් සාධකයක් පැනනගියි. එනම් ඔහුට ශ්‍රමය වැගිරීමට සිදුවන්නේම තවත් ශ්‍රමිකයෙකුගේ ශ්‍රමය වැගිරීමත් සමගමය. එනම් මින් පැහැදිලි වන්නේ මිනිසාට මිනිස් සාමුහිකත්වය හමුවන්නේ සිය කැමැත්තෙන් ශ්‍රමය වැගිරීම තුලදී බවයි. ශ්‍රමය යනු හුදු පුද්ගලානුබද්ධ සාරයක් නොව සාමූහික පැවැත්මකි. උදාහරණයකින් මෙය මෙසේ ගෙනහැර දැක්විය හැකිය. එනම්, මා යම් අදහසක් ප්‍රකාශ කිරීම සදහා ශ්‍රමයක් වගුරන්නේ එම අදහස අසා සිටීමට තවත් අයෙක් හෝ කිහිප දෙනෙක් ඔවුන්ගේ ශ්‍රමය වගුරමින් එය අසා සිටින්නේනම් පමනි. ඔවුන් එසේ අසා නොසිටින්නේනම් මාහට මාගේ අදහස පැවසීම සදහා ශ්‍රමය වැගිරීමක් අවශ්‍ය වන්නේ නැත. මෙලෙස මිනිසා විසින් සිය කැමැත්තෙන් වගුරන ශ්‍රමය ශුද්ධ ලෙස පරිභාහිර ද්‍රව්‍යමය යමක් ලෙස සලකමින් ඔහුගෙන් වෙන්කරයි. එසේ වෙන්කල හැකිවන්නේ මිනිස් ශ්‍රමය ඔහුගෙන් වෙන්කර නැතහොත් විතැන්කොට එයට වටිනාකමක් ලබාදීමෙනි. මෙලෙස වටිනාකමක් ලබාදෙන්නේ මුදල් මගිනි. මුදල් නොවන්නට ශ්‍රමය සදහා වටිනාකමක් හිමිවන්නේ නැත. එවිට මිනිසුන් තම විශ්වීයත්වය යතාවත් කරගනු ලබන්නේ තමන්ගෙන් පරිභාහිර යමක් හරහා වක්‍රාකාරයෙන් මෙන්ම විසම්බන්ධිත සහ ව්‍යාජ/ නොසැබෑ/ අයතා ලෙසය. මුදල් මානව ජීවීන්ගේ සාරය විසම්බන්ධිත ( estranged ) කරනවා පමනක් නොව මානව ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අධිපාලනය ( dominate ) ද කරයි. එනම් මුදල් යනු මිනිසාගේ ශ්‍රමයේ සහ මිනිසාගේ පැවැත්මේ විසම්බන්ධිත/ වෙන්කෙරුණු සාරය වන අතර එය පරාරෝපණයක්ද ( alienation ) වෙයි. එවිට ඔහු එයට වන්දනා කරනු ලබයි. එබැවින් නූතන රාජ්‍ය සහ මුදල් යනු මානව විශ්වීයත්වය අයතා ලෙස යතාවත් වීමකි.

ප්‍රාග්ධනය සහ වාර්ගික – ජීවියා :

