අධ්‍යාපනයෙන් නිදහස් වීමේ ”අයිතිය” උදෙසා…!

අධ්‍යාපනයෙන් නිදහස් වීමේ ”අයිතිය” උදෙසා…!

අධ්‍යාපනයෙහි වැදගත්කම අරබයා පෙර නොවී විරූ සංවාදයක් මතුව තිබේ. මෙකී වැදගත්කම ලොවට හඬගා කියන අලංකාර වදන්වලින් හා රූපවලින් හැඩ වැඩ වී මුහුණු පොත් ප්‍රොෆයිල හිටි හැටියේ වෙනස් වී ඇත. ලියවෙන කවි ගී කොතෙක්ද යත් ඇතමෙකුට කොළඹ යුගය සිහි ගැන්වෙයි. හුවමාරුවෙන රූප රචනා ඇසට කෙතරම් ප්‍රිය උපදවන්නේදයත්, ඒවා අපට මජිඩ් මජිඩ්ගෙ සිනමාව සිහි කැදවයි. විටෙක ඉතා රැඩිකල් සටන් පාඨ අපේ ඇස්වලට වැද ඒවාට පිටුපා නොයන ලෙස අපට තරවටු කරයි. තවත් විටෙක පෙරකල විසූ මහා පඩිවරුන්ගේ සිත්කාවදින සුලු උපුටනයන් අපව දයාර්ද කරවයි. ගුරුවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍යයන්, කලාකරුවන්, වෛද්‍යවරුන්, විචාරකයන්, සමාජ ක්‍රියාකාරිකයින්, වාමාංශිකයින්, ලිබරල්වාදීන්, මානව ප්‍රේමීන් ඇතුලු බොහොමයක් අනන්‍යතාවාදීන් අධ්‍යාපන වැදගත්කමෙහි ධජය සියල්ලට ඉහළින් ඔසවා තිබේ. ඉතින් මුහුණු පොතෙහි පමණක් සැරිසරන්නෙකුට වුව අධ්‍යාපනයෙහි වැදගත්කම අතැඹුලක් සේ පෙනෙයි. සැබැවින්ම මෙම චිත්‍රයේ සුවිසල් බව අපට දිස් වන්නේ මුහුණු පොතෙන් එළියේය. එනම්, සූම් සංවාද, සම්මන්ත්‍රණ, වැඩ වර්ජන, වීදි සටන්, සිරගත වීම් ආදී ඇගට පතට දැනෙන සජීවී ක්‍රියාකාරකම් ඔස්සේය. අධ්‍යාපනයට තිබෙන දෘෂ්ටිවාදී බලය කෙතරම් ද මින් මොනවට පැහැදිළි වෙයි. මෙම සංවාදය එක්තරා විදිහකට සමජය දෙගොඩ බෙදා තිබේ . එක්කෝ එක එල්ලේ මෙයට පක්ෂපාත විය යුතුය (පහසු මග එයයි) නැතහොත්, අධ්‍යාපනයද ඇතුලත් දෘෂ්ටිවාදය යටින් හාරා දැමීමේ මග තෝරා ගත යුතුය. මෙම ලියමන කිසිවෙකුත් තෝරා නොගන්නා එමග වෙනුවෙනි. අපට ඇසීමට ඇති අති මූලික ප්‍රශ්නය මෙයයි, අධ්‍යාපනය කුමක්ද ? කුමකටද ?

