ප්‍රජාතන්ත්‍රවාදය: ඉල්ලමද? ඉල්ලීමද? ඉල්ලං කෑමද?

ප්‍රජාතන්ත්‍රවාදය: ඉල්ලමද? ඉල්ලීමද? ඉල්ලං කෑමද?

විමුක්ති දේශපාලනය පැත්තෙන් ගත් කල අරගලයේ එක් ජයග්‍රහණයක් වන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය ප්‍රායෝගික ව අපට මුණ ගස්වා තිබීම ය. “ව්‍යවස්ථාවට” එරෙහි ව “ජනතාව”, “නියෝජනයට” එරෙහි ව “මහජන කවුන්සිල” වැනි විවිධ විප්‍රකාර ලෙස දැන් මෙය මතු වෙමින් තිබේ. අවසානයේ දී “මම ඉන්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න” යයි ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයා ලෙස තමන් ම පත් කර ගන්නා රනිල් වික්‍රමසිංහත්, ප්‍රජාතන්ත්‍රවාදයේ දී ව්‍යවස්ථාවට වඩා “ජනතාව” වැදගත් බව කියන අයත්, වඩ වඩා ප්‍රජාතන්ත්‍රවාදී “මහජන කවුන්සිල” ඉල්ලන අයත් නටන්නේ එක ම රඟ මඬලක ය. සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදය පරම නිෂ්ඨාව ලෙස භාරගෙන සිටිති.

පහත පළ වන්නේ අදින් වසර තුනකට පෙර (2019 මැයි 26) කොල්ලුපිටියේ CMU ශාලාවේ පැවති “ප්‍රජාතන්ත්‍රවාදය: ඉල්ලමද? ඉල්ලීමද? ඉල්ලං කෑමද?

” නමින් පැවති සංවාදයේ දී අප ඉදිරිපත් කළ අදහස ය.     

%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba %e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%b8

සහෝදරියනි, සහෝදරවරුනි… ප‍්‍රජාතන්ත‍්‍රවාදය කිව්වම ඒක ටිකක් පුළුල් මාතෘකාවක්. ඒ කියන්නෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන එක වර්තමානයේ දී පාවිච්චි වෙන විදිය අනුව අපට පේනවා මූලිකව අදහස් කරන දේවල් කිහිපයක් තියෙනවා කියල. එකක් තමයි, රැඩිකල් පරමාදර්ශයක් විදිහට. දෙවෙනි එක තමයි, යම්කිසි දේශපාලන න්‍යායක් විදියට. තුන්වැනි එක තමයි පාලනය කිරීම… ඒ කියන්නේ පාලනය කිරීම කියන එක සාධාරණීකරණය කිරීම සඳහා වන දෙයක් හැටියට.  එතකොට මෙන්න මේ පදනමේ ඉඳලා තමයි අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අපේ අදහස ඉදිරිපත් කරන්නෙ. එතකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අපේ අදහස් ඉදිරිපත් කරද්දි අපි මූලික වශයෙන් හඳුනාගන්න තැන් කීපයක් තියෙනව.

පළවෙනි එක තමයි දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපි  අඳුනගන්නෙ ඒක ඇතුළෙ ම යම්කිසි පරස්පරයක් තියෙන දෙයක් විදිහට. paradox එකක් තියෙන දෙයක් විදියට. ඒ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැම තිස්සෙම ක‍්‍රියාත්මක වෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන කියන ප‍්‍රතිපක්ෂයක් ඉදිරිපත් කරගෙන. එක පැත්තකින් ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ අනිත් පැත්තෙන්  ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැති’  binary එකක් ඉදිරිපත් කරල තමයි මේක ක‍්‍රියාත්මක වෙන්නෙ. දැන් එහෙම දෙපැත්තක් බෙදුවහම ප‍්‍රජාතන්ත‍්‍රවාදය නියෝජනය කරන පැත්තක් ඉන්නවා සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධ එහෙම නැත්නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රතික්ෂේප කරන  පැත්තක් ඉන්නවා.   

එතකොට මෙහෙම ගත්තහම අර ප‍්‍රජාතන්ත‍්‍රවාදය නියෝජනය කරන පැත්තට වරපත‍්‍රයක් ලැබෙනවා.  ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කරන්න’ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන පැත්තෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම සඳහා.  ඒ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන පැත්තෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කරන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදය නියෝජනය කරන පැත්තට වරපත‍්‍රයක් ලැබෙනවා.