මාක්ස් වාර්ගික – ජීවියා පිළිබදව මෙන්ම ප්‍රාග්ධනය සම්බන්දව න්‍යායගත කිරීම අරඹන්නේද 1844 Economic and Philosophical Manuscript කෘතියෙනි. ඇඩම් ස්මිත්ට අනුව ප්‍රාග්ධනය යනු ස්වයංව ප්‍රසාරණය වන වටිනාකම් සමූහයකි. ඉන් ඔහු ආදායම් ඉපයීමට එහා ගොස් වටිනාකම් ඉපයිය හැකි උපකරණ සහ යන්ත්‍ර, අමුද්‍රව්‍යය, මිලදීගැනීමටත්, වැඩි මිලකට විකිණිය හැකි පරිභෝජන භාණ්ඩ නිපදවීම සදහා වැඩකරුවන්ට ( Workmen ) ගෙවීමටත්, යෙදවීම මගින් වටිනාකම් ඉපයීමත් බලාපොරොත්තු වෙයි. එනම් ප්‍රාග්ධනය යනු  ධනය උත්පාදනය කිරීම සදහා යොදවන ධනයේ එකතුවකි ( Sum of wealth). එහෙත් අනෙක් අතට දනයේ එකතුවක මිම්ම ( measure ) වන්නේ එය නිපදවීමට එය විසින් ගන්නා ලද ශ්‍රමයේ ප්‍රමාණයයි. එනම් ප්‍රාග්ධනය තුල පවතින්නේ පරිභෝජන භාණඩ සහ මුදලෙහි ගැබ්වුනු ශ්‍රමයේ වඩා විශාල ප්‍රමාණයක් ( Quantity ) උත්පාදනය කිරීම සදහා ශ්‍රමිකයන්ගේ සජීව ශ්‍රමය මිලදී ගැනීම සදහා යෙදවෙන ශ්‍රම ප්‍රමාණයකි. Economic and Philosophical Manuscript හී මාක්ස් දක්වන ආකාරයට ප්‍රාග්ධනය යනු ” සමුච්චිත ශ්‍රමයයි” ( accumulated labour ). වෙනත් ලෙසකින් කියතොත් ශ්‍රමිකයාට ගෙවීමටත්, නිශ්පාදන උපකරණ සහ අමුද්‍රව්‍ය මිලදී ගැනීමටත් යෙදවීම මගින් වෙළදපලෙහි විකිණිය

හැකි භාණඩ නිශ්පාදනය කිරීමටත් ප්‍රධාන වශයෙන් යෙදවීම මගින් එහි හිමිකරුට වටිනාකම්, ආදායම්ක් හෝ ලාභයක් උපයා දෙන ” රැස් කෙරුණු ශ්‍රමයයි” ( Stored – up – labour ) .

මාක්ස් On the Jewish Question හී නූතන රාජ්‍ය සහ මුදල විස්තර කිරීමට සමානවම ප්‍රාග්ධනයද ලක්ෂණනය (  Characterize ) කරයි. ආරම්භයක් ලෙස ප්‍රාග්ධනය එය නිශ්පාදනය කල මානව ජීවීන්මත් අධිපාලනය කරයි. ප්‍රාග්ධනයේ ප්‍රසාරණයත් සමග ශ්‍රමිකයාගේ ස්වකීය ශ්‍රමය වර්ධනාත්මකව එන්න එන්නම ආගන්තුක ( alien) දෙයක් ලෙස ඔහුට අභිමුඛ වෙයි. ප්‍රාග්ධන සමුච්චනය, ශ්‍රමයේ නිශ්පාදිතය වර්ධනාත්මකව එන්න එන්නම ඔහුට ආගන්තුක යමක් ලෙස කම්කරුවාට ප්‍රතිපක්ෂව පිහිටුවයි. මෙය ඔහුට තර්ජනාත්මකව ගොඩ ගැසෙන ප්‍රාග්ධනයට වහල්වීමක් කරා යොමු වෙයි. මාක්ස් Economic and Philosophical Manuscript හී ” විසම්බන්ධිත ශ්‍රමය”(  estranged labour) යන කොටසේදී මෙය පැහැදිලිව ප්‍රකශ කරයි.

” වස්තුවෙහී අනුයෝජනය / තම භාවිතයට ගැනීම ( appropriation) විසම්බන්ධය ( estrangement) ලෙස මතුවන / පෙනී සිටින තරමට එනම් කම්කරුවා වැඩි වැඩියෙන් වස්තු නිශ්පාදනය කරන තරමට ඔහුට අයිති කර ගත හැකි ප්‍රමාණය අඩුවන අතර ඔහු වැඩි වැඩියෙන් ඔහුගේ නිශ්පාදිතයෙහී, ප්‍රාග්ධන්යෙහි අධිපාලනයට ( domination) නතුවෙයි. ඔහුගේ නිශ්පාදනය තුල කම්කරුවාගේ පරාරෝපනය (alienation) [ Entausserung]  යන්නෙන් අදහස් වන්නේ ඔහුගේ ශ්‍රමය වස්තුවක් බවට, පරිබාහිරව පැවැත්මක් බවට පත්වීම පමනක් නොව, එය ඔහුගෙන් පිටත ( Outside), ඔහුගෙන් ස්වායත්තව සහ ඔහුට ආගන්තුක ( alien) ව පවතින බව සහ ඔහුට අභිමුඛ ස්වයං – පූරිත ( self – sufficient) බලයක් බවට පත්වන බව , එනම් වස්තුවට දෙනු ලැබ ඇති ජීවය ඔහුට සතුරු ( hostile) සහ ආගන්තුක ලෙස අභිමුඛ වන බවද වෙයි.”

