කොවිඩ් දැනුම සහ කොවිඩ් වතාවත්

කොවිඩ් දැනුම සහ කොවිඩ් වතාවත්

ලෝකය  මේ මොහොතේ  මුහුණ දී සිටින්නේ කෝවිඩ් වසංගතය තුළ  “සාමන්‍යය” යළි  පිහිටුවා  ගන්නේ කෙසේද  යන  අවිනිශ්චිතභාවයේ ගැටලුවට ය.   කොරෝනා වයිරසය පැමිනීමට පෙර පැවති යතාර්තය, ඊට අදාල සමාජ සම්බන්ධතා ජාලය, නැවත “ප්‍රකෘති” (පෙර පැවති) තත්වයෙන්ම පිහිටුවා ගැනීම සඳහා අවශ්‍ය දැනුම  නිෂ්පාදනය කිරීම වෙත යොමු වීම මෙහිදී වැඩියෙන් බර තැබෙන ඉසව්වකි. සැබවින්ම ගත් විට අපගේ සමාජ ජීවිතයට කෝවිඩ් 19 ප්‍රවිශ්ටවූ මොහොත ක්ෂතිමය  අත්දැකීමකි. එය එතෙක් පැවති අපගේ අර්ථ පද්ධතිය දෙදරවා ලූ අතර යථාර්තය “කොරෝනා යථාර්ථයක්” ලෙස සංස්කරණය කළේය. මේ නව යථාර්තයෙහි වන  අර්බුදකාරී ස්වභාවය සමස්තීකරණයට ලක්කරමින් අර්තයකට ගෙන ඒම සහ ඒ ඔස්සේ නව ව්‍යවහාරයක් ගොඩනැගීම සදහා අධිපති  දැනුමේ එළඹුමත්, එහිදී හෙළිදරව් වූ  දැනුමෙහි නෛසර්ගික ස්වභාවයත් විමසීම මේ ලිපියෙහි අරමුණ යි.

වර්තමානය වන විට ප්‍රාග්ධන සමුච්චනය තීරණාත්මක ලෙස සංචරණය මත රඳා පවතියි. මෙය ජාතික රාජ්‍යයන් ඇතුළත වන සංචරණයට පමණක් නො ව ජාතික රාජ්‍යයන් අතර සංචරණය සම්බන්ධයෙන් ද අදාළ වෙයි. කොවිඩ් -19 වසංගතය විසින් සංචරණය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කරන ලදී. එමගින් සීමා මායිම් නැති ගෝලීය ධනවාදය පිළිබඳ අලංකාරෝක්ති අර්බුදයට යන ලදී. මාක්ස් විසින් බොහෝ තැන්හි අවධාරණය කරණු ලැබ ඇති පරිදි ප්‍රාග්ධනය යනු සමාජ සම්බන්ධතාවකි. එය හුදෙක් වචනාර්ථයෙන් ඇඟවුම් කෙරෙන පරිදි ආයෝජනය කරනු ලබන මුදල වත් මිල දී ගනු ලබන නිෂ්පාදන උපකරණ වත් නො වේ. මේ කිසිවකටවත් ඒවායේ අගය අනවරතව විදාරණය කිරීමේ ධාරිතාව නැත. ඒවාට ඒ ගුණය ලැබෙන්නේ වැටුප් ශ්‍රමය යෙදවීම මගින් පමණි. “කපු කටින ජෙනියක් කපු කැටීම සඳහා වන යන්ත්‍රයකි. එය ප්‍රාග්ධනය බවට පත් වන්නේ යම් සබඳතා තුළ පමණි”.  මේ අනුව සංචරණයට ඇතිවූ බාධාව විසින් අර්බුදයට යවන ලද්දේ මේ ප්‍රාග්ධන සබඳතාවය යි. මේ අර්බුදයට විසඳුම ලෙස අනිවාර්යතාවක් ලෙස ඉදිරිපත් වන්නේ දැනුම මගින් දෙන “විසඳුමකි”. හරියටම කිවහොත් “විද්‍යාත්මක දැනුම” මගින් ලබා දෙන විසඳුමකි. ක්‍රමය නොනවත්වා ක්‍රියාත්මක විය යුතුය. එනිසා දැනුම මගින් ගෙන එන විසඳුම අනිවාර්යයකි. ඒ අනුව වර්තමාන විද්‍යාත්මක දැනුම යනු ධනවාදයෙන් වියුක්ත වූවක් නොවේ. එය ධනවාදය සමග සියුම් ලෙස අන්‍යෝන්‍ය වශයෙන් බැඳී තිබේ. දැනුම සහ දෘෂ්ඨිවාදය සාමාන්‍ය භාෂාවෙහිදී සැලකෙන්නේ විරුද්ධ වචන දෙකක් වශයෙන් වුවත් සැබවින්ම ධනවාදය තුළ විද්‍යාත්මක දැනුම යනු දෘෂ්ටිවාදය ජනනය කරන්නා වූ ද, පවත්වාගෙන යන්නාවූ ද අකාරය යි.  

මෙය කොවිඩ්-19 වසංගත තත්ත්වය යටතේ සිදුවූයේ කෙසේද? මේ තත්ත්වය යටතේ සමාජය, ප්‍රජාව, පවුල, පුද්ගලයා “සමාජ සුරක්ෂිතතාව” පිළිබඳ “දැනුමකින්” අර්ථ දැක්වුණු අතර ඒ හා බැඳුණු  නව චාරිත්‍ර වාරිත්‍ර පද්ධතියක්  අපගේ ජීවිතවලට අදාළව  නිර්මාණය විය. සංචරණ සීමා, සමාජ දුරස්තභාවය, නිරෝධායන නීතී, නව සෞඛ්‍ය පුරුදු (නිතර අත්සේදීම , සැනිටයිසර් භාවිතය , මාස්ක්ස් පැළඳීම ආදී වශයෙන්), නව පාරිභෝගික අවශ්‍යතා (මාස්ක්, සැනිටයිසර්, උශ්නත්වමාපක, මෘදුකාංග, ඖෂධ – කොත්තමල්ලි, දුම් හට්ටි, වාෂ්ප අල්ලන උපකරණ, පැණි, ගුලි, කරල්, එන්නත් – ආදියේ සිට කාඩ්බෝර්ඩ්  මිනීපෙට්ටි දක්වා)  වශයෙන් යතාර්ථය සංස්කරණයට ලක්විය.

මේ නව සංස්කරණයට ලක් වූ යථාර්තය අපට තීරණාත්මක ප්‍රශ්න දෙකක් මුණ ගස්වයි. එනම්;

1. කොරෝනා-19 සම්බන්ධ මේ සා විශාල තාර්කික දැනුමක් දරා සිටින අතරම වෛරසයේ “පිස්සු” ක්‍රියාකාරිත්වය ඒ දැනුමට හසු නො වන්නේ ඇයි?    

2. වෛරසය දැනුමට හසු නො වී  ආඳෙකු මෙන් දැනුමේ අත්මිටෙන් ලිස්සා  යනු දැක දැකත්, දැනුමේ අසාර්ථකභාවය දරගනිමින්ම ඒ දැනුම විසින් අපට යෝජනා කරන (එහි උපරිමය ලෙස එන්නත්කරණය ද ඇතුළුව) වත්පිළිවෙත් අපගේ ජිවන ව්‍යවහාරය තුළ ඉටුකිරීමට  අපට සිදු වී ඇත්තේ ඇයි? වෙනත් ලෙසකින් කිවහොත් ව්‍යවහාරය තුළ දැනුමේ අසාර්ථක බව අත්දකින අතර ම අපගේ ව්‍යවහාරය දැනුම මගින් අධිනිශ්චය වී ඇත්තේ ඇයි? (PCR පරීක්ෂණ නෙගටිව් වී කොවිඩ් පොසිටිව් වෙන බව දැන දැන ම පරීක්ෂණ කරන්නේ ඇයි? උණ යනු තවදුරටත් රෝග ලක්ෂණයක් නො වන බව දැන දැනත් යන යන තැන උෂ්නත්වමාපක අල්ලා බලන්නේ ඇයි? “රෝග ලක්ෂණ” යන සංකල්පයම අර්බුදයට ලක් වී ඇති බව දන දැනම දිනපතා රෝග ලක්ෂණ ගැන මාධ්‍ය හා නිල සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කරන්නේ ඇයි?)  

කොවිඩ්-19 වසංගතයේ ආරම්භයේ සිට ම අප අත්දකින්නේ මෙලෙස දැනුමේ වළල්ල ගසා හසු කරගන්නා ක්‍ෂණයෙහිම වෛරසය ඒ වළල්ලෙන් පිට පැනීමයි. ගෙවුණු වසර දෙකකට වැඩි කාලය ගතහොත් මෙතරම් තීව්‍ර  ලෙසත් ශීඝ්‍ර ලෙසත් විද්‍යාත්මක දැනුමෙහි චලනයන් සිදුවී ඇති කාලයක් නැති තරම් ය. “වෛරසය” යන ඒකවචන නාමකරණයම අද වන විට අභියෝගයට ලක් වී තිබේ. අසමත්වීම විද්‍යාත්මක දැනුමේ නිත්‍ය ස්වභාවය වුවත්,  මිනිසා ව්‍යවහාරය තුළ ලෝකය නරඹන්නේ ආධිපත්‍යධාරී දෘෂ්ටිවාදයේ ඇසිනි. එනම් විද්‍යාත්මක දැනුම “සත්‍යය” ලෙස භාරගැනීමෙනි. විද්‍යාත්මක දැනුම “අසත්‍යකරණය” මත පදනම් වන බව කිවුවත් එය ජන සමාජය මත ක්‍රියාත්මක වන්නේ දෘෂ්ටිවාදී “සත්‍යයක්” වශයෙනි. එය ” අසත්‍යවීමට” ඉඩ  ඇත්තක් ලෙස භාරගත් විටම එහි ඇති දෘෂ්ටිවාදී විභවතාව අහෝසි වෙයි.  

 ලෝකය අපට බාහිරින් පවතින අතර එය අපට මුලුමනින්ම අනුභූතිකව ග්‍රහනය කරගත හැකිය යන සිතීම ඔස්සේ විද්‍යාවේ පදනම වැටී තිබේ. ලෝකය පිළිබඳව  සිදුකරන පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන හරහා  ලෝකය දැනුමක් මගින් තේරුම් ගැනීම විද්‍යාවේ ස්වභාවයයි.  මෙය අනවරත ක්‍රියාවලියකි. එම දැනුම අප වෙත පැමිණෙන්නේ අපගේ ව්‍යවහාරය තුළින්  නො ව අපට පිටතින් ඇති වියුක්ත දැනුමක ආකාරයෙනි. උදාහරණයක් ලෙස ගතහොත් කොරෝනා වෛරසයේ දෘශ්‍ය ප්‍රතිනිර්මාණය සලකන්න. දැන් අපි කොරෝනා වෛරසය මෙලස කටු කටු ඇති බෝලයක් වැනි දෙයක් බව “දන්නෙමු”. අපි අප දැනටමත් “දන්නා” එවැනි වස්තු ඇසුරෙන් කොරෝනා වෛරසය මෙවැනි දෙයක් යයි “දැනගමු”. එවිට මෙලෙස අපට මෙය භාරගැනීමට හැකියාව ලැබෙන්නේ විද්‍යාවේ සත්‍යය පිළිබඳ දෘෂ්ටිවාදය නිසාය. එවිට “විද්‍යාත්මක සත්‍යයට” ආරෝපණය වී ඇති දෘෂ්ටිවාදී බලය අපට තේරුම් ගත හැකිය. වෙනත් ලෙසකින් කිවහොත් අපේ ආසන්නම ව්‍යවහාරික අත්දැකීම වන්නේ විද්‍යාත්මක දැනුමේ අසමත්කම වන විට දී පවා අපගේ දෛනික වතාවත් (අපි ඒවාට කොවිඩ් වතාවත් ලෙස නම් කරමු) හැඩ ගස්වන්නේ, හරියටම කිව හොත් අපගේ ව්‍යවහාරිකත්වය සකසන්නේ පරාරෝපිත විද්‍යාත්මක දැනුම විසිනි. වෙනත් ලෙසකින් කිවහොත් පිටතින් ආරෝපිත බලවේගයකින් මෙහෙය වන පිල්ලි මෙනි. අප ධනවාදයට ආදාළ දෛනික වත්පිළිවෙත්වල නියැලෙන්නේ ද කොවිඩ්-19 වත්පිළිවෙත්වල නියැලෙන ආකාරයටමය. ආගම සහ විද්‍යාව සාමානන්‍ය ව්‍යවහාරයේදී එකිනෙකට විරුද්ධ වචන ලෙස සැලකෙතත් මේ ආකාරයෙන් ගත් විට සැබවින්ම අපට විද්‍යාත්මක දැනුම  සමග ඇත්තේ ආගමික සම්බන්ධයකි. ධනවාදය සම්බන්ධයෙන්ද එය එසේමය. අප විද්‍යාත්මක දැනුම සමග හෝ ධනවාදය සමග සම්බන්ධ වන්නේ “තාර්කික” ව නොව “අතාර්තිකව”ය. “එන්නත්කරණය එකම විසඳුම” යයි ප්‍රවර්ධනය කෙරෙන්නේ එසේ ප්‍රකාශයට පත් කෙරෙන විද්‍යාත්මක දැනුම විසින්ම එය බලරහිත කෙරෙන වෛරසයේ නව ප්‍රභේධ සම්බන්ධ විද්‍යාත්මක දැනුමද එකවර ප්‍රකාශයට පත් කෙරෙමින් පවතින තත්වයක් යටතේය. එවන් තත්වයක් යටතේ “එන්නත්කරණය එකම විසඳුම” ලෙස පිළිගැනීමට අපට හැකිවන්නෙම එය ආගමික විශ්වාසයක් වශයෙන් පිළිගන්නේ නම් පමණකි. ඒ විශ්වාසයෙහි පදනමෙහි පවතින්නේ ධනවාදී සමාජ සබඳතා යළි පෙර පරිදිම ඉදිරියට යනු ඇතැයි යන විශ්වාසයයි; එසේ වනු දැකීමට ඇති ආශාවයි.  ලංකාවේ (නිසැක සර්වඥ) ධාතු වන්දනා පෝලිම් හා එන්නත් පෝලිම් අතර මේ අනුව ගත්   විට ඇත්තෙන්ම වෙනසක් ඇත්තේ නැත. “නිසැක සර්වඥ ධාතු” මෙන්ම “එකම විසඳුම වන එන්නත්කරණය” ද අපට සම්බන්ධ වන්නේ එකම තැනකිනි.  