දැන් අපි ගත්තොත් ලෝක යුද්ධ දෙක, සීතල යුද්ධය, ඉරාක යුද්ධය වගේ දේවල්වලදී අපිට මේ බෙදුම් කඩනය පැහැදිලිව පෙනුනා. එතකොට එක පැත්තක් අනිත් පැත්ත නම් කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී කියලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම සඳහා  ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී එහෙම නැත්නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කරන්න අවස්ථාවක් ලැබෙනවා. දැන් මේක අර නිශ්චිත උදාහරණවලදී කැපිල පේන විදියට ඉස්සරහට ආවට සාමාන්‍යයෙන් ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය  ක‍්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ආකාරයටම තමයි.  යුද්ධයක් වගේ අවස්ථාවලදී  එහෙම නැත්නම් ඒ නිශ්චිත අවස්ථාවලදී මේක කැපිල පේන විදියට ඉදිරියට එනවා. නමුත් සාමාන්‍ය තත්ව යටතෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක  වෙන්නෙත් මෙන්න මේ binary එක ඉදිරිපත් කරමින්. එහෙම නැත්නම් මේ paradox  එක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තියෙනවා. ඒ කියන්නෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය නොකර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවත්වාගෙන යන්න බැහැ කියන එක. හැමතිස්සෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන එකක්  ඉදිරිපත් කරමින් තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පවතින්න වෙන්නේ. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරට ලක්වීමට නියමිත දෙයක්ය කියන එක හැම තිස්සෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් ඉදිරිපත් කරන දෙයක්. ඒකෙන් තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඒ යාන්ත‍්‍රණයට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කරගන්නේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙ තියෙන මේ paradox එක අපට න්‍යායක තලයකදී කියන්න  පුළුවන් ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තියෙන අතිමූලික විය නොහැකි භාවය ප‍්‍රකට කරන්නක් කියල. ඒ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්වභාවයෙන්ම fundamental impossibility එකක්.  එහෙම නැත්තං අපිට තව විදිහට මේක කියන්න පුළුවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැමැති ශුද්ධ ආකෘතිය මත වැටිච්ච පැල්ලම. මේ impossibility එක. එහෙම නැත්නම් ඒකෙ තියෙන මේ paradox  තමයි එය විසින් එය ම උල්ලංඝනය කරන වෙන එක. ඒක අපිට වෙන විදිහට කියන්න පුළුවන් මේ තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින්ම නිර්මාණයය කරන එහි අතිරික්තය. ඒකෙ surplus එක. ඒකෙ excess එක. එතකොට excess එක නිර්මාණය කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින්මයි. අනිත් පැත්තට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දරා සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය වීම විසින්. හැබැයි ඒ උල්ලංඝනය වීම අනිවාර්යයෙන් නිර්මාණය කරලා තියෙන්නෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන එක විසින්මයි. එතකොට මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිටින් පවතින දෙයක් නෙවෙයි. එනම් අපි කියනවා embedded එහෙම නැත්නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ගිල්ලවනු ලැබූ ඒකෙම ගිලිලා තියෙන දෙයක් හැටියට තමයි මේ impossibility  එක පවතින්නෙ කියල.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙ හැමවිටම අනිත් ලක්ෂණය විදියට අපිට පේන දේ තමයි, යම්කිසි පුද්ගලත්ව ආරෝපණයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් සැම විටම ඉල්ලා සිටිනවා කියන එක. ඒ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියල එහෙම එකක් තියෙනවා. නමුත් ඒක ප‍්‍රකාශ වෙන්නෙ පුද්ගලයෙක් හැටියට. එහෙම නැතිනම් යම් කිසි පුද්ගලයෙක්ගේ ස්වරූපයෙන් තමයි මේක ප‍්‍රකාශයට පත්වෙන්නෙ. එතකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කිරීමේ වරපත‍්‍රය හැමතිස්සෙම මෙන්න මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මූර්තිමත් කරන පුද්ගලයාට හිමිවෙනවා.