මෙහි ප්‍රතිඵලය වන්නේ ‘ ශ්‍රමයේ නිශ්පාදිතයට කම්කරුවාගේ සම්බන්දය ඔහු මත බලයක් සහිත ආගන්තුක වස්තුවක් ලෙසින්’ සැකසී ඒතුල කම්කරුවා “ඔහුගේ වස්තුවෙහි වහළෙකු ” බවට පත්වීමයි. එක් කම්කරුවකු නිශ්පාදනය කරන සුවිශේෂී වස්තුව ඔහුව අධිපාලනය කරනවා නොවේ, සියලු කම්කරුවන් විසින් නිපදවනු ලබන වස්තු සමස්තය ( totality of objects )  එසේ කරයි. මෙම වස්තු ප්‍රාග්ධනයේ ආකෘතිය/ රූපාකාරය ගත්කල එය ඔවුන් සියලුදෙනා අධිපාලනය කරයි.මෙනයින් ගත් කල නූතන රාජ්‍යය සහ මුදල මෙන්ම ප්‍රාග්ධනයද මිනිසා අධිපාලනය කරනු ලබයි. එය නූතන රාජ්‍යයයෙහි, මුදලෙහි සහ ප්‍රාග්ධනයෙහි කේන්ද්‍රීය ලක්ෂණය මෙන්ම මානව සාරයෙහී, වාර්ගික – ජීවියාගේ විසම්බන්ධිත යතාවත් ( estranged realization) වීමේහිද කේන්ද්‍රයයි. ඒ අනුව විසම්බන්ධිත ශ්‍රමය, මිනිසාගේ වාර්ගික සාරය එම ස්වභාවය සහ ඔහුගේ බුද්ධිමය වාර්ගික – බලය ( species – power) යන දෙකම පිටස්තර සාරයක් ( alien essence) බවට හරවයි.

වාර්ගික – ජීවියා නව ආකාරයකට සාධනය කිරීම :-

මාක්ස් ප්‍රාග්ධනය ගැනද රාජ්‍යය සහ මුදල ගැන පවසන ලෙසටම පවසන්නේ එම නිසාය. එනම් ප්‍රාග්ධනය මනුෂ්‍ය සාරයෙහි විසම්බන්ධිත හා අධිපාලිත යතාවත් වීමක් ලෙසය. එසේ වුවත් මාක්ස් මෙම සාරය නව ආකාරයකට ලක්ෂණය කරයි. මුලින් මනුෂ්‍ය සාරයෙහි කේන්ද්‍රීය ලක්ෂණය ලෙස විශ්වීයත්වය සහ නිදහස  සාධනය කලද නව කේන්ද්‍රීය ලක්ෂණය ලෙස සාධනය කරන්නේ ” ශ්‍රමය” යි. එහිදී විශ්වීයත්වය සහ නිදහස ශ්‍රමයෙහි අංග බවට ඌනීත කරයි. එයට හේතුව වන්නේ මිනිසාගේ විශ්වීයත්වයේ පදනම ශ්‍රමය වන බැවිනි. මිනිසා සිය කැමැත්තෙන් වගුරන ශ්‍රමය නොවන්නට සමූහයක් හෝ විශ්වීයත්වයක් සාධනය වන්නේ නැති බව අප කලින් පැවසවේ එබැවිනි. එසේම ප්‍රාග්ධනය යනු “ගබඩාගත – ශ්‍රමය ” ( stored – up labour) ලෙස ප්‍රතිනිර්වචනය කිරීමට මාක්ස්ට හැකිවන අතර එය මනුෂ්‍ය සාරයෙහි යතාවත්වීමක් ලෙසද දකියි.

