සමකාලීන ලිංගිකත්වය, බලය, ආචාරධාර්මිකත්වය සහ පරාරෝපණය – 01

සමකාලීන ලිංගිකත්වය, බලය, ආචාරධාර්මිකත්වය සහ පරාරෝපණය – 01

අවිතාල් රොනෙල් (Avital Ronell) නිව් යෝර්ක් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියකි. එසේම  ඇය යුරෝපියානු පශ්චාත් උපාධි විද්‍යාලයෙහි දර්ශනය පිළිබඳ ෂාක් ඩෙරීඩා මහාචාර්යවරියයි. ඇය මහාද්වීපික දර්ශනය, සාහිත්‍ය අධ්‍යයනය, මනෝවිශ්ලේෂණය, දේශපාලන දර්ශනය, සහ ආචාරධර්ම වැනි විෂයන් පිළීබඳ ව විශාල වශයෙන් ලියා ඇති “දාර්ශනික” යන ආමන්ත්‍රණ පදය ඇයගේ නමට මුලින් කියවෙන ප්‍රකට විද්වත් චරිතයකි.

2017 සැප්තැම්බර් මාසයේදී ඇයගේ පශ්චාත් උපාධි ශිෂ්‍යයෙක් ඇය විසින් අවුරුදු තුනක් පුරා තමාට ලිංගික හිංසන, ලිංගික අඩත්තේට්ටම්,  උපායශීලි ප්‍රවේශයන්, සහ ලිංගිකමය පළිගැනීම් කළ බවට චෝදනා කළේය. ඇය විසින් ඔහුට යවන ලද ඊමේල් පණිවුඩවල ඔහු අමතා තිබුණේ “my most adored one”, “sweet cuddly baby”, “cocker spaniel”, “my astounding and beautiful Nimrod” වැනි ආමන්ත්‍රණවලිනි. මේ ඊමේල් අදාළ සිසුවා විසින් මේ සිද්ධිය සම්බන්ධයෙන්  විමර්ශන පැවැත්වූ කණ්ඩායමට සහ මාධ්‍යවලට ලබා දී තිබූ අතර ඒවායෙහි මෙවැනි ප්‍රකාශ දැකිය හැකිය: “මම අවදි උනේ පොඩි උණ ගතියකුයි උගුරේ අමාරුවකුයි එක්ක. උගුරේ අමාරුවේ ප්‍රශ්නේ මොකද්ද කියල දැනගන්නකම් මම අමාරුවෙන් හරි ඔයාව කිස් නොකර ඉන්න උත්සහ කරන්නම්. මේක නම් ලේසිපාසු කල් දැමිල්ලක් නෙමෙයි!”; “ඔයාගේ දවස මැද කිස් එකේ වෙලාව. භාවනාවට සමවැදුනම මගේ හිතේ මැවෙන රූපය: අපි දෙන්න සෝෆා එකේ, ඔයාගේ ඔලුව මගේ උකුළේ, ඔයාගේ නළල උඩ හෙමිහිට යන මගේ ඇඟිලිතුඩු, ඒවා මෘදුවට ඔයාගේ කොන්ඩෙ එක්ක සෙල්ලම් කරනවා, මං ඔයාව නළවනවා, ඔළුවේ කැක්කුම ඉවරයි, ඔව්.”    

ඇය දිගින් දිගටම තමා ඇල්ලීම සහ සිපගැනීම සිදු කළ බවත්, තමා සමග සිය ඇඳෙහි නිදාගත් බවත්, සිය අත අල්ලාගෙන සිටි බවත්, තමාට නිතර නිතර ඊමේල් පණිවුඩ එවීම සහ දුරකතයෙන් කතා කිරීම සිදු කළ බවත්, ඒවාට සුබවාදී ප්‍රතිචාර නොදක්වන්නේ නම් තමා සමග වැඩ කිරීම ප්‍රත්ක්ෂේප කළ බවත් ඔහු කියා සිටියේය.