ඊළඟට සාමාන්‍යයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කතිකාවේ උලුප්පා දක්වන එහෙමත් නැත්නම් උත්කර්ශයට ලක්වන දෙයක් තමයි, ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ නිම නොවුනු ව්‍යාපෘතියක් කියන එක. එතකොට ඒකෙ සාධනීය ලක්ෂණය විදිහට තමයි බොහෝ න්‍යායාත්මක සහ දේශපාලන සාකච්ඡා මේක ඉදිරිපත් කරල තියෙන්නෙ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියලා කියන්නේ නිම වෙච්ච ව්‍යාපෘතියක් නොවේ නිම නොවුනු ව්‍යාපෘතියක් කියන එක. දැන් අපි  ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙන දෙයක් විදියට පෙන්නන ගමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ තව ඉස්සරහට එන්න තියෙන එකක් විදියටත් පෙන්නනව. උදාවීමට නියමිත දෙයක් ඒ කියන්නේ අනාගතයෙන් එන්න තියෙන දෙයක් තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ.  තව ඉස්සරහට මේක තියෙනවා  කියන අදහස.  එතකොට දැන් මේකෙදි  වෙන එක දෙයක් තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් අපි හිතමු  ඉදිරිපත් කරන පරමාදර්ශීය තේමා ටිකක් තියෙනවා.  මේ පරමාදර්ශීය තේමා හැමදාම කල්දමන, ඒ කියන්නේ තව එන්න තියෙන ඒවා. ඉස්සරහින් එන්න තියෙන දේවල් හැටියට, හැමදාමත් කල් දමන ව්‍යාපෘතියක් හැටියට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට මේ අනුව ගත්තහම අපට පේනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තියෙන්නෙ හැමතිස්සෙම අනාගතයෙන් පැමිණෙන ස්වරූපය කියන එක. මෙතන තියෙනවා ලොකු උගුලක්.  දැන් සාමාන්‍යයෙන් අපි දේශපාලනය කරන්න ගියාම කවුරු හරි  එකපාරටම ඉදිරිපත්   කරන දෙයක් තමයි එක්කෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැත්නම්  අනිත් පැත්තෙන් සර්වාධිකාරීවාදය හා මූලධර්මවාදය . එතකොට හැමතිස්සෙම අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන කියනකොටම අනිත් පැත්තට දානවා සර්වාධිකාරීවාදයක් එහෙම නැත්නම් මූලධර්මවාදය කියලා. දැන් අපේ දේශපාලන අවබෝධය තමයි මේ නිම නොවුනු ව්‍යාපෘතියක් කියන එක තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වෙන්නේ සර්වාධිකාරීවාදයක්  එහෙම නැත්තං මූලධර්මවාදයක් විදියට කියන එක. ඒ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ඔක්කොම තියෙනවා. ඒකෙන් පිටට යන්න අවශ්‍ය නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ හැම දෙයක්ම දැන් නැති වුණාට ඊළඟ දවසේ හම්බ වෙන්න නියමිතයි. අනාගතයේ එන්න නියමිතයි. ඒ නිසා ඒක සර්ව සම්පූර්ණ යි කියන එක. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළම හැමදේම කරන්න පුළුවන්. මෙන්න මේ ස්වරූපයෙන් ගත්තම අපිට පේනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉතාම දරුණු සර්වාධිකාරීවාදයක් හා මූලධර්මවාදයක් විදිහට තමයි ක‍්‍රියාත්මක වෙන්නෙ. ඒ කියන්නේ වෙන එකකට ඉඩ දෙන්නේ නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැමතිස්සෙම සම්පූර්ණ සමස්තයක් ලෙස ඉදිරිපත් කරනවා, නිම නොවුන ව්‍යාපෘතියක් නිසා මේකෙ තව ඉඩ තියෙනවා, තව ඉස්සරහට  එන්න පුළුවන්  කියන අදහස ඉදිරිපත් කරන නිසා. එතකොට මේක අපි කියනවා  හැමතිස්සෙම more democracy කියලා. අපි කියන්නේ වඩා වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදය.. වඩා වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදය…. කියන සටන් පාඨය තුලම අපි යම්කිසි හිරවීමක ඉන්නවා. මොකද ඒකෙන් පිටට යන්න අවශ්‍ය නැහැ. අර ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන එක සියල්ල සම්පූර්ණ සමස්තයක් විදියට ඉදිරිපත් කරලා තියෙන නිසා. අපේ අවබෝධය තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියලා කියන්නේ නරකම ආකාරයේ සර්වාධිකාරීවාදයක් හා මූලධර්මවාදයක් කියන එක. මොකද එහි තියෙන නරකම  ලක්ෂණය හොඳම ලක්ෂණය හැටියට ඉදිරිපත් කරලා තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වෙන්නේ.  එහි තියෙන නරකම ලක්ෂණය තමයි එය නිම නොවන ව්‍යාපෘතියක් වීම. එය ඉතාම හොඳ ලක්ෂණයක් හැටියට ඉදිරිපත් කරළ තමයි සර්වාධිකාරීවාදයක් විදිහට ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන එක ක‍්‍රියාත්මක වෙන්නේ.