මෙහිදී ප්‍රාග්ධනයේ විසම්බන්ධිතභාවය සලකා බැලීමේදී රාජ්‍යය එහි සාධනීය ලක්ෂණය වූ විශ්වීයත්වය සහ නිදහස ආරක්ෂා කලද එහි විසම්බන්ධිතභාවය අහිමි කෙරුණු සමාගමයක් මගින් විතැන් කෙරෙන්නාක් මෙන් ප්‍රාග්ධනයද එහි සාධනීය ලක්ෂණ පවත්වාගන්නා නමුත් එහි විසම්බන්ධිත ලක්ෂණය අහිමි කෙරුණු යමක් මගින් විතැන් කිරීමක් සිදුවෙයි. සත්‍යය ලෙසම මාක්ස් අදහස් කරන්නේ මනුෂ්‍ය සාරයෙහි අව්‍යාජ සාධනය වීමකි. එනම් මිනිසාගේ “වස්තුගත සාරය ” වන්නේ නිශ්පාදන වල ලෝකයක් ලෙස නැතහොත් යලි හැඩ ගැස්වූ සොබාදහමක් ලෙස ශ්‍රමය විසින් එය වස්තුගත කෙරුණු තාක් දුරට මනුෂ්‍ය ජීවීන්ගේ සාරයයි. වර්තමානයේදී එම වස්තුගත සාරය වන්නේ ප්‍රාග්ධනයේ රූපාකාරයයි. එසේනම් ප්‍රාග්ධනය යනු මනුෂ්‍ය සාරයේහි විසම්බන්ධිත සාධනය වීමක් නොව මෙම විසම්බන්ධිත සාධනය වීම මනුෂ්‍ය සාරයෙහි අව්‍යාජ යතාවත්කරණයක් වෙතට වන ආවශ්‍යක මාර්ගයකි. මාක්ස් On the Jewish Question හී දේශපාලන විමුක්තිය මානව විමුක්තිය කරා වන ආවශ්‍යක මාර්ගයක් ලෙස යෝජනා කල ආකාරයටම Essence of Christianity හී ෆොයාබග් දෙවියන් පිළිබදව ඉදිරිපත් කරන අදහසින් මෙය පැහැදිළි කරගත හැකිය. එනම්, දෙවියන් යනු මනුෂ්‍ය සාරය ඔවුන්ට පරිභාහිර ජීවයක් ලෙස මනුෂ්‍ය ජීවීන් විසින් කරනු ලබන වැරදි සංකල්පගත කිරීමකි ( misconception). එහෙත් මෙම අපසංකල්පනය හුදු අවාසනාවන්ත වැරැද්දක් නොවේ. ඔවුන්ට ඔවුන්ගේම සාරයක් පිළිබදව දැනුවත් විය හැක්කේ පළමුව ඔවුන්ට පරිභාහිර ජීවියෙකුගේ හැඩයෙන් එය පිළිබදව දැනුවත්භාවයට පත් වීමෙන් පමණි. එම නිසා දෙවියන් යනු ඔවුන් තමාව හදුනාගන්නා වක්‍රාකාර ආකාරයයි. එය තමාව හදුනාගැනීම දෙසට තැබූ පියවරකි.

” ආගම, දෙවියන් පිළිබද විඥානය, මිනිසාගේ පළමු, නමුත් වක්‍ර ස්වයං – සවිඥාණයයි. මිනිසා තමාගේම සාරය, එය තමා තුලම සොයාගැනීමට පෙර, මාරු කරයි/ සමර්පනය කරයි/ පවරයි ( transfer). ඔහුගේම සාරය, වෙනත් සාරයක් ලෙස ඔහුට පළමුව, වස්තුවකි. “

මෙමගින් මාක්ස් ප්‍රාග්ධනය ප්‍රායෝගික ක්‍රියාවක නිශ්පාදිතයක් සහ දෙවියන් චින්තනයෙහි නිශ්පාදිතයක් ලෙස ප්‍රාග්ධනය සහ දෙවියන් අතර සෘජු සාදෘශ්‍යයක් කරන අතර ෆොයාබග්ට සමාන ආකාරයකින් ප්‍රාග්ධනය තුල වාර්ගික – ජීවීන් ලෙස මිනිසුන්ගේ විසම්බන්ධිත යතාවත් වීම වාර්ගික – ජිවීන් ලෙස ඔවුන්ගේ අව්‍යාජ යතාවත් වීමක ආවශ්‍යක පියවරක් ලෙස දකියි. මෙමගින් වාර්ගික – ජීවියා පිලිබද සංකල්පීකරණය විශ්වීය, නිදහස් මෙන්ම “සවිඥානික නිශ්පාදනීය ක්‍රියාකාරීත්වය” වටා සවිධානය කරමින් නැවත ඉදිරිපත් කරයි. මෙම ක්‍රියාකාරීතවය ශ්‍රමයයි. ප්‍රාග්ධනය යනු ගබඩාගත ශ්‍රමයයි. ප්‍රාග්ධනය යනු එය යතාවත් කරන සාරය වන මිනිසුන්ම අධිපාලනය කරන විසම්බන්ධිත දෙයක රූපාකාරයෙන් වාර්ගික ජීවියා යතාවත් වීමයි. මෙය නැවත කියවීමක් ලෙස ගතහොත්  නූතන රාජ්‍යය විසම්බන්ධිත ආකාරයකින් වාර්ගික – ජීවියා යතාවත් කරන අතර එය මිනිසුන්ගේ සංයුක්ත විශ්වීයත්වය ඔවුනට පරිභාහිර වූ වියුක්ත විශ්වීයත්වයක රූපාකාරයෙන් යතාවත් වීමකි. එහිදී විය යුත්තේ අව්‍යාජ මානව සමාගමයක් සංයුක්ත විශ්වීයත්වයක යතාවත් වීමයි.