අධ්‍යාපනය පිළිබඳ සංවාදය අධියර කීපයක් ඔස්සේ මතුව ආවකි. එය පළමු වරට කලඑළි බැස්සේ  පාසැල් අධ්‍යාපනය, ප්‍රාථමික ශ්‍රේණිවල සිට ඉංග්‍රීසි බසින් ලබාදීම සදහා ආණ්ඩුව තුළ වූ කතාබහත් සමගය. මොකක් හෝ ප්‍රස්තුතයක් මතු වූ විට එයට පක්ෂ පිරිසක් හා විපක්ෂ පිරිසක් ලෙස දෙපිරිසකට බෙදී වාද විවාද කරගැනීම පොදු සංවාද බාසාවේ ආකෘතිය යි. මෙම කාරණාවේදී ද එලෙස සිදු විය. මෙකී සහසම්බන්ධ ප්‍රතිපක්ෂයන්ගෙන් ඔබ්බෙහි පිහිටන අදහසක් ගැන මොවුන්ට අවබෝධයක් නැත. පිරිසක් සිංහල භාෂාවෙන් උගැන්වීමේ වැදගත්කම පෙන්නූ අතර අනෙක් පිරිස ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම පෙන්වූහ. පළමු කාණ්ඩය තුළ අධ්‍යාපනඥයින් සහ ලිබරල් බුද්ධිමතුන් පමණක් නොව වාමාංශිකයින් ද වූහ. ඇතමෙක් මව් බසින් අධ්‍යාපනය ලබා ගැනීම මානව අයිතියක් සේ සැලකූහ. තවකෙකු එය අධ්‍යාපනයෙහි මූලධාර්මික අදහසක් ලෙස ගෙනහැර පෑවේ යුනෙස්කෝ ප්‍රකාශ අනුව යමිනි. ජාති, ආගම්, භාෂා සීමාවන් නොසලකන එක්තරා ලිබරල් සුධීමතෙක්, මෙය පණතක් ලෙස ක්‍රියාත්මක වුවහොත් එය සිංහල භාෂාවේ මළගම සටහන් වීමක් යැයි කීමට තරම් දුර දිග ගියේය. අපට නම් වැදගත්වන්නේ අධ්‍යාපනය ලබාදෙන භාෂාව කුමක්ද යන්න නොව, ඒ ලබා දෙන අධ්‍යාපනය කුමකටද යන්න හා අධ්‍යාපනය ම කුමක්ද යන්නයි.

අධ්‍යාපනය පිළිබඳ පරමාදර්ශී අදහස් සම්බන්ධ වී ඇත්තේ ශිෂ්ඨ මිනිසෙකු බිහි කිරීම, යහපත් පුරවැසියෙකු නිර්මාණය කිරීම, දැනුවත් සමාජයක් ගොඩ නැංවීම වැනි සංකල්ප සමග ය. එනම් මේවා “සමාජ ප්‍රගමනය” නම් දෘෂ්ටිවාදය සමග ඍජු ව සම්බන්ධ ය. වාමාංශිකයන් සහ ලිබරලුන් එකට සිට ගන්නා වේදිකාව මෙයයි. එහෙත් මේ පරමාදර්ශ ඉහළට එසවෙන්නේ අධ්‍යාපනය සම්බන්ධ අරගලවල අයිසිං කවරය ලෙසය. සැබවින් ගත් විට අධ්‍යාපන අරගලවල පාදම වන්නේ සමාජ හිණිමගෙහි ඉහළට යාමේ අවස්ථාවන් අහිමි කිරීමට  හෝ සීමා කිරීමට ඇති විරෝධය යි. වෙනත් ලෙසකින් කිවහොත් ක්‍රමයේ කොටසක් ව එහි දැති රෝදයක් වීමට ඇති අවස්ථාවන් පිළිබඳ ප්‍රශ්නයක් ලෙසයි. අධ්‍යාපන අරගලකරුවන් විසින් ඔසවා තබන බොරු පරමාදර්ශ වෙනුවට ඇත්තෙන් ම අද අධ්‍යාපනයෙහි පාදම ලෙස පවතින්නේ “ෆ්‍රොම් රැග්ස් ටු රිචස්” දෘෂ්ටිවාදය යි.  ඒ අනුව බැලූ බැල්මට පෙනෙන අධ්‍යාපන අරගලකරුවා සහ රාජ්‍යය අතර ඇති එදිරිවාදිකම යටින් ඇත්තේ රහස් එකඟතාවකි. අරගලකරුවා ඉල්ලා සිටින්නේ “පුහුණු ශ්‍රමිකයෙකු” (වෘත්තිකයා යනු තමන් ශ්‍රමිකයෙකු නො වන බවට වන රැවටිලිකාරී පදවි නාමය වන අතර ශ්‍රමිකයාද එය සතුටින් භාර ගන්නේ ස්වයං රැවටිලිකාරී ලෙසිනි) ලෙස තමාට ඇති අවස්ථාව වන අතර රාජ්‍යයට “ආර්ථිකය” පවත්වාගෙන යාම සඳහා සැබවින් ම එවැනි “පුහුණු ශ්‍රමිකයින්” අවශ්‍යය. ශ්‍රම විභජනය ආයතනගත වීම ආරම්භ වන්නේ අධ්‍යාපනය තුළ ය. යල් පැන ගොස් ඇතැයි බොහෝ දෙනා විසින් නිවේදනය කරනු ලැබ ඇති සහ වාමාංශිකයන් ද අනියමින් එලෙස යයි පිළිගනු ලැබ ඇති කාල් මාක්ස් නම් මිනිසා විරුද්ධ වූයේ මේ කියන ශ්‍රම විභජනයට ය. 