ඒ වගේම දැන් මේ නොනිමි ව්‍යාපෘතියක්  කියන අදහසත් එක්ක බැඳිලා තියෙන අනිත් එක තමයි දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව අපිට නිකම් පේනවා  එක් අතකින් ගත්තම පරිණාමවාදී අදහසක්. ඒ කියන්නේ සරල අයිතිවාසිකම්වල සිට ඉතාම සංකීර්ණ අයිතිවාසිකම්වලට අපිට මෙහෙම යන්න පුළුවන්. අපි  එහෙම ඇවිල්ල තියෙනව වගේ අදහසක්.  එතකොට අර  දැන් අපි හිතමු කවුරුහරි කියනවනම් අපි ඒ කාලේට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් දැන් දිනාගෙන තියෙනවා අතීතයට වඩා දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් මිනිස්සු දිනාගෙන තියෙනවා කියලා කියනකොට අපි මෙන්න මේක පිළිගන්නවා සහ තහවුරු කරන්න උත්සාහ කරනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ මෙහෙම සරල අයිති අයිතිවාසිකම්වල සිට සංකීර්ණ අයිතිවාසිකම්  දක්වා අපිට ගමන් කරන්න පුළුවන් කියන අදහස.

ඊළඟට අපි මතුකරන ගැටලූව තමයි  ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වෙන්නෙ කාටද? කියන එක. දැන් අපි ටිකක් බැලූවම පේන දෙයක් තමයි  ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වෙන්නේ යම්කිසි පරිකල්පිත පුද්ගලයෙක් වෙනුවෙන්. මේ පරිකල්පිත පුද්ගලයෙක් කියලා කියන්නේ අර citizen කියලා අපි ව්‍යවස්ථාවේ තියෙන  පුද්ගලයා, පුරවැසියා කියලා කියන පුද්ගලයා. මේ පුද්ගලයා කියලා කියන්නේ සීයට සීයක්  තාර්කික,  ස්වයං සවිඥානික, වියුක්ත  පුද්ගලයෙක්. අපි ඒක තේරෙන භාෂාවෙන් කිව්වොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මගින් පරිකල්පිත පුද්ගලයා සහ මේ මෙතන වාඩිවෙල ඉන්න මමයි අර පාරේ ඇවිදින මිනිස්සුයි මේ අනිත් මේ වාඩිවෙලා ඉන්න කට්ටියයි එක්ක ගත්තොත්, ඒ දෙක අතර තියනව පරතරයක්, ගැප් එකක් තියෙනව. එතකොට  ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් හිමි වෙන්නේ මට වත් මේ මෙතන ඉන්න අනිත් කෙනෙකුට වත් නෙවෙයි  ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් හිමි වෙන්නේ අන්න අර වියුක්ත පුද්ගලයට.  ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ක‍්‍රියාත්මක වෙන්නෙත් අන්න අර වියුක්ත පුද්ගලයා වෙනුවෙන්. ඒ නිසා තමයි අපි අර සාමාන්‍යයෙන් ළමයින්ට ඡන්ද බලය දෙන්නේ නැත්තෙ. ඒ කියන්නෙ අර පරිකල්පිත ස්වයං සවිඥානක පුද්ගලයා එක්ක සීයට සීයක්  සමපාත වෙන්නේ නෑ වගේ කියන අදහසකින්.  එහෙම නැත්නම් අපි හිතමු නීතිය ඉස්සරහට ගියාම කාට හරි පිස්සු කියලා නම් වෙනවා නම් ඒක වෙනස් තත්ත්වයක් හැටියට සලකන එක. මොකද එයා  අර ස්වයං සවිඥානක  සම්පූර්ණ තාර්කික මනුස්සයාට සමපාත වෙන්නෙ නෑ කියන අදහසින්.  