ඒ අනුව, ප්‍රාග්ධනය සම්බන්ධයෙන් වන මාක්ස්ගේ අතිමූලික විරෝධය වන්නේ පුද්ගලයින් කිහිපදෙනෙකුගේ පෞද්ගලික දේපළ වන මානව නිශ්පාදිත වල ධනයක් තුල එය සංගෘහිත වීම තුල නොව, එය එහි නියම අරුතින් ම පෞද්ගලික දේපළ වන නිශ්පාදිත වල ධනයක් තුල සංගෘහිත වීම සහ ඒවා නිපදවන්නන්ගෙන් පරිභාහිර වීම ගැනය. හැම දෙනාම මානව නිශ්පාදිතවල සමස්තයෙහි සම – හිමිකරුවන් බවට පත් වුවහොත්. එවිට සියලු දෙනා මෙම නිශ්පාදිත හරහා ඔවුන්ගේ විශ්වීයත්වය සාධනය කරගනු ඇත. එහෙත්  එසේ කරගනු ඇත්තේ වියුක්ත විශ්වීයත්වයක රූපාකාරයකින් පමණි (මිනිසා අපසංකල්පිත දෙවියන්ගේ හැඩයෙන් තමන්ව හදුනාගන්නා ආකාරයට). පොදු යහපත සදහා එය යොදවන්නේ කෙසේදැයි සිතන, මෙහිදී, මේ නිශ්පාදිත වල සමස්තයෙහි සම හිමිකරුවන් ලෙස තනි පුද්ගලයන් සම්බන්දයෙන් ගත විට, නිශ්පාදකයකු ලෙස එම තනි පුද්ගලයාටම ප්‍රතිපක්ෂ ලෙසින් ඔහු පවතිනු ඇත. ” අමු කොමියුනිස්ට්වාදය ” ප්‍රජාවේ මුලු ශ්‍රමයෙහි නිශ්පාදන වල හිමිකාරිත්වයෙහි කොටසක් හැම දෙනාටම ලබාදෙනු ඇත්තේ, දේශපාලන ජනරජයෙහි පුරවැසියන්ට ඇති දේශපාලන බලයෙහි කොටස සමාන ආකාරයකින් වන අතර ඔවුන් එම කොටස සන්තක කරගනු ඇත්තේ නිශ්පාදකයින් ලෙස ඔවුන්ගේ තත්වයට ප්‍රතිපක්ෂව , ප්‍රාග්ධන හිමියන් ලෙසින් පමණි.

එහිදී, දැක්විය යුතු විශේෂම කාරණය වන්නේ මින් පෙර වාර්ගික – ජීවියාගේ සාරය වන්නේ විශ්වීය වීම බව ඉදිරිපත් කලද,  වාර්ගික – ජීවියා යනු විශ්වීය ලෙස තමාටම සම්බන්ද වීමෙනි. එයට ප්‍රධාන කේන්ද්‍රීය හේතුව වන්නේ ශ්‍රමයයි. මෙය ෆෙයාබග් විසින් මිනිසුන්ගේ සාරය පවතින්නේ/ සංගෘහිත වන්නේ ඔවුන්ගේම වර්ගය ඔවුන්ගේ චින්තනයෙහි වස්තුව ලෙස ගැනීමට ඔවුන්ට ඇති හැකියාව තුල ලෙස ඉදිරිපත් කලද, මාක්ස් පවසන්නේ ඔවුන් ඔවුන්ගේ වර්ගය ඔවුන්ගේ වස්තුව බවට භාවිතයෙන්/ ප්‍රායෝගිකව සහ න්‍යායයිකව පත්කර ගන්නා බවය. එනම්, ඔවුන් එය ඔවුන්ගේ චින්තනයේ සහ ක්‍රියාකාරීත්වයේ වස්තුව බවට පත්කරන බවයි. එය මාක්ස් Economies and Philosophical Manuscript හී මෙසේ පැහැදිලි කරයි.