වෙනත් ලෙසකින් කිව හොත් අධ්‍යාපනය යනු රාජ්‍යය සහ අධ්‍යාපනය ලබන්නා යන දෙපාර්ශවයෙන් ම ගත් විට අනාගත ආයෝජනයකි. ඍජු ව ශ්‍රම වෙළඳපොල සමග සම්බන්ධ වීම දැන් අධ්‍යාපනයේ ස්වභාවය යි. කලා උපාධිධාරීන් සම්බන්ධ රැකියා විරහිතභාවයේ සදාකාලික ප්‍රශ්නය පැන  නගින්නේ මෙතැනිනි. ඍජු ව ශ්‍රම වෙළඳපොල සමග සහ එනයින් වෙළඳපොල සමග සම්බන්ධ වී නොමැති නිසාවෙනි.

මේ සම්බන්ධය පෙර මෙන් නො ව දැන් පැහැදිලිය. විශේෂයෙන් ම තෘතියික අධ්‍යාපන තලයේ විෂය නිර්දේශ අන්තර්ගතයන් පරික්ෂා කරන්නෙකුට මෙය හඳුනා ගැනීම අපහසු නැත. ඒ විෂය නිර්දේශ අනතර්ගතයන් වනාහි සමාගම් මගින් පූර්ව නිශ්චිත ඒවාය. ඇතැම් විෂය ක්ෂේත්‍රවල මෙය එළිපිට ම දැකිය හැකිය. උදාහරණයක් ලෙස තොරතුරු තාක්ෂණ විෂය නිර්දේශවල පරිගණක සමාගම්වල මෘදුකාංග සහ යෙදවුම් එනමින් ම සඳහන් වෙයි. එතරම් පැහැදිලි නැතත් බොහෝ ක්ෂේත්‍රවල විෂය නිර්දේශවල සමාගම් සැඟව සිටියි. උදාහරණයක් ලෙස වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ වන්නේ දැවැන්ත ඖෂධ, වෛද්‍ය හා ශල්‍ය උපකරණ වෙළඳ පොළක් සමග ය. වෛද්‍ය ශිෂ්‍යයා ඉගෙන ගන්නේ ඖශධ නාම වුවත් නිර්දේශ කෙරෙන්නේ සන්නාමයකි. බොහෝ විට මේ දෙක යා කරන තීරණාත්මක කාර්යභාරය ඉටු කරන්නේ වෛද්‍ය වෙළඳ නියෝජිතයා හෙවත් මෙඩිකල් රෙප් ය.    

පසුගිය කාලයේ රජය රසායනික පොහොර තහනමක් පිළිබඳ අදහස ඉදිරිපත් කළ අවස්ථාවෙහි කෘෂිවිද්‍යා ක්ෂේත්‍රයෙහි සිටින බහුතරයක් එයට එරෙහි වූහ (රසායනික පොහොර තහනම ගැන අපගේ අදහස දැනගැනීම සඳහා මේ ලිපිය කියවන්න). මෙහි දී ඇත්තෙන් ම සිදු වූ දෙය නම් මුළු කෘෂිවිද්‍යා ක්ෂේත්‍රය ම අර්බුදයට ලක් වීම යි. ඔවුන්ගේ විරෝධය පැමිණියේ එතැනිනි. භෝගවිද්‍යා විෂය නිර්දේශ අන්තර්ගතවල ඇත්තේ මොනවාද? ඒවා කෘෂි නිෂ්පාදන සමාගම්වලින් ස්වායත්ත ඒවාද? සැබවින් ම දැන් කෘෂි නිෂ්පාදන සමාගම් නැත්නම් ඒ විෂයන් පැවතිය නො හැකි තැනට වැඩේ අනික් පැත්තට කරකැවී ඇත. කෘෂිවිද්‍යා දැනුම මගින් සමාගම් තීරණය වනවාට වඩා කෘෂි නිෂ්පාදන සමාගම් විසින් දැනුම තීරණය කරන තත්වයක් ඇති වී තිබේ. මේවා අධ්‍යාපනයත් ධනේශ්වර ක්‍රමයත් අතර  තිබෙන සහසම්බන්ධයෙහි නව වර්ධනයන් ය. මේ කිසිත් නොසලකා “දැනුම”, “දැනුම” යනුවෙන් පරමයක් වන්දනා කරමින් ඒ “දැනුම” වෙනුවෙන් “ලේ හැලුනත් පාර දිගේ” ගොස් “දිවි පුදා හෝ එය  රකින්නට”  ඉදිරිපත් ව ඇති සමහරු තමන් මාක්ස්වාදීන් ලෙස නම් කර ගනිති.