එතකොට මෙන්න මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් පරිකල්පිත පුද්ගලයා සහ ඇත්තට ජීවත්වෙන, කන-බොන, නිදාගන්න, වැඩකරන මිනිස්සු යි අතර ලොකු ගැප් එකක් තියෙනව. අපි දන්නවා ඒ මිහිපිට ඉන්න මනුස්සයා කියලා කියන්නෙ සියට සීයක් ස්වයං සවිඥානක මනුස්සයෙක් නෙමෙයි සියයට සීයක් තාර්කික මනුස්සයෙක් නෙමෙයි. එතකොට මෙන්න මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් අර ඇත්ත මනුස්සයාගේ ප‍්‍රශ්නය ට මොන තරම් විසඳුමක් ලබා දෙනවද කියන එක අපි  මතු කරන එක ගැටළුවක්. එතකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් පරිකල්පිත කෙනාට අයිතිවාසිකම් දීලා තියනවා තමයි. එයා වෙනුවෙන් ආයතන ක‍්‍රියාත්මක වෙනවා තමයි. හැබැයි ඒ පරිකල්පිත මනුස්සයයි  ඇත්ත ජීවිතේ ඉන්න මනුස්සයයි  අතර  තියෙන ගැප් එක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තියෙන එක ගැටලූවක් හැටියට  අපි සලකනවා. එතකොට ඒකෙදි අපි තේරුම් ගන්න දේ තමයි දැන්  අපේ  හැම සවිඥානක ක‍්‍රියාවක් පිටිපස්සෙම අවිඥානය තියෙනවා. හැබැයි  අපේ හැම අවිඥානික ක‍්‍රියාවක්ම අපිට සවිඥානක නෑ. හැබැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් පරිකල්පිත මිනිහා  හැමදේකටම සවිඥානකයි. පූර්ණ සවිඥානිකයි. එතකොට මට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වෙනවා කියලා අපි පිළිගන්නෙ නෑ අපි පිළිගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වෙන්නෙ මගෙන් වියුක්ත පුද්ගලයෙකුට දැන්  මේක අපි වෙන විදිහකට කිව්වොත්… මාක්ස් ෆෝයාබාහ් තීසීසවල කිව්වේ ‘ශුද්ධවූ පවුලේ රහස  තියෙන්නෙ ලෞකික පවුල තුළය’ කියලා.  දැන්  ඕන්නං ඒ ෆෝයාබාහ් තීසීසය අපිට වෙනස් කරළ කියත හැකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් පරිකල්පිත වියුක්ත ස්වයං සවිඥානික සියයට සියයක් තාර්කික මිනිසාගේ රහස තියෙන්නේ පොලොවේ ඉන්න ඇත්ත අතාර්කික, අවිඥානයක් සහිත  මිනිසාගේ කියලා. ෆෝයාබාහ් තීසීසවල අනිත් කෑල්ල තමයි මාක්ස් කියන ඒක දැන්ගත්තට පස්සේ අපි විවේචක වෙන්න  ඕන ඇත්ත පවුල තුළ වෙනස් වෙන්න  ඕන විප්ලවීය වෙන්න  ඕන  ව්‍යවහාරය තුළ කියලා. ඒකම අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙනුත් කියනවනම්  ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් පරිකල්පිත  පුද්ගලයාගේ රහස ඇත්තේ මිහිපිට ජීවත්වන මිනිසාගේ කියනවනම් අරකම ආපහු අපිට කියන්න  පුළුවන් අපි විවේචක විය යුත්තේ ඇත්ත මිනිසා තුළය විප්ලවීය විය යුත්තේ ඇත්ත මිනිසා සම්බන්ධ ව්‍යවහාරය තුළය කියල….