” මිනිසා වාර්ගික – ජීවියකු වන්නේ ඔහු භාවිතයෙන්/ ප්‍රායෝගිකව සහ න්‍යායයිකව ( practically and theoretically) තමාගේ ම සහ අනෙක් දේවල – වර්ගියා/ වර්ගය/ වර්ගීයත්වය ( Species ) ඔහුගේ වස්තුව බවට පත්කරන නිසා පමණක් නොව, – මෙය සරළ ලෙස එම දෙහිම තවත් ප්‍රකාශනයකි – ඔහු තමාටම සම්බන්ධ වන්නේ මේ දැන් / වර්තමාන / තත්කාලීන ( present ) ජීවමාන / ජීවත්වන (living)  වර්ගියා ( Species) ලෙසද, ඔහු තමාටම සම්බන්ද වන්නේ විශ්වීය සහ ඒ නිසා නිදහස් ජීවියෙකු වශයෙන් වන බැවිනි.”

සත්‍ය වශයෙන්ම මාක්ස් වාර්ගික- ජීවියා පිළිබදව ඔහුගේ සංකල්පීකරණය මුලුමනින්ම මිනිසුන් යෙදෙන ක්‍රියාකාරකම් ආකාරයට අනුගතව වර්ධනය කරයි. ‘ වර්ගයක සමස්ත ස්වලක්ෂණය ( characteristic), එහි වාර්ගික ස්වලක්ෂණය ( Species characteristic ) තුල රැදී පවතින්නේ එහි ජීවන ක්‍රියාකාරීත්වයේ ස්වභාවය තුලය’. මෙහිදී ඔහු මෙය සුවිශේෂී වශයෙන් මනුෂ්‍ය ආකාර ක්‍රියාකාරීත්වය ශ්‍රමය සමග අනන්‍ය කරයි. මෙහිදී,

1. මානව වාර්ගියත්වයට හෝ අනෙක් අස්ථීත්ව වල වාර්ගීයත්වයට දිසානත වීම තුල සහ එය ස්වභාවයේ කවර කොටසකට යොමුවීම තුල යන දෙකෙහිදිම විශ්වීය ය.

2. සවිඥානිකව සිදුකරන්නකි.

3. නිදහස් ය.

එහෙත් මේ සියල්ලටම වඩා එය

4. ලෝක – නිශ්පාදනයකි( world producing ).

මෙහිදී එහි ස්වභාවය, එතුල මිනිසුන්ට ඔවුන්ගේම සාරය දැකිය හැකි මානව නිශ්පාදිත ලෝකයක් ලෙස නැවත හැඩගස්වයි. යලි සැකසෙයි. ( refashions) මේ මානව – නිශ්පාදිත ලෝකය නිර්මාණය හුදෙක් මිනිසුන් වාර්ගික – ජීවීන් බවට වන සාක්ෂ්‍යයක් ලෙස පමනක් නොව ඔවුන්ම වාර්ගික – ජීවීන් ලෙස යතාවත් කරගන්නා ක්‍රියාවලිය සකසාගනියි.

ඒ අනුව අවශ්‍ය වන්නේ ශ්‍රමයෙහි නිශ්පාදිත වල සමස්තභාවය තුල වන පෞද්ගලික දේපළ හුදෙක් සියලු දෙනාට ලබාදීම වෙනුවට එය අහෝසි කරන අතිමූලික විපරිවර්තනයකි. එහෙත් එයින් ඇතිවන සමාජය සරළ ලෙස ප්‍රාග්ධනයෙහි නිශේධනය නොවනු ඇත. ඒ වෙනුවට එය ප්‍රාග්ධනය තුල වියුක්ත ලෙස පමණක් සාධනය කෙරෙන මානව විශ්වීයත්වය සහ මානව නිදහස සංයුක්ත විශ්වීයත්වය ලෙස සාධනය කෙරෙන්නා වූ ප්‍රාග්ධනයෙහි ‘ ධනාත්මක මර්ධනයක් ‘ ( positive suppression) වනු ඇත.