වෙනත් ලෙසකින් කිව හොත් තෘතියික තලයේ අධ්‍යාපන ආයතන (මේවාට ඇතුළු වීමට පෙර සුදානම් කටයුතු කරන්නේ පාසැල් පද්ධතිය යි) යනු සමාගම්වල පුහුණු ආයතන වෙයි. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මරා ගෙන මැරෙන්නට යන අය අවසන් වශයෙන් ඉල්ලා සිටින්නේ මේ පුහුණු ආයතන රජයේ වියදමින් පවත්වාගෙන යන ලෙසයි. මන්ද සමාගම් කෙලින්ම පුහුණු ආයතන පවත්වාගෙන ගියහොත් ඒ පුහුණු ආයතනවලින් ද ලාභයක් ලබා ගැනීමට සමාගම් කටයුතු කරනු ඇති හෙයින් තමන්ට ඒ සඳහා වන අවස්ථා අහිමි විය හැකි බැවිනි. වෙනත් ලෙසකින් කිව හොත් රජයේ වියදමින් තමා පුහුණු ශ්‍රමිකයෙකු කොට සමාජ හිණිමගෙහි ඉහළ නැගීමට ඉඩ සලසන ලෙසයි. සැබවින් ම රජය මීට සපුරා එරෙහි නැත. මන්ද “ආර්ථිකය” නම් භූත බලවේගය පවත්වාගෙන යාම අවශ්‍ය වන බැවිනි. 

 කෙසේ හෝ ඉහත සංවාදය හරි හැටි කරළියට එන්නත් මත්තෙන් අධ්‍යාපනයෙහි වැදගත්කම අරබයාවන එහි දෙවන අධියර කරළියට අවේය. ඒ ඔන්ලයින් ක්‍රමයට උගැන්වීමේ දී මතු වූ ගැටලු ඔස්සේය. ඈත පිටිසර ගමක එක්තරා පියෙකු තම දරුවාට ඔන්ලයින් පහසුකම් සකසා දීම සඳහා ස්වකීය ජීවිත අවදානම පවා නොසලකා රූස්ස ගසකට නැග වයිෆයි රවුටරය සවි කරනයුරු දැක්වෙන වීඩීයෝවක් සමාජ ජාලා තුළ හුවමාරු වීමට ගැනීමත් සමග මේ සදහා විශාල අවධානයක් ලැබිණි. සැබවින්ම එය හදවත එක් මොහොතකට නතර කරවනසුලු සංවේදී දසුනකි. මිහිමය මිනිසුන් දරා සිටින අධ්‍යාපනය නැමැති දෘෂ්ටිවාදයේ වියගස කෙතරම් බරද යන්න ඉන් අපට මනා චිත්‍රයක් සපයයි. එහෙත් දැයේ දුවාදරුවන්ට අධ්‍යාපනයේ අයිතිය උරුමකර දීමේ වගකීම (කොන්ත්‍රාත්තුව) සිය දෙවුර මතට ගත් වාමාංශිකයින්ට හා ඊනියා සමාජ දේශපාලන ක්‍රියාකාරිකයින්ට මෙකී දෘෂ්ටිවාදී පැත්ත නොපෙනේ. ඔවුන් තරගයට මෙන් පාලකයින්ගෙන් අධ්‍යාපනයෙහි අයිතිය ඉල්ලා මෙම මුරදේවතා බූමිකාව දිගින් දිගටම රඟ දක්වයි. පාලකයාට දිය නොහැකි සීමාවේ ඉල්ලීම් ඉල්ලා කරදර කිරීම (අරගල කිරීම) හිස්ටරිකයාගේ ස්වභාවය යි. මෙය  හිස්ටරික භූමිකාවයි. මෙතැන ඇත්තේ ස්වාමි සේවක සම්බන්ධයකි.