 කොරෝනා වසංගතයේ ආරම්භයේදී විවිධ ජාතික රාජ්‍ය එයට ප්‍රතිචාර දක්වන ලද්දේ විවිධ අකාරවලිනි. ඒ ප්‍රතිචාරවලට යම් දුරකට ඒ සමාජවල ඓතිහාසිකත්වය මෙන් ම ඒවායේ පාලන තන්ත්‍රවල සුවිශේෂ ස්වරූප ද බලපෑවේය. උදාහරණයක් ලෙස චීනය වසංගතයට මුහුණ දුන්නේ දැඩි නීති රීති සහ ක්‍රියාමාර්ග මෙන්ම ආවෘත ක්‍රියාවලියක් ඔස්සේය. එවකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ෆ් සංචරණ සීමා සහ ලොක්  ඩවුන් වැනි ක්‍රියා මාර්ග ගැන අකමැත්ත ප්‍රකාශ කරමින්  “ඇමෙරිකාව වැඩ කළ යුතුයි” යන්න  අවධාරණය කළේය. ඇතැම් රටවල් දැඩි සංචරණ සීමා සහ වෙනත් කොවිඩ් පාලන ක්‍රියාමාර්ග ක්‍රයාත්මක කළ අතර තවත් ඇතැම් රටවල් රැඩිකල් ලෙස දැඩි සංචරණ සීමා කරා යොමුවිය. මේ ක්‍රියා මාර්ග අතර බැලූ බැල්මට පෙනෙන වෙනස ඉක්මවා යන සමානකම කුමක්ද? මේ හැමෙකක්ම අවසන් වශයෙන් ගත්  විට ප්‍රාග්ධන සමුච්චනය සහ ප්‍රසාරණය සඳහා වන “සාමාන්‍ය” තත්ත්වය හැකි ඉකමණින් යළි ළඟා කර ගැනීම සඳහා වන ක්‍රියා මාර්ග වෙයි.  ” කෝවිඩ් සමග ජීවත් වීම ” යන අදහස කරලියට පැමිනෙන්නේ  “ආර්ථිකය”(The Economic) දිව වීම ප්‍රධාන වන බැවිනි. ධනවාදය යටතේ “ආර්ථිකය” යනු අපට පිටින් පවතින බලවත් දෙයකි. වෙනත් ලෙසකින් කිවහොත් අප ජිවත් විය යුත්තේ “ආර්ථිකය”  වෙනුවෙනි. එසේ නොමැතිව ආර්ථිකය අප වෙනුවෙන් පවතිනවා නොවේ. මරණ බිය පෙනී පෙනී ඇඟලුම් කම්හල්වල තරුණියනට වැඩ කරන්නට සිදු වී ඇත්තේ දිවි පරදුවට තබා “ආර්ථිකය” දිව විය යුතු නිසාය. ඒ අනුව “එකම විසඳුම” වන එන්නත්කරණය යනු හැකි  ඉක්මණින් නැවත වැඩ පටන් ගැනීමේ සූත්‍රය මිස අන් කිසිවක් නො වේ. කෝවිඩ් වසංගතයට විසඳුම් සෙවීමේ තැන   සිට එය සමග “ජීවත්වීමේ” තැන දක්වා රාජ්‍යයන්ගේ විතැන්වීම වටහාගත හැක්කේ මෙලෙසිනි.

සැබවින්ම එන්නත සහ ධම්මික පැණිය හෝ වෙනත් එවැනි ඕනෑම “පාරම්පරික” හෝ “දේශීය” ප්‍රතිකර්මයක් බැලූ බැල්මට එකිනෙකට ප්‍රතිවිරුද්ධ සේ පෙනී ගියද සැබවින්ම මේවා සියල්ල ඉදිරිපත් වන්නේ එකම යථාර්තයක ය. එන්නත සමග මෙන්ම ධම්මික පැණිය සමග ද සම්බන්ධවන්නේ එකම විද්‍යාවේ ආත්මයයි. ඊයේ ධම්මික පැණිය ගන්නට පෝලිම් ගැසී සිටි කෙනාම අද එන්නත් පෝලිමේ සිටියි. ව්‍යවහාරයක් ලෙස ඔහුට මේ දෙකෙහි වෙනසක් නැත. වෙනත් ලෙසකින් කිවහොත් “දේශීය” හෝ “පාරම්පරික” යන්න අර්ථ දැක්වෙන වෙනම අර්ථකතන විශ්වයක් නැත. ඇත්තේ එකම නූතනත්වයේ, විද්‍යාත්මක දැනුමේ, ධනවාදයේ අර්ථ විශ්වයකි.   

පහත ලිපි ලේඛන ඇසුරු කෙරිණ

Marx, K. (1967). Capital, vol 1. London: Lawrence and Whishar.

Burden, & Robert. (2015). Travel, Modernism and Modernity. London and New York: Routledge.

-ලක්ෂාන් රජිත