සටහන්

“Species- being “ යනුවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කෙරී ඇත්තේ Gattungswesen යන ජර්මන් වචනයයි. මාක්ස් මුලින්ම මේ අදහස ඉදිරිපත් කළේ Critique of Hegel’s Philosophy of Right ( 1843) කෘතියේදීය. Gattungswesen යන්න The Oxford – Duden Paperback German Dictionary හී දක්වා ඇත්තේ Gattungswesen – Species – Being , Gattung – en kind , genus ලෙසිනි. Kind යන්නෙන් ‘ එක හා සමාන ලක්ෂණ ඇති ජන කණ්ඩායමක්/ ලක්ෂණය හෝ ස්වභාවය’ යන අර්ත ගෙනදෙන අතර නිරුක්තියට අනුව ඥාති ( Kin) සහ කරුණාව ( kind) යන වචන වලටද සම්බන්ද වෙයි. මුල් අර්තය ලෙස ශබ්දකෝෂ වල දක්වා ඇත්තේ ‘ ස්වභාවය/ ස්වභාවික රටාව’ හෝ ‘ සහජ චරිත ලක්ෂණය, ආකෘතිය, හෝ තත්ත්වය යන්නයි. අනෙක් අතට කරුණාව යන අර්තය දෙන වචනය බිදී එන්නේද එකම නිරුක්තියකින් වන අතර පැරණි ඉංග්‍රීසි වචනයේ තේරුම වන්නේ ‘ ස්වභාවික, ස්වදේශික’ යන්නයි. අනෙක් අතට genus යන්න ‘ පොදු ලක්ෂණ සහිත දේවල පංතියක්’ ලෙස අර්ථ දැක්වෙයි. Wasen යන්නෙහි අර්ථය මාක්ස්ගේ economic and Philosophical manuscript හී පරිවර්තකයා වන මාර්ටින් මිලිගන් පැහැදිලි කරන්නේ පහත ආකාරයටය.

Wasen යන්නෙන්, එක් අතකින්, සාරය (essence) යන්න අර්ථවත් විය හැකි ය.මෙලොවට ඉහලින් ඇති සුපිරි/ පාරලෞකික/ ලෝකෝත්තර (super-mundane) යමක් හෝ විරලිකෘත / සාමානය ජනයාගෙන් දුරස් (rarefied) යමක් ය යන අර්ථයෙන් නොව, එයට සපුරා ප්‍රතිවිරුද්ධ අර්ථයෙන් යමක තිර/ඝන අරටුව / හරය (solid core) වශයෙනි – එය ආවශ්‍යක / සාරාත්මක  (essential) වන්නේ එහි ආවශ්‍යක නොවන/ සාරාත්මක නො වන්නට  (inessential) වෙනස් වය, (එය එහි) අහඹු ලක්ෂන වලට වෙනස් එහි සාරය/අත්‍යාවශ්‍යම දෙය (substance) යි. දෙවනුව, Wasen යනු ජීවියා (being) සඳහා ජර්මන් භාෂාවේ නිතර යෙදෙන  වචනයහි, මානව ජීවියා නැතහොත්  උත්තරීතර ජීවියා වැනි යෙදුම් වල මෙනි. තෙවනුව, Wasen යන්න හෙගල් පෙන්වා දෙන ආකාරයට, සාමානය ජීවිතයේ දී අරුත් ගන්වන්නේ සාමූහිකයක් (collective) නැතහොත් සියල්ලක් /සමුච්චයක් /සමූහයක් (aggregate) වෙයි. [මෙය ] මාක්ස්ගෙන් එතරම් වෙනස් නො වේ. උදාහරණයකට මාක්ස් das menschliche Wasen (the human being) යන සංකල්පය සාධනීය අරුතින් භාවිත කරන විට මෙය පැහැදිලි ය. ඔහු පෙන්වන්නේ මිනිසාගේ සාරය එක් එක් තනිපුද්ගලයා වෙන්ව ගත් විට ආවේනිකව පවතින  වියුක්තනයක් නොවන බවයි.

  • පී. කේ. ඩී. ප්‍රේමතිලක