“අරගලය” ගැන සටහනක්

“අරගලය” ගැන සටහනක්

රාජපක්ෂ පාලනයට එරෙහි ව ඇරඹුණු “අරගලය” සන්ධිස්ථානයකට පැමිණ තිබේ. “අරගලයට” මග සැකසෙමින් තිබූ මුල් අවධියේ ම අපි අපගේ මුහුණු පොත් පිටුවෙහි “වීදි සටන් කරුවන්ට ආණ්ඩු පෙරළිය හැකිය. අපි ඔවුන්ට සුබ පතමු. එහෙත් විප්ලවයට අවශ්‍ය වන්නේ ශාන්තුවරයන් හා ජෝකර්ලා ය.” යන පාඨය පළ කළෙමු. එහෙත් ඉන් පසු  “අරගලය” තුළ අපගේ භාවිතාව වූයේ දේශපාලනික නිමේශයක් ලෙස එහි ගතිකයන් සමග මුසු වීම මිස එයට කෝචොක් දැමීම නො වේ. දැන් ආණ්ඩු පෙරළියක්  නො වන ආණ්ඩු පෙරළියක් සිදු ව ඇත. අපගේ පැත්තෙන් ගත් විට “අරගලය” මගින් පෙන්නුම් කළ විමුක්ති දේශපාලනික විභවයන් දෙක වන්නේ ස්වේච්ඡා මැදිහත්වීම සහ දෘෂ්ටිවාදය සියල්ල නො වේ යන්න පෙන්වා දුන් අනුරාගී සටන්කාමිත්වය යි. තමන් “අරගලකරුවන්” ලෙස අනන්‍යතා ගොඩ නගාගත් අයට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවකාශවල  තව දුරටත් ඒවා නඩත්තු කරගෙන යාම කළ හැකි වුවත් මේ ස්වේච්ඡා අනුරාගී දේශපාලන මැදිහත්වීමේ ජීව ගුණය තව දුරටත් “අරගලය” තුළ පවතීද යන්න අපැහැදිළි ය. අප “අරගලය” සමග සිටගත්තේ ආණ්ඩු පෙරළිමටවත්, නැති වූ සිහින නිසාවත්, වෙනත් බොහෝ දෙනා කියන හේතු නිසාවත් නො වේ. අපට සම්මුතිය පැවතියේ මේ ස්වේච්ඡා අනුරාගී දේශපාලන මැදිහත්වීම සමග ය.  

පසුගිය ජනපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය කෙරෙහි බල පෑ ප්‍රධාන සාධක දෙකක් වෙයි. පළමුවැන්න යුධ ජයග්‍රහණය විසින් එහි උපරිමයට ගෙන විත් තිබූ දකුණේ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී දේශපාලනයේ ප්‍රමුඛ උරුමකරුවා ලෙස ඔහුගේ ස්ථානගත වීම යි. දෙවැන්න “සංවර්ධනය” පිළිබඳ දෘෂ්ටිවාදයේ නියත සහ සපුරා බලාපොරොත්තු තැබිය හැකි අපේක්ෂකයා ලෙස ඔහුගේ ස්ථානගතවීම යි. එක්සත් ජාතික පක්ෂයේ සිරිල් මැතිව්ලාගේ සිට ජනතා විමුක්ති පෙරමුණේ මානෙල් මල් ව්‍යාපාරය දක්වා බොහෝ උරුමකරුවන් සහ පෝෂණය කරන්නන් සිටි නමුත් පසුකාලීන ව දකුණේ සිංහල-බෞද්ධ  ස්වෝත්තමවාදී දේශපාලනය තම තනි භුක්තියට ලියාගැනීමට රාජපක්ෂවරු සමත් වූහ. මහින්ද රාජපක්ෂගේ පාලනය තුළ තහවුරු වූ මේ භුක්තියට ඔහුගෙන් පසුව උරුමකම් කීමට සිටි සුජාත පුත්‍රයා වූයේ ගෝඨාභය යි. “ආරක්ෂක ලේකම්වරයා” (මේ අලුත් තනතුරු නාමකරණය ද ඔහුට පෙර පැවතියේ නැත.) වශයෙන් කටයුතු කර තිබීම මේ සුජාතභාවය වඩාත් තහවුරු කළ අතර  රණවිරු වීරාභිවාදනයේ සංකේතීය බලය දරා සිටියේද ඔහු ය.”රණමග ඔස්සේ නන්දිකඩාල්” වැනි පශ්චාත් යුධ ආශ්වාදී සාහිත්‍යය විසින් ඔහුගේ රණවිරු මහාකාය පුම්බන ලද අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී වාර්තා තබමින් ඒවා අළෙවි වූයේ දකුණේ සිංහල මධ්‍යම පංතිය මත ඔහුගේ බලපෑම කෙතරම් ද යන්න  පසක් කරමිනි. මහපාරේ කිරිබත් කෑ පහළ පංති කොහොමටත් සිටියේ රාජපක්ෂවාදය උස්මුරුත්තාවේ ගොසිනි. රුවන්වැලි සෑ මළුවෙහි දිවුරුම් දෙමින් තමා පත්වූයේ බහුතර සිංහල ඡන්දවලින් බව ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ පවසන විට මේ දෙපිරිසම ප්‍රීතියෙන් පිනා ගියහ.