නිම්රොඩ් රිට්මන් නම් මේ සිසුවා සඳහන් කරන ආකාරයට මේ ප්‍රශ්න ආරම්භ වූයේ ඔහු නිල වශයෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමටත් පෙරය. 2012 වසන්තයේදී මහාචාර්ය රොනෙල් ඇය සමග පැරිසියේ දින කීපයක් ගත කිරීමට ආරාධනා කළ බවත් ඔහු පැමිණි මුල් දිනයේම ඇය ඇගේ නිදන කාමරයේ සිට ඇය දහවල් කෙටි නින්දට යන තුරු  ඇයට කවි ගායනා කරන ලෙස ඉල්ලා සිටි බවත් ඔහු පවසයි. තමන් ඒ මොහොතේම රතු එළියක් දුටු නමුත් තමන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සිටින නිසා “වැඩේ අවුල් කර ගන්න හොඳ නැහැ” කියා සිතුන නිසා ඉවසා සිටි බවත් ඔහු කියා සිටියි. “ඇය මාව එයාගේ ඇඳට ඇදල ගත්තා. මගේ අත්දෙක අරගෙන එයාගේ පියයුරු උඩින් තියාගත්තා. ඇගේ තට්ටම් මගේ ලිඟු පෙදෙසට තියල තද කරා. මාව කිස් කරා. මගේ අත් කිස් කරා. මගේ ඇඟ කිස් කරා. එදා හැන්දෑවෙත් ඒ වගේම කරා.” රිට්මන් පවසා සිටියි.

තමා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පසුවද මේ චර්යාව නොකඩවා කෙරීගෙන ගිය බව ඔහු සඳහන් කරයි. 2012 වසරේ හරිකේන් කුණාටු ඉරිදාවේ ඇයගේ නිවසට විදුලිය නැති බව පවසමින් ඇය තම අපාර්ට්මන්ට් එකට පැමිණි බවත්, සිය විරුද්ධත්වය නොතකා ඔහුගේ ඇඳෙහි ඇයටද නිදා ගත හැකි බව පවසා එහි නතර වූ බවත්, එහි රැඳී සිටිමින් සතියකට ආසන්න කාලයක් හැම රැයකම තමා සිඹිමින්, මිරිකමින් තමාට ලිංගික හිංසන කළ බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියි.    

මේ චෝදනා පිළිබඳව පැවැත්වුණු මාස එකොළහක Title IX විමර්ශනයකින් පසු තීරණය වූයේ ලිංගික හිංසනය පිළිබඳ චෝදනාවට ඇය වැරදිකරු බවයි. දඬුවම ලෙස නිව් යෝර්ක් විශ්වවිද්‍යාලය විසින් 2018-2019 අධ්‍යයන වර්ෂයේ ඇය වැටුප් රහිත සේවා අත්හිටුවීමකට ලක් කරන ලදී.

අවිතාල් රොනෙල් මේ කිසිඳු චෝදනාවක් පිළිගත්තේ නැත. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලබා දුන් ප්‍රකාශයක ඇය සඳහන් කළේ ඔවුන් දෙදෙනා අතර හුවමාරු වූ පණිවුඩ වැඩිහිටියන් දෙදෙනෙකු අතර හුවමාරු වූ ඒවා බවත්, පොදු ඊශ්‍රායල් උරුමයක් බෙදා හදා ගන්නා  දෙදෙනෙකු වීම සහ ඔවුන්ගේ පොදූ ශාස්ත්‍රීය පසුබිම් සහ සංවේදනාවලින් පැන නැඟි සාලංකාර හා සාටෝප කතාබහට ඇති ලැදියාව හැරෙන්නට වෙනත් දෙයක් නොතිබූ බවත්ය. එසේම, තුන් වසරක කාලයක් පුරා මේ ආකාර කතා බහ ඔහු විසින්ද නැවත නැවතත් තමාගෙන් ඉල්ලා සිටි බවත්, ඒවාට ප්‍රතිචාර දැක්වූ බවත්, එවැනි කතා බහට තමා වැඩිවැඩියෙන් උනන්දු කරවූ බවත් ඇය වැඩි දුරටත් සඳහන් කළාය. එසේම ඇය තමාට එරෙහි ඔහුගේ චෝදනා ඔහුගේ අදක්ෂභාවය නිසා ඇති වූ ප්‍රශ්න කෙරෙන් පැන නැගුනු බවට ඉඟි කෙරෙන ප්‍රකාශ සිදු කළාය. ඇය වරක් ප්‍රකාශ කළේ “ඔහුගේ ප්‍රධානම උභතෝකෝටිකය වුනේ ඔහුගේ ලිවීමේ තියෙන දුරවබෝධභාවය, සහ හඳුනාගන්න පුළුවන් ආර්ගියුමන්ට් එකක් නැතිකම” බවය. 

අනෙක් අතට රිට්මන් ප්‍රකාශ කළේ රොනෙල් විරසක වුවහොත් තම අනාගතයට එය නරක ලෙස බලපානු ඇති යන බිය නිසා තමා සියල්ල ඉවසා සිටි බවය. මෙවන් සිද්ධියකදී සාමාන්‍යයයෙන් වන පරිදි රොනෙල් වෙනුවෙන් පෙනී සිටින පිරිස් “රිට්මන් මේ චෝදනා ඉදිරිපත් කිරීමට මෙතරම් කල් ගත්තේ ඇයි” යන ප්‍රශ්නය නැගූහ.     

අවිතාල් රොනෙල්ට නිව් යෝර්ක් විශ්වවිද්‍යාලය විසින් වසරක වැටුප් රහිත සේවා අත්හිටුවීමක් ලබා දුන් පසු නමගිය ප්‍රකට චින්තකයන් පනස් දෙනෙකු විසින් අත්සන් කරනු ලැබ විශ්වවිද්‍යාල පාලනාධිකාරය වෙත යොමු කෙරුණු ලිපියක් මාධ්‍යවලට කාන්දු විය. එම ලිපියට අත්සන් තැබූ ආචාර්ය මහාචාර්යවරු මෙසේ සඳහන් කර තිබුණි. “අපි මහාචාර්ය රොනෙල්ගේ ප්‍රසාදජනකභාවයට, තියුණු බුද්ධියට, සහ බුද්ධිමය කැපවීමට සාක්ෂි දරන අතර, ජාත්‍යන්තර වශයෙන් ඇයගේ ස්තානගතවිමට සහ කීර්තියට නිවැරදි ලෙසම යෝග්‍ය වන්නාවූ ගරුත්වය ඇයට ප්‍රදානය කරන ලෙස ඉල්ලමු. ඇය රැකියාවෙන් නෙරපනු ලබන්නේ නම් හෝ රාජකාරිවලින් මුදා හරිනු ලබන්නේ නම්, ඒ අසාධාරණය විරෝධයට ලක් වනු ඇත. එමගින් මානව ශාස්ත්‍ර විෂයටත්, නිව් යෝර්ක් විශ්වවිද්‍යාලයටත්, මේ ගෙවෙමින් තිබෙන කාල සීමාවේ බුද්ධිමය ජීවිතයටත් වන අහිමිවීම අතිවිශාල වන අතර විය යුතු ලෙසම පුළුල් සහ තීව්‍ර මහජන සන්නිරීක්ෂණයකට ලක් වනු ඇත.” මේ ප්‍රකාශයට අත්සන් තබා තිබූ පළමුවැන්නා වූයේ Gender Trouble නම් කෘතිය ද ඇතුළු කෘති ගණනාවක් රචනා කර ඇති, වර්තමාන ඇකඩෙමියාව තුළ සිටින ප්‍රමුඛ ස්ත්‍රීවාදී චින්තිකාවක වන ජුඩිත් බට්ලර්ය. එසේම එයට ස්ලවෝජ් ශීෂෙක්, ජෝන් ස්කොට්, ශෝන්-ලුක් නැන්සි යන නම්ද ඇතුළත්ය. පසුව බට්ලර් ලිපියෙහි “වචන යෙදී ඇති ආකාරය” ගැන තමා පසුතැවෙන බව ප්‍රකාශ කළාය. ශීෂෙක් ඔහුගේ ස්ථාවරය තහවුරු කරමින් පැවසුවේ මහාචාර්ය රොනෙල්ගේ හැසිරීම් ලිංගික හිංසනයකට වඩා උත්කේන්ද්‍රිකතාවෙහි/අසාමාන්‍ය බවෙහි (eccentricity) ක්‍රියා බවයි. එසේම මේ ප්‍රකාශයට අත්සන් තැබූ ටෙක්සාස්-ඔස්ටින් විශ්වවිද්‍යාලයේ අලංකාර ශාස්ත්‍රය පිළිබඳ අධ්‍යයනාංශයේ ප්‍රමුඛ මහාචාර්ය ඩයන් ඩේවිස් ප්‍රකාශ කළේ ඇයත් ඇයගේ සම-සගයිනුත් රිට්මන් විසින් ස්ත්‍රීවාදී නිමවුමක් වන Title IX ස්ත්‍රීවාදිනියක බිම හෙළීමට පාවිච්චි කිරීම ගැන අතිශයින් භ්‍රාන්තියට පත්වූ බවයි. “මම ඇත්තටම Title IX සහ Me Too ව්‍යාපාරය කරන්න හදන දේට, අපහරණනය වළක්වන්න ගන්න උත්සාහයට ගොඩක් සහයෝගය දෙනවා, ඒකට එයාල යම් ආකාරයක යුක්තියක් සොයනවා.  ..නමුත් අන්න ඒ හේතුව නිසාම තමයි යුක්තිය සඳහා වන මේ ඇදහිය නොහැකි තරම් වන ශක්තිය එයටම එරෙහිව කරකවල ගහන එක හරිම කලකිරීමක් ඇති කරවන්නේ, අපි ගොඩ දෙනෙක් විස්වාස කරන්නේ මේ සිද්ධියේදී වෙන්නේ ඔය දේ කියල.” ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

“ලොස් ඇන්ජලීස් රිවීව් ඔෆ් බුක්ස්”හි පළවූ ලිපියක් පෙන්වා දෙන ලද්දේ මහාචාර්ය රොනෙල්ගේ අයපත් පැවැත්ම “න්‍යායික තරුවක්” (Theory Star) ලෙස මානවශාස්ත්‍ර විෂය තුළ ඇය දරා සිටින බලය සමග අති සමීප ලෙස බැඳී ඇති බවයි. මහාචාර්ය රොනෙල් “තියරි තරුවක්” වීමේ ආයතනික සහ ඓතිහාසික පසුබිම් දීර්ඝ ලෙස විශ්ලේෂණය කරන එහි කතුවරු ඇය ආයතනික ව්‍යුහයන් ඉක්මවා යමින් විශ්වවිද්‍යාල ආචාර්ය භුමිකාවේ වෘත්තීයභාවය වෙනුවට තරුවක් ලෙස ඉස්මතු වූ ආකාරය පෙන්වා දෙති. එසේම මහාචාර්ය රොනෙල්ගේ ගුරු සහායිකාවක ලෙස කටයුතු කොට ඇති ඇන්ඩ්‍රියා ලෝන්ග් සිය අත්දැකීම් සිහිකැඳවමින් කියා සිටියේ තමන් රිට්මන්ගේ චෝදනා සත්‍ය සේ සළකන බවයි.         

වසරක සේවා තහනමකින් පසුව ඇය නැවතත් නිව් යෝර්ක් විශ්වවිද්‍යාලයේ සේවයට බඳවා ගැනුණු විට එහි ශිෂ්‍ය එකමුතුව (Student Government Assembly) “ලිංගික හිංසනවල වින්දිතයන් ආරක්ෂා කිරීමේ විශ්වවිද්‍යාල ප්‍රතිපත්තියට එය පටහැනි බව” පවසමින් එයට විරුද්ධ විය. එසේම ඇය නැවත සේවයට බඳවා නොගන්නා ලෙස පවසමින් සිසුන්, ආචාර්යවරුන්, සහ සේවකයන් 250 දෙනෙකු පමණ අත්සන් කළ පෙත්සමක්‌ද විශ්වවිද්‍යාල පාලනාධිකාරියට භාරදෙන ලදී. මේ සියල්ල තිබියදී ඇය මේ මොහොතේත් නිව් යෝර්ක් විශ්වවිද්‍යාලයේ අචාර්යවරියක ලෙස සේවය කරමින් සිටියි. 2019  දී මහාචාර්ය රොනෙල් නැවත සේවයේ ස්‌ථාපිත කිරීමෙන් පසු නිව් යෝර්ක් විශ්වවිද්‍යාලය ඇය  විසින් උගන්වනු ලබන “නොපිරිමැසුණු වයිරයන්: දුක්ගැනවිලි, අඩස්සිවීම්, සහ කඩයිම් ගැටළු පිළිබඳ න්‍යායන්” (Unsettled Scores: Theories of Grievance, Stuckness, & Boundary Troubles) නමැති පාඨමාලව ප්‍රචාරණය සඳහා සකස් කෙරුණු ප්‍රචාරක අත්පත්‍රිකාවෙහි මෙසේ සඳහන් විය: “අප රහසිගතව දණ්ඩනාගාර ව්‍යුහයන්  අභ්‍යන්තරීකරණය කරගෙන ඇත්තේ කෙසේද?” (How have we secretly internalized penitentiary structures?)

අවිතාල් රොනෙල් සමලිංගික (queer) කෙනෙකු ලෙස තමන් හඳුන්වා ගන්නා අයෙකි. රිට්මන් පිරිමි සමලිංගිකයෙකි (gay). Title IX යනු ඇමෙරිකානු අධ්‍යාපන ආයතනවල ලිංගික හිංසනය සම්බන්ධයෙන් වන නීතියයි. එය පිහිටුවීමට ස්ත්‍රීවාදී සංවිධානවල තෙරපුම බොහෝ සේ හේතු විය.

රොනෙල්-රිට්මන් සිද්ධිය අපට සමකාලීන ලිංගිකත්වය හා බැඳුනු බොහෝ පැති අනාවරණය කර ගැනීමට උපකාරී වෙයි. මේ ලිපි මාලාවෙන් අප බලාපොරොත්තු වන්නේ ඒ එකිනෙක සාකච්ඡා කිරීමටයි. මේ සිදුවීම කරලියට පැමිණියේ #Me Too ව්‍යාපාරය වඩා කතා බහට ලක් වෙමින් තිබූ කාලයේය. බොහෝ #Me Too කතන්දර මෙන්ම රිට්මන්ගේ කතාවද කලකට පෙර සිදුවූ සිද්ධියක් පිළිබදව වූවකි. 

රොනෙල්-රිට්මන් සිද්ධියේ කේන්ද්‍රයෙහි පවතින ගැටලුව වන්නේ  ලිංගික සම්බන්ධයක් (පුළුල් අරුතින් කතා බහ සහ සමහර විටක බැල්මද ඇතුළුව) සහ ලිංගික හිංසනයක් අතර වෙනස කුමක්ද යන්නත් එය තීරණය කරන්නේ කුමන මොහෙතේදී, කවර පාර්ශව විසින් කුමන සාධක මතද යන්නත්ය. හිංසනයෙන් සම්පුර්ණයෙන්ම තොර “ශුද්ධ” ලිංගික සම්බන්ධයක් ලෝකයෙහි පැවතිය නොහැකිය. ඇත්තටම සිදුවන්නේ සහභාගිකයන්ගේ ස්වභාවය අනුව ඒ හිංසනයෙහි “මාත්‍රාව” අඩු වැඩි වීමය. ඒ අනුව අවසන් අර්ථයෙන් ගත්  විට ලිංගික සම්බන්ධයෙන් වෙනස් වූ “ලිංගික හිංසනය” යන්නක්  අපට අර්ථ ගන්වා ගත හැක්කේ නීතිමය, සදාචාරමය, සහ සමාජ-සංස්කෘතික සම්මතයන් තුළ පමණි. වෙනත් විදියකින් කිව හොත් යමෙකුට තමා හිංසනයකට ලක් වූයේය යන හැඟීම ඇති වුවත් පෙර කී ආකාරයෙන් නීතිමය හෝ වෙනත් එවැනි තලයක එය හිංසනයක් ලෙස අර්ථ ගැන්විය නොහැකි නම් එය හිංසනයක් ලෙස පිළිගැනෙන්නේ නැත.  

අනෙක් අතට යම් කෙනෙක් තමන්ට හිංසනයක් සිදුවූ බව දැනගන්නේ ද පෙර කී නීතිමය සහ වෙනත් “දැනුම්” මගිනි. මෙය ඉතා පැහැදිළිව දැක ගත හැක්කේ ළමා ලිංගික අපහරණවලදී ය. සැබවින්ම තමන්ට සිදුවන්නේ අපහරණයක් බව ළමයින් දන්නේ නැත. කුඩා දරුවෙකුට රස කැවිල්ලක් දී අපහරණයක් කරන ළමා අපයෝජකයෙකු කුඩා දරුවාට අනුව අපයෝජකයෙකු නොවේ. ඔහු තමාට රසකැවිල්ලක් දුන් මිනිසෙකි. ළමයින්ට අපහරණ අවස්ථා සම්බන්ධයෙන් “දැනුමක්” ලබා දෙන්නේ මේ නිසාය. ඒ “දැනුමෙන්” තොරව ලිංගික අපයෝජනයක් පවතින්නේ නැත. මෙහි තවත් පැත්තක් තිබේ බොහෝ විට සමාජ සම්මත තුළ සිටිමින් සහ  සහ “එකඟතාව” මත සිදු කෙරෙන “සාමාන්‍ය” ලිංගිකත්වයෙන් බැහැරට යන පුද්ගලයාද මේ “දැනුම” නොමැති පුද්ගලයෙකු නොවේ. සැබවින්ම ඔහුට අවශ්‍ය වන්නේම එය උල්ලංඝනය කරන්නටය. වෙනත් ලෙසකින් කිව හොත් ඔහුට අමුතු සතුටක් ගෙන එන්නේම එම උල්ලංඝනයයි. ඒ අර්ථයෙන් ගත් විට ඔහුගේ අමුතු සතුටේ මූලයද අන් කිසිවක් නොව ලිංගික හිංසනය පිළිබඳ “දැනුමයි”. අප මේ ගැටය ලිහා ගන්නේ කෙසේද?

මතු සම්බන්ධයි……

දර්ශන ලියනගේ

බර්නාර්ඩ් සමරජීව