ඉල්ලීම් ඉල්ලා සිටීමට මාස්ටර් කෙනෙකු අවශ්‍යය. එනිසා හිස්ටරිකයාගේ ප්‍රාර්ථනාව මාස්ටර්ගේ සම්ප්‍රාප්තිය යි. දිගින් දිගටම ඉල්ලීම් කරන්නෙක් ලෙස තම භූමිකාව තමාට ම සහතික කර ගත හැක්කේ එවැනි මාස්ටර් කෙනෙකු ඇති විට පමණි. එනිසා හිස්ටරිකයා පෙරළා මාස්ටර් ශක්තිමත් කරයි. මේ භූමිකාව පක්ෂ ආකෘති ලෙස දැන් තහවුරු වී තිබේ. එනම් මිනිසුන් ඉල්ලීම් ඉල්ලන්ට අවශ්‍ය විට ඒ ඒ අදාළ පක්ෂ සමග එක්වී මාස්ටර්ගෙන් ඉල්ලීම් කොට, මාස්ටර් තහවුරු කොට, තමන් තහවුරු කළ මාස්ටර්ට ඊලග ඡන්දයේ දී ඡන්දය දීමයි. ඊලඟ ඡන්දයේ දී ද මෙය ඔප්පු වනු ඇති බවට මෙන්න කැට! තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වන විට ගුරු අරගලයේ ප්‍රතිඵල ද නිකුත් වනු ඇත.

මාක්ස්ගෙන් පසු ධනවාදය යනු තව දුරටත් මාක්ස් යුගයේ ධනවාදය නොවේ. මාක්ස් යුගයේ ප්‍රමුඛ පාලන උපකරණය වූයේ රාජ්‍යයේ මිලිටරිමය ස්වභාවය නම්, මාක්ස්ට පසු ධනවාදය එයට අමතරව දැවැන්ත දෘෂ්ටිවාදී උපකරණයන්ගෙන් සමන්විතය. අධ්‍යාපනය නැමැති දෘෂ්ටිවාදය මෙහි ප්‍රමුඛත්වයෙහි ලා  සැලකේ. මෙයද එක්තරා ආකාරයක මිලිටරිමය තත්ත්වයකි. එහෙත් දෘෂ්ටිවාදය වසගයක ආකාරයෙන් පවතින බැවින් මිලිටරිමය ය නැතහොත් බලහත්කාරය නිලීනව පවතියි. වහලා සම්බන්ධ කාරණාවේදී හේගල් පවසන්නේ වහල් හිමියාගේ පැවැත්ම යනු වහලාගේ වහල්බවට ඇති අවිඥානික කැමත්ත බවයි. එය මෙතනටද එලෙසම ආදේශ කළ හැක.

ගුරුවරු ඉගැන්වීමේ කටයුතු වර්ජනය කරමින් වැටුප් විශමතා ඉවත් කිරීම වෙනුවෙන් පාරට බැසීමත් සමග ඔන්ලයින් සංවාදය පසෙකට තල්ලු වී ගුරු වැටුප් අරගලය අධ්‍යාපනයෙහි වැදගත්කම අරබයාවන සංවාදයේ ඊළඟ අධියර බවට පත්විය . එසේම මීට සමාන්තරව මතූවූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පිලිබද පණතට එරෙහි අරගලය ද අධ්‍යාපනයෙහි වැදගත්කම ඉස්මතු කරන තවත් සංවාදයක් බවට පත්විය. ගුරු වැටුප් අරගලය කෙතරම් දුරදිග ගියේද යත්, ජෝශප් ස්ටාලින් “නූතන ස්පාටකස්” ලෙස බව්තීස්ම විය. එහෙත් ජවිපෙ මහින්ද ජයසිංහගේ ගුරු වෘත්තීය සමිතිය ද මෙහි කැපී පෙනෙන වැඩ කොටසක් කළ බැවින්, ස්ටාලින්ට මස් රාත්තලම ගන්නට නොහැකි විය. අනෙක් පැත්තෙන් කොතලාවල පණතට එරෙහිව අ.වි.වි.ශි.බ.ම. සුපුරුදු වීරක්‍රියාවල (ටිං ටිං ගෙ වීරක්‍රියා නොවේ) නිරත වූ බැවින් පෙරටුගාමී සමජවාදී පක්ෂයටද අරගල භූමියේ තමන්ට හිමි කෝටා එක බේරා ගනීමට හැකි විය. සැබැවින් භාවාතිශය සහ උද්වේගකර ජවනිකා සම්බන්ධයෙන් ඔවුන් සමග හැප්පීමට දැන් ජ.වී.පෙ.ට නො හැකි ය.  ඒ සඳහා වන සියලු සම්මාන දිනාගනු ලබන්නේ ඔවුන් විසිනි. ඔවුන් වෙනුවෙන් ලියවුනු කව්, ගී බලා අතීතකාමී පස්චාත්තාපයක ගිලෙනු හැර ජ.වී.පෙ. සාමාජිකයන්ට දැන් ඔවුන් සමග හැරෙන්නටවත් බැරි ය. “සටනක් කොතනද අප එතැනය!” යන්න සිය ආදර්ශ පාඨය කොටගත් “සමාජ ක්‍රියාකාරිකයන්”, කලාකරුවන්, සහ වෙනත් නොයෙක් පාර්ශවකරුවෝ ද ගුරු අරගල වේදිකාවේ තම තමන්ට නියමිත රංගනයන් ඉතා ප්‍රාසංගික ව ඉදිරිපත් කළහ.   මේ අනුව සියලු දෙනා තම තමන්ගේ කොටස් ආරක්ෂා කර ගැනීමට මෙතෙක් සමත් ව තිබේ.