නිදහසින් පසු ලංකාව තුළ ප්‍රගතිය සහ සංවර්ධනය දෘෂ්ටිවාදයක් ලෙස තහවුරු කිරීමට වාමාංශික සහ දක්ෂිණාංශික කඳවුරු හරි හරියට වැඩ කර තිබේ. පුද්ගලයාගේ “දියුණුව” මෙන් ම සමාජ ප්‍රගතිය ද මෙයට ඇතුළත් වෙයි. එහෙත් ආර්ථික ක්ෂේත්‍රය තුළ මෙය බලපෑම් සහගත ලෙස තහවුරු වන්නේ ජේ.ආර් ජයවර්ධන රජය සමයේ ය. එනමුත් පසුකාලීන ව අධිවේගී මාර්ග, කාපට් අතුරණ ලද මං මාවත්වල සිට ගම්බද කොන්ක්‍රීට් ඇතිරූ පාරවල් දක්වා වන ව්‍යාපෘතියක් මගින් සංවර්ධන දෘෂ්ඨිවාදයේ ද ආධිපත්‍ය දිනා ගැනීමට රාජපක්ෂවරුන්ට හැකි විය. අධිවේගී මාර්ගයේ කිසිදා ගමන් නො කළ හද්දා පිටිසර ගැමියෙකු පවා “අධිවේගී මාර්ගය හැදුවේ මහින්ද මහත්තයා” යැයි උදම් අනන තරමට මෙය උත්කර්ෂයට නංවනු ලැබිණ. එක්සත් ජාතික පක්ෂ රජයන් විසින් සිදු කළ ගොවි ජනයා ඉලක්ක කොට ගත් සංවර්ධන ව්‍යාපෘති යටපත් කරමින් මේ නවීකාරක සංවර්ධන ව්‍යාපෘතිවල අනුහස ඉස්මතු විය. ඒවායින් වඩාත් කුල්මත් ව සිටියේ මධ්‍යම පන්තිය වුවද එය පහළ පංති කරා කාන්දු වීම අනිවාර්යයක් විය. එබැවින් ඔවුන්ද සිටියේ එයින් ගිනිකන වැටී ය. නෙළුම් කුළුන කොළඹ අහස අරා නැගුණේ රාජපක්ෂ සංවර්ධන මොඩලයේ ජය කොන්තය ලෙසිනි.

ගෝඨාභය රාජපක්ෂ මේ සංවර්ධන මොඩලයේ සක්‍රීය චරිතයක් විය. විශේෂයෙන් නගර නිර්මාණය අතින් ඔහු මධ්‍යම පාන්තිකයාගේ සිහින නගරය පහසුවෙන් ස්පර්ශ කළේය. ගමේ සිහිනය නගරය වන බැවින්, ඔහු නගර නිර්මාණය කරන විට ම ගමටද ඇමතුවේ ය.     “දියුණු සංවර්ධිත” රටක පැතුම ඔහු බවට පත් වූයේ එලෙසිනි.

ඒ අනුව ඔහු හරියට ම දකුණේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී දේශපාලනයේත්, දියුණු සංවර්ධිත රටක් පිළිබඳ සිහිනයේත් නියත අපේක්ෂකයා බවට ජනපතිවරණයේ දී පත්විය.

ජනපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වන තැනට පත් කළ “අරගලය” එක් අතකින් ඔහුම ජනපතිවරණයේදී සහතික කළ ප්‍රගතිය සහ සංවර්ධනය පිළිබඳ සිහිනය බිඳ වැටීම සහ ඒ හා බැඳුණු අපේක්ෂා භංගත්වය කෙරෙන් පැන නැගුනකි. “සිහින” විනාශ වූ  නිසා අරගලයට තල්ලු වූ තරුණයන් යනු පසුගිය ජනපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සිය කුළුඳුල් ඡන්දය පාවිච්චි කළ තරුණයන් ම ය. අනෙක් අතට “අරගලය” සාරවත් කළ පස බවට පත් වුයේ ඉන්ධන, ගැස්, බඩුමිල වැනි ප්‍රශ්න නිසා තමන් දන්නා “සාමාන්‍ය” ජීවිතය අර්බුදයට යාම නිසා කැළඹීමට පත්වූ මිනිසුන්ය. ඒ අනුව අරගලයේ ප්‍රකාශිත සටන් පාඨය වූයේ “ගෝටා ගෙදර යනු” යන්න වුවත් ඒ යටින් පැවති ඉල්ලීම වූයේ “සාමාන්‍ය” ජීවිතය යළි ලබා දී පැරණි “සිහින” යළි දකින්නට හැකි තත්ත්වයක් නැවත ස්ථාපිත කරන්න යන්නයි. 

