සමකාලීන ලිංගිකත්වය, බලය, ආචාරධාර්මිකත්වය, සහ පරාරෝපණය – 02

සමකාලීන ලිංගිකත්වය, බලය, ආචාරධාර්මිකත්වය, සහ පරාරෝපණය – 02

සමකාලීන ලිංගිකත්වය, බලය, ආචාරධාර්මිකත්වය, සහ පරාරෝපණය යන මෙම ලිපි මාලාවේ මුල් කොටසින් අප කතා කළේ අවිතාල් රොනෙල්-නිම්රොඩ් රිට්මන් සිද්ධිය පිළිබඳව යි. ඒ සිද්ධියේදීත්, #Me Too ව්‍යාපාරය හරහා ප්‍රසිද්ධියට පත් වූ බොහෝ එවැනි ලිංගික බලහත්කාරකම් සම්බන්ධ සිද්ධිවලදීත් ඉදිරියට එන අදහසක් වන්නේ “එකඟතාව” (consent) යන්නයි. වෙනත් අකාරයකින් කිවහොත්  ලිංගික බලහත්කාරය යන්න නිර්වචනය කෙරෙන්නේ එකඟතාවකින් තොර ලිංගික ප්‍රවේශයක් ලෙසිනි. පසුගිය දා ලංකාවේ සමාජ මාධ්‍ය ජාලාවල ඇවිළුණු ලිංගික හිංසනයක් සම්බන්ධ සාකච්ඡාවේදීද මේ “එකඟතාව” යන අදහස කරළියට පැමිණියා. රැඩිකල්, ලිබරල්, කන්සර්වටිව්, වාමාංශික, දක්ෂිනාංශික, (හොඳ) පුරුෂෝත්තමවාදී, ස්ත්‍රීවාදී ආදී මෙකී නොකී සියලු දෙනා එකඟ වූ එකම පොදු දෙය ලෙස “එකඟතාව” දැක ගන්න පුළුවන් වුනා.

“එකඟතාව’ ගැන කතා කරන කොට අපි මුලින්ම දැන ගන්න ඕන දෙයක් තමයි ඒක නෛතික-සමාජීය දෙයක් බව. ඒ කියන්නේ ඒක අපේ හැඟීම් සම්බන්ධ දෙයක් වුනත් අපට ඒක සහතික කරන්න වෙන්නේ නෛතික-සමාජීය (socio-legal) තලයක කියන එක. උදාහරණයක් විදියට යමෙකුට ලිංගික බලහත්කාරකමක් ගැන චෝදනාවක් එල්ල වුනාම එයාට අනෙක් කෙනා ලිංගික සම්බන්ධතාවකට “එකඟතාව” දුන්නා කියල පෙන්නන්න වෙන්නේ නෛතික-සමාජීය තලයක. වෙන විදියකට කිව්වොත් දෙන්නෙක් අතර වුණු සිදුවීමක් පොදු අවකාශයට ගෙනාවට පස්සේ ඇත්තටම ඒ දෙන්නා අතරේ වුනේ මොකද්ද කියන එක සත පහකට වැඩක් නැහැ. අදාළ වෙන්නේ “එකඟතාව” නෛතික-සමාජීය තලයක සාධාරණීකරණය කරන්න පුලුවන්ද බැරිද කියන එක විතරයි. මේක පැති දෙකකට කැරකෙන්න පුළුවන්. තමන් “එකඟතාවක්” දුන්නේ නැහැ කියල කෙනෙකුට හොඳටම “දැනෙද්දී” නෛතික-සමාජීය තලයක එයා “එකඟතාවක්” දීල තියෙනවා කියන එක තහවුරු වෙන්න පුළුවන්. අනෙක් පැත්තට තමන් බලහත්කාරකමක් කළේ නැහැ “එකඟතාව” ඇතුව තමයි ඒ දේ සිදු වුණේ කියල කෙනෙකුට හොඳටම “දැනෙද්දී” නෛතික-සමාජීය තලයක කෙනෙක් බලහත්කාරකමක් කළා කියල තහවුරු වෙන්න පුළුවන්.