ආණ්ඩු හිතවාදී මුග්ධයින් (අරගලකරුවන්ට අනුව) කීප දෙනෙකු හැරෙන්නට සාතිශය බහුතරයක් පුරවැසියන්ගේ අවධානය දිනා ගැනීමට ගුරු වැටුප් අරගලයට හැකි විය. මෙයට හේතු වුයේ අධ්‍යාපන දෘෂ්ටිවාදයේ බලවත්කම මෙන්ම ගුරුවරයා පිළිබදව සමාජයේ තිබෙන ඉමේජයයි. මිනිසුන්ට අනුව දෙවියන් මිනිසුන්ට දෑස් ලබා දුන්නත්, එම දෑස් පාදන්නේ ගුරුවරුන් ය. මෙකී දෑස් පෑදීම යනු අපට අනුව පෙර සදහන් කළ පරිදි “ක්‍රමය” සොයන මිනිසා ගොඩනැගීමයි. දේශපාලන දෛවෝපගතභාවය කෙතරම් ප්‍රහසනකාරීද යත් “ක්‍රමය” සොයන මිනිසා තනන ගුරුවරු වෙනුවෙන් “ක්‍රමය” වෙනස් කිරීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන සිටින වාමාංශිකයින් කොන්දේසි විරහිතව පෙනී සිටීමයි. මෙහිදී අඩුම තරමේ වාමාංශිකයින් සිය අත් පොත්වල මෙය “ධනේශ්වර අධ්‍යාපනය” යැයි නම් තැබූ ඒ පීතෘත්වද නොසලකා හැර ඇත. කොරෝනා “ගුරු පොකුර” පිලිබද අවදානමක් මතුවූයේ නැතිනම් මෙම අරගලයට තව බොහෝ දුරක් යාමට හැකියාව තිබිණි. එහෙත් එය විමුක්ති දේශපාලනය පැත්තෙන් දශමයකුදු දුරක් නොවේ.