මේ අප්‍රකාශිත ඉල්ලීමෙහි සැඟවුණු යක්ෂයා වන්නේ එමගින් වඩා බලසම්පන්න පාලකයෙකු පරිකල්පනය කෙරෙන බැවිනි. අනුප්‍රාප්තික ජනපතිවරයා ලෙස පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහගේ හැසිරීම එක්තරා ආකාරයකින් පෙන්නුම් කරන්නේ ඔහුගේ නරි ඉවට මෙය දැනී ඇති සෙයකි. දැනටමත් රනිල්  ගැලවුම්කරුවා ලෙස  අභිෂේක ගන්වමින් ඔහු වෙනුවෙන් පෙනී සිටින චරිත සමාජ මාධ්‍ය අවකාශවල  මතුවී තිබේ.  ඒ අනුව මේ වන විට රනිල් යනු හුදෙක් පොහොට්ටු පාර්ශ්වයේ ගැළවුම්කරුවා පමණක් නො වේ. එය බහුතර අදහස බවට පත්වීම ඉන්ධන, ගෑස්, විදුලිය වැනි ප්‍රශ්න විසඳෙන/නොවිසඳෙන ආකාරය මෙන් ම ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ කොටස්කරුවන්ගේ සැලසුම් සහ ක්‍රියාකාරම් වැනි තවත් බොහෝ සාධක මත තීරණය වනු ඇත.

1968 මැයි මාසයේ ප්‍රංශ ශිෂ්‍ය නැගිටිම්වලින් ආරම්භ වී විශ්වවිද්‍යාල සහ කර්මාන්තශාලා අත්පත් කරගනිමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් බවට පත් වූ සුප්‍රකට ප්‍රංශ නැගිටීම මෙහි දී අපට සිහිපත් වෙයි. විරෝධතා උත්සන්න වීමත් සමග එවකට ප්‍රංශ ජනපතිවරයා වූ චාර්ල්ස් ඩි ගෝල් බටහිර ජර්මනියට පළා ගියේය. උද්දාමයට පත් විරෝධතාකරුවෝ  “Adieu, de Gaulle!” (ඩි ගෝල්ට සුබ ගමන්!) යනුවෙන් උද්ඝෝෂණ පාඨ කියමින් පැරිස් නුවර වීදි පුරා පෙළපාලි ගියහ. පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම්වලින් පසුව ජුනි මාසයේදී පාර්ලිමේන්තු මැතිවරණයක් පවත් වන ලද අතර එම මැතිවරණයෙන් ඩි ගෝල්ගේ පක්ෂය පෙර පැවතියාටත් වඩා බහුතර බලයකින් යළි බලයට පත්විය. 

ඉතිහාසය එලෙසින් ම නැවත සිදුවන්නේ යයි නියමයක් නැත. එසේ සිතන තැන කවර හෝ දේශපාලනික මැදිහත්වීමකට ඉඩ ඇත්තේ ද නැත. එහෙත් මේ වන විට රට “අරාජිකවීමට එරෙහි වීම” යන්න පෙරට දමා රනිල් වික්‍රමසිංහ වටා පෙළ ගැසෙන බලවේග විසින් ඔහු ශක්තිමත් කරනු  ලැබුව හොත් “අරගලයේ” අවසානය ප්‍රංශ අත්දැකීමට බොහෝ දුරට සමානවීමට ඉඩකඩ විවෘත ය.  “අරගලයේ” ඉදිරි ගමන  දෙස බලාපොරොත්තු සහගත ව බලා සිටින අතර ම ප්‍රති අරගලයට  ඇති ඉඩ කඩ ද අවතක්සේරු නො කළ යුත්තේ මේ නිසා ය. ප්‍රංශයේ දී ද ලක්ෂ අටක් පමණ සහභාගී වූ දැවැන්ත පෙළපාලියක් ඩි ගෝල්ට සහය පළ කරමින් ජුනි 30 වනදා වීදි සරනුයේ එතෙක් කැරලිකරුවන්ට පැවති බලය අනෙක් අතට මාරු කරමිනි. “අරගලයේ” අයිතියට හිමිකම් කීමට විවධ පාර්ශව සිටින නමුත් එහි ජීව ගුණය පැවතියේ මුලින් ද සඳහන් කළ ආකාරයට ස්වෙච්චා අනුරාගී මිනිස් මැදිහත් වීම මතය. ලක්ෂ ගණන් මිනිසුන් වීදිවලට ගෙන ආවේ එය විසිනි.  එය  තවදුරටත් “අරගලය” තුළ පවතිනවාද යන්න මත දේවල් තීරණය වනු ඇත.

වඩා බලවත් පාලකයෙකු පිළිබඳ පරිකල්පනය සහ පැවති “සාමාන්‍ය” ජීවිතය යළි ඉල්ලා සිටීම යන අප දේශපාලනික ව එකඟ නො වන මානයන් තිබිය දී ම “අරගලයේ” පැවති විමුක්ති දේශපාලනික මානය ලෙස අප හඳුනාගන්නා මිනිස් ආත්මයේ ස්වේච්ඡා අනුරාගී මැදිහත්වීම යනු කුමක්ද? ඒ පිළිබඳ විස්තරාත්මක ව ඉදිරියේදී පැහැදිළි කරන්නෙමු.

  • ප්‍රසන්න අබේවික්‍රම