ඒ වගේම මේ නෛතික-සමාජීය ගොඩනැංවීමට ඓතිහාසිකත්වයක් තියෙනවා. ටීනා සිකා පෙන්වල දෙනවා “එකඟතාව” කියන එක නෛතික-සමාජීය ගොඩනැංවීමක් විදියට ස්ත්‍රීන් විවාහයට පෙර ඔවුන්ගේ පියවරුන්ගේ සහ විවාහයට පසු ඔවුන්ගේ ස්වාමිවරුන්ගේ දේපළ ලෙස සැලකුණු ගිවිසුම සහ දේපළ පිළිබඳ සංකල්පීකරණ වෙතින් වර්ධනය වූ ආකාරය.  ඒ අනුව ස්ත්‍රිය දේපළක් ලෙස සැලකුණු අතර ස්ත්‍රී දූෂණය සැලකුණේ දේපළ අපරාධයක් (property crime) ලෙසයි. සුදු ස්ත්‍රීන් දූෂණය කළ බවට ව්‍යාජ චෝදනා නගා කළු ජාතික පිරිමින් නඩු විභාගයකින් තොරවම මරා දමනු ලැබුවේ (lynching) මේ දේපළ අපරාධය කිරීමේ වරදටයි. 

“එකඟතාවය’ කියන්නේ පුද්ගලයෝ දෙන්නෙක් අතරේ ඇතිවන දෙයක් විදියට ගත්තහම ඒක දෙන කෙනෙක් සහ ඒක ලබාගන්න කෙනෙක් ඉන්නවා. සාමාන්‍ය විෂම ලිංගික ස්ත්‍රී-පුරුෂ සම්බන්ධයකදී නම් “එකඟතාව” දෙන කෙනා ගැහැනිය වන අතර ලබා ගන්න කෙනා පිරිමියා විදියට තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මෙතැන තියෙනවා අසමානතාවක්. “එකඟතාව” සහිත හැම ලිංගික සම්බන්ධයක්ම වගේ වෙන්නේ මේ විදියට. මේ එකඟතාව දීම සහ ලබා ගැනීම සිද්ධ වෙන්නේ හිස් අවකාශයක නෙමෙයි. පුද්ගලයෙක් සතු ධනය, බලය, රූපය, ජනප්‍රියත්වය, සමාජ ප්‍රාග්ධනය, සහ වෙනත් බොහෝ සාධක මේකට බලපානවා. නමුත් “එකඟතාවය” කියන සංකල්පීකරණයේදී අපි මේ සියල්ල නොසලකා ප්‍රතිචේතනික එහෙම නැත්නම් සිය අභිප්‍රාය භාවිත කළ හැකි (volitional), නීතියෙන් ආරක්‍ෂිත, ස්වච්ඡන්දතාව (free will) සමාන ලෙස තියෙන දෙන්නෙක් අතර දෙයක් හැටියට තමයි දකින්නේ. වෙන විදියකට කිව්වොත් අපි “එකඟතාවෙහි” ඇති සියලු අසමානකම් නොතකා හැර ලිබරල් “එකඟතාවක්” හැටියට එය බාරගන්නවා.  

ලිංගික හැඟීමක මොහොතෙදි “එකඟතාව” කියන්නේ ඉතාම අපැහැදිලි, අවිනිශ්චිත දෙයක්.  නමුත් ඒ මොහොතෙන් පස්සේ “එකඟතාව” සමබන්ධයෙන් ප්‍රශ්යනයක් ඇති වුනහම අපි බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණයෙන්ම තාර්කික පැහැදිලි කිරීමක්. ඇත්තටම #Me Too කතා ගොඩක් ගත්තහම ඒවා පසු ආවර්තීයි. ඒ කියන්නේ මේ මොහොතේ ඉඳන් අතීතයට ප්‍රොජෙක්ට් කරන කතා. ඒ නිශ්චිත මොහොතෙන් වෙන් කෙරුණු කතා. ඇත්තටම ගත්තොත් ලිංගික අපයෝජනයක් ගැන නඩුවකදී වුනත් වෙන්නේ මේකයි. මෙන්න මේ අපැහැදිලිතාව නිසා තමයි නිශ්චයවාචී (affirmative) නැත්නම් උද්‍යෝගවත් (enthusiastic) “එකඟතාව” කියන අදහස එන්නේ. විශේෂයෙන්ම බටහිර විශ්වවිද්‍යාලවල මේ අදහස ප්‍රචලිත වෙනවා. මේකෙන් කියවෙන දේ තමයි “එකඟතාව” ප්‍රකාශිත “එකඟතාවක්’ බවට පත් කිරීම.  උදාහරණයක් විදියට නිව් යෝර්ක් රාජ්‍ය විශ්වවිද්‍යාලය නිශ්චයවාචී එකඟතාව කියන එක නිර්වචනය කරන්නේ මෙන්න මේ විදියට:

“නිශ්චයවාචී එකඟතාව යනු ලිංගික ක්‍රියාකාරකමෙහි යෙදීමට සියලු සහභාගිකයන් අතර ඇති වන දැනුවත්, ස්වෙච්ඡාමය, සහ අන්‍යෝන්‍ය තීරණයයි. ලිංගික ක්‍රියාකාරකමෙහි යෙදීමට ඇති කැමැත්ත සම්බන්ධයෙන් පැහැදිලි අවසරයක් වචන හෝ ක්‍රියා මගින් නිර්මාණය කෙරෙන්නේ නම්, එකඟතාව වචන හෝ ක්‍රියා මගින් ලබා දිය හැකිය. නිහඬව සිටීම  හෝ විරෝධය නොපෑ පමණින් එය එකඟතාව ප්‍රදර්ශනය කිරීමක් වන්නේ නැත. එකඟතාව පිළිබඳ නිර්වචනය සහභාගිකයාගේ ලිංගිකය, ලිංගික දිශානතිය, ලිංගික අනන්‍යතාව, හෝ ලිංගික ප්‍රකාශනය පදනම්ව වෙනසට ලක් වන්නේ නැත.” 

මේ නිර්වචනයෙන් පස්සේ ගයිඩ්ලයින්ස් ටිකකුත් තියෙනව නිශ්චයවාචී එකඟතාව ගැන. ඒවා තමයි:

යම් පාර්ශවයක් අතර හෝ සමග කුමන හෝ ලිංගික ක්‍රියාවකට එකඟතාව හෝ පූර්ව එකඟතාමය ලිංගික ක්‍රියාවක් තවත් ලිංගික ක්‍රියාවක් සඳහා වන එකඟතාවක් අවශ්‍යයෙන්ම නිර්මාණය කරන්නේ නැත. (මේ කියන්නේ දැන් වැඩේට එකඟ වුනා කියල හරි කලින් එකඟ වෙලා කරලා තියෙනවා කියල හරි ආපහු පාරක් කරන්න යන්න බැහැ කියන එක. වන් ටයිම් පර්මිෂන් එකක් තමයි තියෙන්නේ. ඊළඟ පාර ආයිමත් වෙනම පර්මිෂන් ගන්න ඕන කියන එක.)

ක්‍රියාව ආරම්භ කරන්නා මත්ද්‍රවය භාවිත කොට හෝ මත්පැන් පානය කොට සිටියත් එකඟතාව අවශ්‍යය. (මේ කියන්නේ මම බීල හිටියේ කියන්න බැහැ කියන එක.)

ආරම්භක අවස්ථාවේ දුන් අනුමැතිය ඕනෑම අවස්ථාවක අවලංගු කළ හැකිය. (මේ කියන්නේ මගදි මට බැහැ කියල නවත්තන්නත් පුළුවන් අනෙක් කෙනාට නවත්තන්න කියල කියන්නත් පුළුවන් කියන එක.)  

පුද්ගලයෙක් අශක්‍ය (incapacitated) තත්වයක සිටී නම් එකඟතාව දිය නොහැකිය. එනම් පුද්ගලයෙකුට  ලිංගික ක්‍රියාවකට සහභාගීවීම දැනුවත්ව තෝරාගැනීමේ හැකියාව නොමැති අවස්ථාවකි. මෙවැනි අශක්‍යතාවක් සිහිමද ගතිය, නින්දේ සිටීම, අනිච්ඡානුගත සංවරය, හෝ වෙනත් හේතුවක් නිසා පුද්ගලයෙකුට එකඟතාව ලබා දිය නොහැකි නම් ඇති විය හැකිය. මත්වී ඇති ප්‍රමාණය අනුව, ඇල්කොහොල්, මත්ද්‍රවය, හෝ වෙනත් මත්කාරක භාවිත කළ අය අශක්‍ය විය හැකි අතර  ඒ අනුව ඒ පුද්ගලයාට එකඟතාව දිය නොහැකිය. (මේ කියන්නේ වින්දිතයට මම අසිහියෙන් හිටියේ කියල කියන්න පුළුවන් කියන එක .)

යම්කිසි බලපෑමක, බියගැන්වීමක, බලහත්කාරයක, හෝ අනර්ථයක් පිළිබඳ තර්ජනයක ප්‍රතිපලයක් මත එකඟතාව ලබා දිය නොහැකිය. 