එතකොට මම අවසාන වශයෙන් ඉදිරිපත් කරමින් හිටපු කාරණය තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් පරිකල්පනය කරනු ලබන වියුක්ත පුද්ගලයා සහ ඇත්තට ඉන්න මිනිස්සු අතර තියෙන ගැප් එක  අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගැටලූවක් විදියට දකිනවා කියන එක. ඒ නිසා අපි හිතනව දේශපාලනික ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක වෙන්න  ඕන අර ඇත්ත මනුෂ්‍යයා තුළ මිසක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් පරිකල්පනය කරන අර සීයට සීයක් තාර්කික පූර්ණ ස්වයං සවිඥානික පුද්ගලයා විෂයෙහි නෙවෙයි කියල. ඊළඟ කාරණය තමයි. අපි කියනවා සාමාන්‍යයෙන් අර යුතෝපියාවක් එහෙම නැත්නම් මනෝරාජ්‍යයක් හැටියට සාමාන්‍යයෙන් අපි හිතනවා පරිපූර්ණ දේවල් ඉදිරිපත් කරන ඒවාවලට අපි කියනවා යුතෝපියාව කියල. අපි නාසිවාදය වගේ ඒවා යුතෝපියාවක් කියල කියනව. එතකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙවැනි යුතෝපියාවක් හැටියට සාමාන්‍යයෙන් දකින්නේ නැහැ. ඒ උනාට අපේ දේශපාලනික අවබෝධය තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් ක‍්‍රියාත්මක වෙන්නේ යුතෝපියානු අදහසක් හැටියට කියල. දැන් ඒක අපි පැහැදිලි කර ගත්තොත් මං අර කලින් කියපු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මගින් පරිකල්පනය කරනු ලබන වියුක්ත මිනිසා කියල කෙනෙක් මේ ලෝකේ නැහැ. එතකොට ඒක යම්කිසි පරිකල්පනය කරන ලද පුද්ගලයෙක් හැටියට තමයි  තියෙන්නෙ. එතකොට ඒකත් එක්ක එන අනිත් දේ තමයි ඒ ඉදිරිපත් කරලා තියෙන පුද්ගලයා නිකම්ම නිකම්  පුද්ගලයෙක් නෙවෙයි සියලූ අයිතිවාසිකම්වලින් සම්පූර්ණ පරිපූර්ණ පුද්ගලයෙක් හැටියට තමයි මේ පුද්ගලයා ඉදිරිපත් වෙන්නෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතුලෙ. එතකොට මෙන්න මෙතනදී අපිට කියන්න පුළුවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වෙන්නේ ෆැන්ටසියක් විදිහට කියල. ඒ කියන්නේ මම කිව්ව අර ආත්මීය මිනිසා හරි පරිකල්පිත මිනිසා නෙවෙයි, අර ඇත්තට ඉන්න අවිඥානයක් සහිත, අතාර්කික මිනිසා සම්බන්ධයෙන් ගත්තහම  ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වෙන්නේ ෆැන්ටසියක් විදිහට කියල. ෆැන්ටසියකින් කරන දේ තමයි… අපි කියනවා අපේ ආශාවේ වස්තුවට රාමුවක් හදලා දෙන එක. එහෙම නැත්තං ඒක පොරොන්දුවක් මේක ඔබට ලබාගන්න පුලුවන් කියන එකට. එතකොට මෙන්න මේ පාරෙන් ආවම අපිට පේනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් මෙන්න මෙහෙම ප්‍රොමිස් එකක් ඇතුව තමයි වැඩ කරන්නෙ. අපේ ආශාවේ වස්තුව මුණගස්වනවා කියන පොරොන්දුව සහිත ෆැන්ටසියක් විදියට තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැඩ කරන්නේ. දැන් ෆැන්ටසියකට අපේ ආශාව සංතෘප්ත කරන්න බැහැ. ඒක ඉටු කරන්න බැහැ. හැබැයි අපි කියනව ෆැන්ටසියක ලක්ෂණය කියල. ආශාව දරා සිටින්නේ ෆැන්ටසිය විසින් කියල. එතකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් කරන්නෙ මේ විවිධ ආත්මීයත්වයන්ට ෆැන්ටසියක් තනලා දෙන එක. ඒක වෙළෙඳපොළ තුළ එක පැත්තකින් කෙරෙනව. අනිත් පැත්තෙන් සංස්කෘතිය තුළ කෙරෙනව. ඒ නිසා තමයි වෙළඳපොළ තුළ පැටව් ගස්වන ආශාවන් ඇති වෙන්නේ. අනිත් පැත්තෙන් සංස්කෘතික තලය තුළ පැටව් ගහන අනන්‍යතාවයන් නිර්මාණය වෙමින් පවතිනව. මේ දෙකටම අවශ්‍ය ෆැන්ටසි රාමුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් නිර්මාණය කරනව. එතකොට බහුගුණනය වන ආශාවල් සහ බහුගුණනය වන අනන්‍යතාවයන්ට ඒවට අවශ්‍ය ෆැන්ටසියක් විදියට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වෙනවා කියන එක.