කොතලාවල පණත සමග මතුව ආ එක් ප්‍රධාන ප්‍රවාදයක් වූයේ අධ්‍යාපනය හා මිලිටරිය සපුරා වෙන්ව පැවතිය යුතු බවයි. එය කළ හැක්කේ කෙසේද යැයි දන්නේ දෙවියන් පමණි. මන්දයත් අධ්‍යාපනය නෛසර්ගිකව ම මිලිටරිමය අන්තර්ගතයක් දරා සිටින්නක් වන බැවිනි. මෙය අන්යෝන්‍ය වශයෙන් බැඳී පවතී. පෙර පාසැලට ඇතුළත් කරන දරුවෙකු උපාධිධාරියෙකු ලෙස සමාජයට ඒමේ ක්‍රියාවලිය තුළ ඇත්තේ විධිමත් සොල්දාදුවෙකු ගොඩනගන ක්‍රියාවලියට සමාන්තර අන්තර්ගතයකි. දරුවෙකු පෙර පාසැලට ඇතුළත් කරන්නේම දැඩි බලහත්කාරක් යොදවාය. ඉන් පසු ඇරඹෙන පාසල් අධ්‍යාපනය තුළ දී  ඔහුට නිශ්චිත වැඩ කාලසටහනක් පැවරේ. ඊට අමතරව නිශ්චිත නීති මාලාවකට ඔහු යටත් විය යුතුය . මෙම නීති මාලාවට පිටින් ඔහුට වැඩ කළ නොහැක. එසේ කළහොත් ඊට අදාල දඩුවම විදිය යුතුය. ඔහු අදින පළදින විදිහ පවා ඔහුට පිටින් තීරණය කර ඇත. හමුදා සොල්දාදුවෙකුට මෙන් ඔහුටද නියම කර ඇති නිළ ඇඳුම පණක් නොව, විලාසිතාවන් කෙරෙහි වන ඔහුගේ පුද්ගලික රුචි අරුචිය මෙහිදී නොවැදගත්ය.  සියල්ල දන්නේ ගුරුවරයා බැවින් (ගුරුවරයා මේවා දනගන්නේත් වෙනත් කෙනෙකුගෙනි. පෙළපොත්වල ඇත්තේත් වෙන අය කියපුවාය), ඔහු ගුරුවරයාට යටහත් පහත්ව සිටිය යුතුය. මෙහිදී ඔහුගේ සාමාන්‍ය ජීවිතයට කිසිසේත් අදාල නොවන වියුක්ත සංකල්ප (විශෙෂයෙන් ගණිතය, විද්‍යාව වැනි) ඉගෙනගත යුතුය. අති සරලව පවසන්න්නේ නම් ඔහු මෙම ක්‍රියාවලිය තුළ පරාරෝපිතව සිටිය යුතුය. මෙය හා සසදද්දී හමුදා සොල්දාදුවෙකු ගොඩනගන ක්‍රමවේදයට යම් තර්කයක් තිබේ. මන්දයත් ඔහු නිශ්චිත කරුණක් සදහා නිශ්චිත පූර්ව අවබෝධයක් සහිතව එම ක්‍රියාවලියට ඇතුලුවන්නෙකි. එපමණක් නොව අධ්‍යාපනයෙහි ඇතැම් ක්ෂේත්‍රවල ඊනියා සොයා ගැනීම් බොහොමයක් මිලිටරිමය අවශ්‍යතාවන් සදහා ගොඩනගන ලද දේ ය. පාසැල් විෂය නිර්දේශවලට ඇතුළත් කර ඇති බොහෝ විෂයන් හා විෂය කරුණු යනු, විශෙෂයෙන් පළමු හා දෙවන ලෝක යුධ කාලවල එම මිලිටරිමය අවශ්‍යතාවන් සදහා ගොඩනගන ලද දේවල්‍ ය. පරිගණක විද්‍යාව මීට එක් නිදසුනක් පමණි. රසායනික පොහොර නිෂ්පාදනයත් ඒ සම්බන්ධ දැනුමත් පිමි පනිමින් වර්ධනය වූයේ යුද්ධ නිසා ය. අද ද අධ්‍යාපනයෙහි ඇතැම් දැනුම් ක්ෂේත්‍රවල සොයාගැනීම් පළමුවර භාවිතයට ගැනෙන්නේ මිලිටරිමය අවශ්‍යතාවන් සදහා ය. ඒවා සිවිල් සමාජයට එන්නේ යම් කාලයක් ගතවූ පසුවය. ඒ අනුව අපට තේරුමගත හැක්කේ අධ්‍යාපනය හා මිලිටරිය අන්යෝන්‍ය වශයෙන් එකට බැඳී පවතින බවයි. මේවා අතර යම් හෝ වෙනසක් ඇත්නම් ඒ ආකෘතියේ මිස අන්තර්ගතයේ නම් නොවේ.

වේගයෙන් නැග ආ අධ්‍යාපනයෙහි වැදගත්කම අරබයා වූ සංවාදයේ විප්ලවිය රළවේගය කෙමෙන් බැස යමින් තිබේ. එහෙත් එය විසින් ඉතිරි කළ තවත් මූලික ප්‍රවාද කීපයක් වෙයි. අධ්‍යාපනය විසින් යහපත් පුරවැසියෙකු ගොඩ නගයි යන්න මින් ප්‍රමුඛ ප්‍රවාදයකි. සැබැවින්ම “යහපත් පුරවැසියා” යනු කවුද ? “යහපත” යනු කුමක්ද? අයහපත නොමැතිව යහපතට පැවතිය හැකිද? මේවා මේ ඉදිරියේ මතුවන ගැටලුය. මෙම ප්‍රවාදය ගොඩනැගූ අයට අනුවත් සාමාන්‍ය ජන විඥානයෙහි ඇති හැගවුමට අනුවත් යහපත් පුරවැසියා යනු සමාජ සංස්කෘතික දේහය තුළ අධිනිශ්චය වු සදාචාර පද්ධතීන්ට අනුගත තාර්කික (Rational) පුද්ගලයාය. මෙම සදාචාර පද්ධතීන්ගේ දැක්මට නතුව ඔහු ජීවත් වෙයි. ඒ සදහා වන තාර්කික වතාවත්වලින් ඔහුගේ ජීවිතය පිරී තිබේ. ඔහුට ඒ සඳහා විශාල දැනුමක් දරා සිටීමට සිදුවෙයි. ගොඩනංවන ලද යතාර්තයේ කලු සෙවල පතුල වෙතම තව තවත් කිමිදීමට ඔහුට බලකෙරී ඇත. සරලව පවසන්නේ නම් ක්‍රමයේ පැවැත්ම වෙනුවෙන් ජීවත්වීමට ඔහුට සිදුව ඇත. අධ්‍යාපනය විසින් ගොඩනගන්නේ මෙකී යහපත් පුරවැසියාය. අනෙක් කාරණාවනම්, මෙලෙස යහපත් පුරවැසියන් සමාජය තුළ පවත්වාගෙන යාමට එහි අනිවාර්ය කොන්දේසිය ලෙස අයහපත් පුදගලයින්ද සමාජය තුළ සිටිය යුතුය. මන්දයත් නරක නොමැතිව හොඳ පවතින්නේ නැතුවා සේම යහපත පැවතීමටනම් අයහපත පැවතිය යුතුය. ඒ අනුව යහපත් පුරවැසියා යනු ප්‍රබන්ධයකි. ගොඩනැංවීමකි. යතාර්තයේම කොටසකි. එවිට ඔහු විමුක්ති දේශපාලන ක්ෂිතිජයට ආලෝක වර්ෂ ගණනාවක් දුරය.

මොන බයිලා ගැසුවත් අවසානයේ මේ යහපත් පුරවැසියා ඉන්නේ “ආර්ථිකය” නමැති භූත බලවේගයට බිලිවීම සඳහා ය. මිනිසුන්ගෙන් වියුක්තව පවතින “භූත බලවේගයක්” වෙනුවෙන් බිල්ලට දෙනු ලැබ මේ වසංගතය මැද කඹුරන්නට ඇඟලුම් කම්හල්වල තරුණියනට සිදුව ඇත්තේ ඔවුන් “අයහපත් පුරවැසියන්” නිසා නො වේ. 

නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් යනු අධ්‍යාපනයෙහි වැදගත්කම අරබයාවන දීර්ග ඉතිහාසයක් ඇති ප්‍රවාදයකි. කොතලාවල පණතත් සමග මෙය නැවතත් තොරොම්බොල් කරණු පෙණින. මෙය අමුම අමු විකාරයකි. යුගයක රජයන අදහස් එම යුගයේ පාලක පංතියේ අදහස් යැයි මාක්ස් ලිව්වේ මීට ශතවර්ෂයකටත් ඉහතදීය. එය අපට දෘෂ්ටිවාදය පිළිබඳව මනා ඉගියක් සපයයි . දෘෂ්ටිවාද රජයන සමාජයක නිදහස් හෝ ස්වාධීන යැයි දේවල් පැවතිය නොහැක. මීට ඉහත පෙන්වා දුන් පරිදි අධ්‍යාපනය යනු ධනේෂ්වර දෘෂ්ටිවාදයේ ඉහළම අංගයයි. මේ මොහොතේ එහි කාර්යභාරය ධනවාදයට අවැසි මිනිසා ගොඩනැගීමයි .මෙම ප්‍රවාදයේ ඉතිරි කොටස වන නිදහස් අධ්‍යාපනය නැතහොත් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නොවේය යන්නද තවත් සුන්දර ළමා කතන්දරයකි. සති අන්ත ඉංග්‍රීසි පුවත්පත්වල වැඩිම දැන්වීම් පලවන්නේ අධ්‍යාපනය සම්බන්ධව ය. පුද්ගලික උපකාරක පන්ති යනු අධ්‍යාපනයේ අනිවාර්ය කොටසක් ලෙස තහවුරු වී අවසන් ය. ධනේශ්වර ක්‍රමය  තුළ මිනිසෙක් හා මිනිසෙක් අතර සම්බන්ධය මුදල්මය සම්බන්ධයක් බැව් මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයේ ලියන විට ධනවාදය උපත ලැබුවා පමණි. “අප අපගේ සමාජ සම්බන්ධතා අපගේ පොකට්ටුවෙහි ලාගෙන යමු” යනුවෙන් පැවසුවේ ඔහු ය. එය මේ වනවිට සමාජය මුලුමණින්ම වෙළෙඳපොළක් බවට පත්කර හමාරය. වෙළෙඳපොළක භාණ්ඩ යනු හුවමාරු භාණ්ඩ ය. සියල්ල සිදුවන්නේ ප්‍රාග්ධන රාශිකරණය වෙනුවෙනි. එවැනි යතාර්තයක් තුළ අධ්‍යාපනය පමණක් වෙළෙඳ භාණ්ඩයක් නොවන්නේ කෙසේදැයි අපනම් දන්නේ නැත.

  • ප්‍රසන්න අබේවික්‍රම