එකඟතාව අවලංගු කරනු ලැබූ විට හෝ එකඟතාව තවදුරටත් ලබා දිය නොහැකි විට ලිංගික ක්‍රියාව නැවැත්විය යුතුය. (මේ කියන්නේ ඔබ සිටින්නේ සුරතාන්තයට ඔන්න මෙන්න වුවත් ඔබ එය නැවැත්විය යුතුය කියන එක.) 

මේකේ උපරිම ප්‍රකාශනය දකින්න පුළුවන් ඔහියෝවල අන්ටිඔක් කොලේජ් එකේ නිශ්චයවාචි එකඟතාව ගැන ප්‍රතිපත්තියට ගියාම. ඒකෙ පැහැදිලිවම කියනවා කොලේජ් එක ඇතුළේ සියලුම ලිංගික අන්තර්ක්‍රියාකාරිත්වයන් එකඟගතාමය වෙන්න ඕන කියල. අනික ඒ එකඟතාව වාචික වෙන්න ඕන කියල. ඒ කියන්නේ වාචිකව අහන්න ඕන සහ වාචිකව එකඟ වෙන්න ඕන කියල. ඒ විතරක් නෙමෙයි ඒකෙ කියනවා ලිංගික ක්‍රියාකාරකමේ හැම අලුත් ලෙවල් එකකදිම මේ නිශ්චයවාචී එකඟතාව අවශ්‍යයි කියල. ඒකෙන් අදහස් වෙන්නේ මුලින් දුන්න එකඟතාව ෆුල් පැකේජ් නෙමෙයි කියන එක. ඊට පස්සේ කියනවා පාවිච්චි කරන වචන සහ  අභින (gestures) ගැන ලිංගික ක්‍රියාවට කලින් සාකච්ඡා කරලා වාචිකව  එකඟ වෙන්න ඕන කියලා. තව කියනවා දෙපාර්ශවය අතර තියෙන සබඳතාව, පූර්ව ලිංගික සබඳතා ඉතිහාසය, සහ දැනට කරමින් සිටින දෙය (උදාහරණයට දීල තියෙන්නේ ඩාන්සින් ෆ්ලෝර් එකේ එකට නටමින් ඉන්න එක.) අදාළ නැහැ එකඟතාව ගන්න ඕන කියල. ඊළඟ වැදගත් දෙයක් තමයි කෙලින්ම කියනවා නිහඬතාවය මගින් පෙන්නුම් කරන්නේ එකඟතාව නැති බව කියල.

මේ තමයි එකඟතාව අද වෙන කොට ඇවිත් තියෙන දුර. ඒක තවදුරටත් විශ්වාසය, හැඟීම, ආශාව වගේ දේවල් මත තීරණය වෙන දේකට වඩා ඉතාම තාර්කික සහ නෛතික දෙයක් බවටයි පත් වෙමින් තියෙන්නේ. මේකේ තාර්කික අන්තය සමහර විට විවාහය වගේ හැම ලිංගික සම්බන්ධතාවක්ම ඊට කලින් ලියවිල්ලකින් නීතිය ඉදිරියේ එකඟ වෙලා කරන තැනකට යන්න පුළුවන්. ඔව්, හරිම ප්‍රජාතන්ත්‍රවාදී, අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදියක් තමයි මේක. ලංකාවේ ලිබරල්, සමාජවාදී, ස්ත්‍රීවාදී හැමෝම සමාන වෙන තැන තමයි එයාල එක්තරා අර්ථයකින් සමාජ පරිනාමවාදීන් වීම. එයාලට අනුව බටහිර “දියුණු” සහ “ශිෂ්ඨ” සමාජය අපට ඉදිරියෙන් ඉන්නවා සහ අපි උත්සාහ කරන්න ඕනි ඒ තැනට යන්නයි. ඉතින් ඒ අර්ථයෙන් බටහිර සමාජය එකඟතාව හොඳටම තාර්කික කරලා මාර දියුණු තැනකට ඇවිත් තියෙනවා. අවුලක් නැහැනේ? අපිත් ඒ වඩා ශිෂ්ඨ තැනට යන්න ඕනි කියල තමයි එයාල අනිවාර්යයෙන් කියන්නේ. නමුත් මේකේ අවුලක් නැද්ද? පොඩ්ඩක් හිතන්න. අපි ඊළඟ කොටසෙන් අවුල මොකද්ද කියන එක ගැන කතා කරමු.

මතු සම්බන්ධයි…

දර්ශන ලියනගේ

බර්නාර්ඩ් සමරජීව