ඊළඟ අපේ ගැටලූව තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජාතික රාජ්‍යය අතර තියෙන සම්බන්ධය.  ප‍්‍රජාතන්ත‍්‍රවාදය එක පැත්තකින්  විශ්වීය (universal) දෙයක් විදියට සැලකෙනව. සාමාන්‍යයෙන් අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් කියලා කියන්නේ විශ්වීය මනුෂ්‍යයාට හිමි උල්ලංඝනය කළ නොහැකි වෙනත් ජාතියකට හෝ වෙනත් රටකට, වෙන තත්ත්වයකට අයත් වීම නිසා උල්ලංඝනය කළ නොහැකි අයිතිවාසිකම් විදිහට තමයි අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන එක සාකච්ඡාවක් යන්නෙ. ඒක එතකොට විශ්වීය තත්ත්වයක් හැටියට පවතිනව. අනිත් පැත්තට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇත්තටම ක‍්‍රියාත්මක වෙන්නේ ජාතික රාජ්‍යය කියන සීමාවට සම්බන්ධව. ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි, ජාතික රාජ්‍යයයි අතර මේ දීගය එහෙම නැත්නම් මේ එකට බැඳීම අපි දකිනව තව විසංවාදයක්. දැන් ජාතික රාජ්‍යය කියලා අපි ගත්තොත් ජාතික රාජ්‍යය කියලා කාට හරි කියන්න පුළුවන් constitution එක වෙන නීති රීති හරි මොනා හරි තමයි ජාතික රාජ්‍යය කියන්නේ කියලා. හැබැයි ජාතික රාජ්‍යය කියන මේ සංකේතීය සමස්තය ඒවායින් විතරක් හැදිලා නෑ. ඒ ජාතික රාජ්‍යය කියන සංකේතය, අපි දන්නවා  ඕනම සංඛේතීය සමස්තයක් හැදෙන්න ඒ සමස්තයට අයිති නොවන, ඒකෙ irrational මදයක් තියෙන්න ඕන, කර්නල් එකක් තියෙන්න ඕන. එතකොට අන්න ඒ මදය හැටියට බොහෝ දුරට අපි දන්නවා ජාතිවාදයන්, යම් වාර්ගිකවාදයන් වගේ දේවල් තමයි ඒ කර්නල් එක හැටියට පවතින්නෙ. ලෝකේ ඉතාමත්  දියුණු යැයි කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදයන් තුළ පවා ඉතාම යටිතලයේ මේක පවතිනව. Constitution එකේ හැමෝම සමානයි කියලා පිළිගන්නවා තමයි. හැබැයි ඒ සංඛේතීය සමස්තය හදලා තියෙන්නේ යම්කිසි ඒ සංකේතීය සමස්තයට ගෙන ආ නොහැකි අතාර්කික දෙයක් පදනම් කරගෙන. එතකොට ඒවා බොහෝ දුරට අවිඥානික තලයේ තියෙන දේවල් හැටියට වැඩ කරන්නෙ මේ නිසාම තමයි. එතකොට අපි හිතමු ඒවා නිකන් තමන්ට ආවේණික ගඳ-සුවඳවල් වෙන්න පුළුවන්. තමන්ගේ රුචි-අරුචිකම් වෙන්න පුළුවන්. මේව අනිත් අයත් එක්ක ෂෙයා කරන්න බෑ. මොකද මේව සංඛේතීය තලයේ නෙවෙයි තියෙන්නෙ. ඒ නිසා තමයි  ඕනිම ජාතික රාජ්‍යයක් අර අපි කියනවා එහි ගැඹුරු ම තලය ගත්තම structural discrimination එකක්. ව්‍යුහගත අනිකාව පැත්තකට කිරීමක්  ඕනෑම ජාතික රාජ්‍යයක තියෙනවා. ඒක සාපේක්‍ෂ වෙන්න පුළුවන්. ලංකාවේ විදිහට නෙවෙයි වෙන තැනක තියෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් යුරෝපයේ සියලූම දියුණු යැයි සම්මත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක මිනිසුන්ට සමාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් තියෙනවා යැයි කියනවා. හැබැයි සංක‍්‍රමණිකයන්ට සලකන විදිහ කියන එක ඒ ව්‍යුහාත්මක තලයෙ ගැඹුරින්ම සටහන්වෙලා තියෙන්නෙ.

  • දර්ශන ලියනගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *