මාක්ස් වම්මු සහ තමලු – 02

මාක්ස් වම්මු සහ තමලු – 02

තමලුට පෙණෙන මාක්ස්, මාක්ස්මද?

1) . මූලිකව සදහන් කල යුත්තේ අප අපගේ ප්‍රතිචාරය දැක්වූවේ තමලු පොත තුලින් ඉදිරිපත් කල කරුණු සදහායි. එම පොත සම්බන්දයෙන් විවිධ පිරිස් ඉදිරිපත් කල විවේචන සදහා තමලු පසුව හදාගත් පිළිතුරු අපගේ එම විවේචනයට අදාල වූවේ නැත. 

2) . දෙවනුව තමලුට අප එල්ල කල විවේචන සදහා ඔහු ප්‍රමාණවත් ලෙස කිසිදු පිළිතුරු සැපයීමක් සිදුකර නැති බවත් ඒ වෙනුවට හුදෙක්ම තාක්ෂණික ගැටළු ප්‍රමාණයක් මතු කර ඇති බවත් තහවුරු වේ. එමෙන්ම, අපගේ මූලික විවේචනයන් සදහා පිළිතුරු සැපයීමේදී ඔහු එම විවේචනයන් මඟ හැර හෝ එම විවේචනයන් වටහා නොගෙන හෝ පිළිතුරු ලබා දී ඇති අතර සමහර තැන්වලදී දැනුවත්ව හෝ නොදැනුවත්ව වක්‍රාකාරයෙන් අපගේ ස්තාවරයේම ස්ථානගත වීමක් ද දැකිය හැකිය.

3) . තමලුගේ Exit way out කණ්ඩායමට පිළිතුරු ලිපියෙහි මුල් කොටසෙහි ඇත්තේ ඔහුගේ ඉදිරිපත් කිරීම් සම්බන්දයෙන් අපගේ එකඟතාවයන් හැදින්වීමට බැවින් ඒ සදහා කිවයුතු යමක් නොමැත. 

4) . තමලුගේ පොත සම්බන්දයෙන් අපගේ ලිපියෙහි තමලු කරන වැරදි නිරීක්ෂණ. 

  තමලු :- 

  //මා කියා ඇත්තේ මෙය නො වේ. ඒංගල්ස්ගේ හා මාක්ස්ගේ අපෝහක භාවිතය එකක් යැයි මා මෙහි කියා නැත. මා කියන්නේ ඒංගල්ස් ස්වභාවික විද්‍යාව අපෝහකයෙන් විග්‍රහ කිරීමට උත්සාහ කළ ලෙස මාක්ස් ද ‘දේශපාලන ආර්ථිකය’ විෂය අපෝහකයෙන් විහ්‍රහ කිරීමට උත්සාහයක් දැරූ බව පමණි. මා පැහැදිලිව දෙදෙනාගේ ක්‍රියාකාරීත්වයේ වෙනස පොතේ 8 වෙනි පිටුවේ අග දක්වා ඇත. // 

  8  පිටුවේ එවැනි පැහදිලි කිරීමක් නැත.තිබේ නම් ඉදිරිපත් කරන්න. 

Exit way out ( මින් ඉදිරියට අපගේ නාමය EWO ලෙස දක්වන්නෙමු.) 

  // “මෙය තව දුරටත් සනාත කිරීමට තමලු එංගල්ස්ගේ “සොභාදහමේ දයලෙත්තිකය” මාක්ස්ගේ ප්‍රකාශයට සම්බන්ද කරයි. එමගින් ඔහු ඉදිරිපත් කරන්නේ එංගල්ස් ගෙන එන අපෝහකය ප්‍රවාදය මාක්ස් පිළිගත් බවත් එය මාක්ස්ගේ ආර්ථික විචාරයට එකතු කල බවත්‍ ය.// යන්නයි. ( මේ තමලු පිළිතුරු ලිපියෙහි අපගේ ලිපියෙන් උපුටා පල කල කොටසකි.) 

  මෙහි තද පැහැ අකුරෙන් දක්වා ඇති ඉරි ඇදි කොටස තමලුගේ පිළිතුරු ලිපියෙහි පහත කොටසට සමාන නොවන්නේ කෙසේද? 

  //මා කියන්නේ ඒංගල්ස් ස්වභාවික විද්‍යාව අපෝහකයෙන් විග්‍රහ කිරීමට උත්සාහ කළ ලෙස මාක්ස් ද ‘දේශපාලන ආර්ථිකය’ විෂය අපෝහකයෙන් විහ්‍රහ කිරීමට උත්සාහයක් දැරූ බව පමණි.// 

  ඉහත අප සදහන් කල ඉරි ඇදි කොටස වැරදිනම්, තමලුගේ පහත ඉරි ඇදි කොටස පිළිගැනීමට අප කැමතිය. ඉන් ඔහු ප්‍රකාශ කරන්නේ මාක්ස් දේශපාලන ආර්ථික විෂය අපෝහකයෙන් විග්‍රහ කිරීමට උත්සහ දරා ඇති බවයි.

අපගේ විවේචනය වන්නේ එවැන්නක් මාක්ස් කර නොමැති බවයි. එසේනම් තමලු සම්බන්ද අපගේ නිරීක්ෂණය වැරදි වන්නේ කෙසේද?. 

  මාක්ස් තමන්ගේ අපෝහකය ගැන නිශ්චිතව සදහන් කර නොමැති බව තමලු ප්‍රකාශ කරන අතර මාක්ස්ගේ අපෝහකය එංගල්ස්ගේ අපෝහකයෙන් වෙනස් බව තමලු පවසා නැත. වෙනස් නම් , මාක්ස්ගේ අපෝහකය තමලු දැන සිටිය යුතුය. එය තමලුට අනුව නිශ්චිතව මාක්ස් ප්‍රකාශ කර නොමතිනම් මාක්ස් ආර්තිකය විග්‍රහ කිරීමට යොදාගත්තේ කුමන අපෝහකයද? තමලුගේ අදහස වන්නේ මාක්ස් එංගල්ස්ගේ අපෝහකය බාරගත් බව සහ එය භාවිතා කල බව නොවේද? . තමලු එය මෙසේ සදහන් කරයි. 

  // මාක්ස් එකල දේශපාලන ආර්ථික විෂයෙහී අදහස්වල තිබූ පරස්පර ගැන ලියා තිබෙන දෑ මැනවින් තේරුම් ගෙන අපෝහකයට ගැට ගසා එය විචාරයක් ලෙස නම් කලේය. පසුකාලීන මාක්ස්වාදීහු විචාරය විද්‍යාවක් කොට පොට පැටලවූ හ.// 

  ඉහත කාරනා අනුව මාක්ස් එංගල්ස්ගේ අපෝහකය ආර්ථික විග්‍රහය ඉදිරිපත් කිරීමට යොදාගෙන ඇති බව තමලු පැහැදිලිව ඉදිරිපත් කර ඇත. අපගේ විවේචනය පිහිටන්නේ එම කාරණයට අදාලවය. එහෙත් අපට පැහැදිළි වන්නේ තමලු අපගේ විවේචනය පවා හදුනාගෙන නොමැති බවයි. අප දිගින් දිගටම පැවසුවේ මාක්ස් එංගල්ස්ගේ අපෝහකය භාවිතා නොකරණ බව සහ මාක්ස්ගේ දයලෙත්තික විධික්‍රමය එංගල්ස්ගේ විධික්‍රමය නොවන බැවින් මාක්ස් එංෆල්ස්ගේ අපෝහකයක් භාවිතා නොකල බවයි. එය තහවුරු කිරීමට තමලු පිළිතුරු ලිපිය යොදාගෙන නොමැති අතර ඉහත “මා එවැන්නක් කියා නැත” යන ලිපියේ සදහන් කොටසින් පොතේ ඔහු  මාක්ස්ට එල්ල කරන විවේචනය බැහැර කර ඇත. එසේනම්, තමලු මාක්ස් ආර්ථිකය විග්‍රහ කිරීමට යොදාගත්තේ කුමන අපෝහකයද යන්න පැහැදිළි කල යුතුය. 

 5) . ඉන්පසු තමලු කවලම් කර ප්‍රශ්න ගනනාවක් අසයි. ඒ මෙසේය. 

  // ඉන්පසු පහත එන වැරදි නිරීක්ෂණය සිදුවන්නේ ‘ඇත්තෙන් ම’, ‘ඇත්ත ලෝකයේ’, ‘සැබෑ පැවැත්මක්’ යන ව්‍යවහාර පාරභෞතික පැවැත්මක් (metaphysical existence/being) සමඟ පටලවා ගැනීම නිසා ය. ඔවුන් ‘යථ’ භාවිත කරන්නේ කාගේ අර්ථයෙන් ද යන්නත් මෙහි දී ඇසීමට සිදු වේ. ‘යථ’ යනු මනසින් පරිබාහිරව පවතින යථාර්ථයක් ද? ජේසුස් වහන්සේ ගැන ජිජැක්ගේ කතාවේ තේරුම මොකක් ද? මේ වචන භාවිතය exit way out කණ්ඩායම නිවැරදිව කරන බවට සහතික විය හැකි ද? 

  “ඇත්ත ලෝකයේ”හෝ “සැබෑ පැවැත්ම” යන කොටස් අපගේ ඉදිරිපත් කිරීම් නොවේ. ඒ තමලු ඔහුගේ පොත තුලින් මාක්ස් පවසා ඇති බව සනාත කරමින් ඉදිරිපත් කර ඇති කොටස්‍ ය. මෙහි තමලු අපට ගෙන එන ප්‍රතිවිවේචනය වන්නේ ඔහු “ඇත්තෙන්ම, ඇත්ත ලෝකය, සැබෑ ලෝකය” ලෙස ගෙන එන ව්‍යවහාර අප පාරභෞතික පැවැත්මක් සමග පටලවාගෙන ඇති බවයි. 

  මෙම කාරණයේදී අපගේ නිගමනය වන්නේ තමලු යමක් හෙලිදරව් කරන බවයි. එනම්, ඔහු ඇත්තෙන්ම, සැබෑ ලෝකය, ඇත්ත ලෝකය යන යෙදුම් පාවිච්චි කරන්නේ මිනිසුන්ගේ ව්‍යවහාරික පැවැත්මක් යන අර්තයෙන් බවයි. එමගින් තමලු මාක්ස් ඉදිරිපත් කලායැයි පවසන ව්‍යවහාරික පැවැත්ම සමග මෙම ප්‍රතිඋත්තර ලිපියෙන් එකඟත්වය ඵල කරයි. අප පවසන්නේද මිනිසුන් ශ්‍රම ක්‍රියාවලියේ නැතහොත් නිශ්පාදන ක්‍රියාවලියේ නියැලෙන ව්‍යවහාරික පැවැත්මක් ඇත යන්නයි. මාක්ස් පවසන්නේද එයමය. එම ව්‍යවහාරික පැවැත්ම පිහිටන්නේම තමන් අර්තවත් කරගත්, නැතහොත් ගොඩනගාගත් යතාර්තයකය. එම ගොඩනගාගත් යතාර්තය තුල මිනිසුන් ක්‍රියාවන්ගේ යෙදෙන විට ඔවුන්ට අභියෝගයන්, වැරදීම්, නැවත සකසාගැනීම්, තමන් සිතන ආකාරයට ක්‍රියාවන් සිදු නොවීම, ආදී පරස්පර වලට මුහුණ දීමට සිදුවෙයි. එය අප විශ්වාස කරන කතිකාවට අනුව පවසතොත්එම හොඩනගාගත් යතාර්තය තුල අප සමහර සිදුවීම් ක්ෂණිකව අර්තවත් කරගැනීමට නොහැකිව ක්ෂතිමය අද්දැකීමකට පිවිසෙයි. එම “ක්ෂතිමය” අද්දැකීම එකෙනෙහිම දන්නා දෙයකින් අර්තවත් කරගනිමින් නැවත මේ ගොඩනගාගත් යතාර්තය තුල ව්‍යවහාරයේ යෙදෙයි. මෙම ව්‍යවහාරය තුල බොහෝ පරස්පරතා පවතියි. එලෙස ව්‍යවහාරයේදී ගොඩනැගෙන පරස්පරතා සදහා දැනුම ඇති පුද්ගලයින් ප්‍රවාද ගොඩනගනු ලබයි. එවිට ප්‍රවාද යනු ව්‍යවහාරයේ පරස්පරතා විසින් ගොඩනැගෙන ඒවායි. ව්‍යවහාරයේ පවතින පරස්පර එමටය. එම නිසාම එම පරස්පර පදනම්කරගනිමින් ගොඩනගන ප්‍රවාදද එමටය. කොතෙක් ප්‍රවාද ගෙන ආවද ව්‍යවහාරයේ පරස්පර වියැකී යන්නේ නැත. මන්ද මිනිසා ව්‍යවහාරයේ යෙදෙන්නේම දයලෙත්තකව නිසාය. මෙම ව්‍යවහාරයේ පරසපර පදනම් කර ගනිමින් ගෙන එන ප්‍රවාද පරස්පර වන නිසාම නැවත නැවත ප්‍රවාද ගොඩනැගිය යුතුය. ඒ හැම ප්‍රවාදයක්ම තව තවත් පරස්පර වේ. එයට හේතුව ව්‍යවහාරයේ පරස්පරය. මාක්ස්ගේ කාලයේ එවැනි හදුනාගැනීමක් නොවුවද, ව්‍යවහාරයේ පරස්පරතා නොතිබුනා කිව නොහැකිය. එම නිසාම මාක්ස් මෙම ව්‍යවහාරයේ ඇති පරස්පර පෙන්වා දෙන අතර එය හුදෙක්ම ප්‍රවාද වලින් ප්‍රතිභිම්භනය වන බවත් ප්‍රවාද වෙනස් කර නව ප්‍රවාද ගෙන ආ පමණින් ව්‍යවහාරයේ පරස්පරතා අහෝසි නොවන බවත් පවසයි. එම නිසා ඔහු දකින්නේ මිනිසුන් ව්‍යවහාරයේ යෙදෙන්නේ ධනවාදී දේශපාලන ආර්ථික කතිකාව බැවින් එම දේශපාලන ආර්ථික කතිකාවම පරස්පර බැවින් එය අහෝසිකල යුතුය යන අදහසින් මාක්ස් එය විවේචනය කරයි. නමුත් තමලු පොත තුලින් එම මාක්ස්ගේ යෝජනාව විවේචනය කරමින් ගෙන එන්නේ ප්‍රවාද පරස්පරනම් නව ප්‍රවාද ගෙන ආ පසු එම පරස්පර අහෝසි වන බවයි. එනම් ඔහු ධනවාදයේ පවතින පරස්පර වෙනුවට ප්‍රවාද වල පරස්පර පමනක් ගෙන එම පරස්පර සහිත ප්‍රවාද වෙනුවට පරස්පර රහිත ප්‍රවාද ගෙන ආයුතු බවත්, මාක්ස් කල යුතුව තිබුනේ එය බවත් ප්‍රකාශ කරයි. එසේ කල පසු පවතින්නේ ධනවාදයමය. තමලුගේ උවමනාව පැහැදිලි වන්නේ මේ සමගය. එහෙත් අප මාක්ස් පවසනවා යැයි ගෙන එන්නේ මාක්ස් මෙම ව්‍යවහාරයේ පවතින පරස්පර සදහා ප්‍රවාද වෙනස් කර හෝ නව ප්‍රවාද ගෙන ඒමෙන් අහෝසි නොවන බවයි. තමලු අප මේ පවසන්නේ පාරභෞතිකයක් ගැන යැයි පවසමින් අපගේ විවේචනය මගහරියි. නැතහොත් පෙර මෙන්ම විවේචනය වැටහා නොගනියි.

සත්‍ය වශයෙන් ම තමලු මින් ඉදිරියට යයි. මාක්ස්ගේ “ආර්ථික” අදහස් (මෙවැන්නක් නැති බව නැවත මතක් කිරීමට කැමැත්තෙමු) යල් පැනගොස් ඇති බවත් ඒවා නව “ආර්ථික විද්‍යාව” විසින් “ජයගෙන” ඇති බවත් කියන විට තමලු ඉතා පැහැදිලි ව කියන්නේ “පට්ටපල් බොරුවකින්” මාක්ස්ගේ ව්‍යවහාරික ප්‍රශ්න කිරීම අහෝසි කොට ඇති බවයි. එපමණක් නො ව, තමලු ඒ ගැන උදම් වෙයි! 

ඇත්ත වශයෙන්ම මාක්ස් ද්‍රව්‍යවාදියෙක් සහ භෞතිකවාදියෙක් කරන්නේ තමලුය. ඒ මෙසේය, 

 // මාක්ස් ද්‍රව්‍යවාදයක්/ භෞතිකවාදයක් ගැන කතා කළේය. මනස් නැති ලෝකයක ද්‍රව්‍ය පවතී ය කියන වර්ගයේ පාරභෞතික භෞතිකවාදයක් ද නැද්ද යන්න ගැන මාක්ස්වාදීන් මහා විවාදයක් පටන්ගැනීමට ඉඩ ඇතත් ‘ වටිනාකම’ පිළිබද අදහස විමර්ශනයට ගැනීමට එය අවශ්‍ය වන්නේ නැත. ක්‍රියාකාරීත්වය හෝ ප්‍රැක්සිස් ( praxis) ගැන දාර්ශනික අදහස් ඇසුරෙන් මාක්ස් අවසානයේ කියන්නේ නිශ්පාදන සම්න්ධකම්, ශ්‍රමය ආදී බාහිර ලෝකයක වෙනස්කම් ඇතිකර ගන්නා ලෙස ගෝචර වන දේවල් ( පාරභෞතික නොවන ලෙසකින් හෝ) ද්‍රව්‍ය ලෙස බාරගත යුතු බවයි. // ( 14 පිටුව ) 

  තමලු මෙමගින් මාක්ස් පාරභෞතිකවාදියෙක් නොකියාද නැත. ඔහු පැහැදිළිව මාක්ස් ද්‍රව්‍යවාදියෙක් / භෞතිකවාදියෙක් ලෙස නම් කරයි. පාරභෞතිකවාදියෙක් ද නැද්ද යන්න කතා කිරීමට ඉඩ තබයි. අප තමලුට පවසන්නේ මාක්ස් පාරභෞතිකයක් හෝ ද්‍රව්‍යවාදයක් ඉදිරිපත් කර ඇත්තේ කුමන අවස්තාවකදැයි පෙන්වන ලෙසයි. එම නිසා පාරභෞතිකයක් ලෙස ව්‍යවහාරය පටලවාගෙන යැයි අපට විවේචනය කරන තමලුට අපට කීමට ඇත්තේ ඔබ සමස්තය පටලවාගෙන දෙකොන කැපුණු පනුවකුගේ තත්වයට පත්වී ඇති බවයි. 

  තමලු :- 

  •. //ඔවුන් ‘යථ’ භාවිත කරන්නේ කාගේ අර්ථයෙන් ද යන්නත් මෙහි දී ඇසීමට සිදු වේ. // 

  EWO :- 

  මෙහි අපගේ ලිපියෙන් තමලුගෙන් විමසා ඇත්තේ “යථ” යන්න කාගේ අර්ථයකින් හෝ පවතින බව ඔබ පිළිගන්නවාද යන්න සහ තමලු එය නොසලාකා හැරියේ කිනම් හේතුවක් නිසාද යන්නයි. එයට කිසිදු පිළිතුරක් නොදෙන තමලු “යථ” යන්න භාවිතා කරනේ කාගේ අර්ථයෙන්ද විමසයි. අපට නැවත ඇසීමට ඇත්තේ කාගේ අර්තයෙන් හෝ යථ යන්න ඔබ ප්‍රතික්ෂේප කරන්නේද යන්නයි. එය වැරදි නිරීක්ෂණයක් ලෙස ඔහු දකින්නේ කෙසේද? 

  තමලු :- 

  •. මීලග ප්‍රශ්නය වන්නේ,  //’යථ’ යනු මනසින් පරිබාහිරව පවතින යථාර්ථයක් ද?// යන විමසීමයි. 

  EWO :- 

  මෙම විමසීම තුලින් අපට හැගීයන්නේ ” යථ” යන්න ගැන කිසිදු වැටහීමක් තමලුට නොමැති බවකි. එම නිසාම ඉහත අප විමසූ “” යථ” යන්න පවතින බව ඔබ පිළිගන්නේදැයි අසන ප්‍රශ්නය විමසා ඵලක් නැත. යම් හෙයකින් යම් හෝ වැටහීමක් ඇත්නම් ” යථ” යන්න මනසින් පරිභාහිරව පවතින්නක්ද යැයි ප්‍රශ්න කල නොහැකිය. කීමට ඇත්තේ ඒ සම්බන්දයෙන් දැනට ඔහු උපදෙස් ගන්නා කෙනෙකුගෙන් හෝ විමසා දැනගන්නා ලෙසයි. 

  තමලු :- 

  •. ජේසුස් වහන්සේ ගැන ජිජැක්ගේ කතාවේ තේරුම මොකක් ද? මේ වචන භාවිතය exit way out කණ්ඩායම නිවැරදිව කරන බවට සහතික විය හැකි ද? 

  EWO :- 

  ජීසස් කුරුසයේ ඇන ගැසීමට ගෙනයන අවස්තාවේ කලා යැයි පවසන ජනප්‍රිය ප්‍රකාශය ( ලූක් පරිච්ජේදය 23 හී 34 වන කොටස)  ගෙන අපගේ ලිපියෙහි යෙදීමේත්, එවැනිම අර්තයකින් සැවෝයි ජිජැක්ගේ ඉදිරිපත් කිරීමක් වන ( Enjoyment as a political factor) කෘතියෙහි සදහන් ” for they know not what they do” යන යෙදුම් ගෙනහැර දැක්වීමේත් හේතුව තමලු හඳුනාගනු ඇතැයි  උපකල්පනය කළෙමු. නමුත් තමළු එය හඳුනාගෙන නැත. එය අප විශ්මයට පත් කරයි. සැබවින් ම මේ පාඨය ජීසස් සහ ජිජැක් අතර හුවමාරුවේ හරි මැද මාක්ස් සිටියි. දාස් කපිටාල් කියවීමේදී තමලුට මාක්ස්ගේ මේ පාඨය මඟ හැරී ඇත: ” they do not know it, but they are doing it” (තමලුගේ ජර්මන් භාෂා දැනුමට ගරුකිරීමක්  ලෙස මුල් ජර්මන් පාඨය ද දක්වමු: Sie wissen das nicht, aber sie tun es”). ජිජැක් මෙය උපුටා දක්වන්නේ “බොහෝ විට දෘෂ්ටිවාදය සම්බන්ධයෙන් වන අතිමූලික නිර්වචනය” වශයෙනි. ජීසස් පැවසූ බව සදහන් කොටස මිනිසුන් තමන් කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් ඔවුන්ට සමාවුව මැනව යි ලෙස ද ජිජැක් එය එහි අනෙක් පැත්ත ලෙසත ඉදිරිපත් කරයි. එනම්, ඔවුන් දන්නවා ඔවුන් කරන දේ ලෙසයි. එමගින් පවසන්නේ ඔවුන් කරන්නේ කරන්න ඕනේ නැති දේ බව ඔවුන් දන්නවා යන්නයි. වෙනත් විදියකින් කිවහොත් ඔවුන් දන්නවා කරන්නේ කරන්න ඕන දේ නොවන බව. එහෙත් කරනවා යන්නයි. එය නරුමවාදයට සම්බන්දය. වඩාත් නිවැරදි ව කියන්නේ නම් මේ යුගයේ දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන්නේ නරුමවාදයක් ලෙස ය. මේ පදනම මත මේ මොහොතේ ම අපි ඉදිරියට ඉදිරියේ දී විස්තාරණය කිරීම සඳහා අදහසක් සටහන් කොට තබන්නෙමු: තමලු උද්දාමයෙන් ඔසවා තබන ආර්ථික විද්‍යාව යනු පට්ටපල් බොරුවක් පමණක් නො ව නරුම දෘෂ්ටිවදයක් ද වෙයි! 

මිනිසුන් ජීවත් වන්නේ භාෂාව මගින් අර්තකතනය වූ ලෝකයකය. //” ‘යථ’ යනු මනසින් පරිබාහිරව පවතින යතාර්තයක් ද” // යැයි අපෙන් ප්‍රශ්න කරයි. අප “යථ” ලෙස පවසන්නේ මිනිසා ව්‍යවහාරයේ යෙදෙන විට සිදුවන සියල්ල භාෂාවට ගෙන ඒමට නොහැකි බවයි. මිනිසුන් ව්‍යවහාරයේ යෙදෙන්නේ භාෂාවෙන් අර්තවත් කරගත් දේ සමගය. එම නිසා සියලු සිදුවීම් අර්තවත් වුවත් එය නිවරදිවම අර්තවත් වී ඇද්දැයි අප නොදනී. අප දක්වා ඇත්තේ එම පරස්පරයයි. මාක්ස්ගේ කාලයේ මෙලෙස මෙය හදුනාගෙන නොතිබුනද, ඉහත අප පෙන්වාදෙන ලෙස එකලද, මෙම පරස්පර නොතිබුනා කිව නොහැකිය. එබැවින් මාක්ස් එය ඔහුට ප්‍රත්‍යක්ෂ වූ ප්‍රමානයෙන් ඔහුගේ ඉදිරිපත් කිරීම් සිදුකරන්නට ඇත. එම නිසා එම යථ කාගේ යථ දැයි විමසීමම ගැටලු සහගතය. ඉහත උදාහරණයන්ගෙන් පෙන්වා දෙන්නේ එම පරස්පරයයි. තමලුට එය තේරුම් ගත නොහැකිය යන්න අප විශ්වාස කරන්නේ නැත. එම ප්‍රශ්නකිරීම් අපගේ විවේචනය නොමඟ යැවීම සදහා විමසන තාක්ෂණික මෙවලම්‍ ය. 

  තමලු :- 

  //ලැකෝන් ජිජැක් ආදීන් කෙසේ වෙතත් මාක්ස් wirklich (real) යන වචනය භාවිත කරන ආකාරය ඔවුන් කියන ආකාරය නො වේ. මාක්ස් real කියන්නේ ඉන්ද්‍රිය ගෝචර හා හිතින් මවා ගත හැකි ලෝකයට ය.// 

  EWO :- 

  ඉහත අප දක්වන කරුණු අනුව තමලු තවදුරටත් මෙසේ කීමට නොහැකිය. අප මෙහි මාක්ස් The Real යන්න කුමන ස්තානයකදී හෝ ඔහුගේ ඉදිරිපත් කිරීම්වලට යොදාගත් බවක් පවසා නැත. ෆොයාබග් තිසීස පරිවර්තනය තුල real යන්න අප යොදාගන්නේ ඒ අර්තයෙන් නොවේ. ඔබම ඉහත දක්වා ඇති මිනිස් ව්‍යවහාරික පැවැත්මක් යන අර්තයෙනි. එසේ වුවද, ඉහත ප්‍රශ්න සහ පිළිතුරු සදහා තමලුම මෙහිදී පිළිතුරු ලබා දී ඇත. එනම් ඔහු ලැකෝන් සහ ජිජැක් ආදීන් ” යථ” කුමන හෝ අර්තයකින් ( අර්ථය පවසා නැත) භාවිතා කරන බවත්, මාක්ස් ඒ අර්තයෙන් යථ භාවිතා කර නැති බවත් පිළිගනී. මින් පැහැදිලි වන්නේ තමලුට අනුව කුමන හෝ අර්තයකින් යථ ඇති බවයි. එසේනම් තමලු ලැකෝන් සහ ජිජැක් යථ භාවිතා කරන්නේ ඔබට අනුව කුමන අර්ථයෙන්ද යන්න කිව යුතුය. එමෙන්ම, 

  අපගේ ඉදිරිපත් කිරීමේ හරය තමලු අවබොධ කරගත යුතුය. අප ” යථ” යනුවෙන් හදුන්වන්නේ ” යථ” ට මිස එක් එක් පුද්ගලයින්ගේ “යථ” වලට නොවේ. අප ගොඩනගන ලද යතාර්තයක ජීවත් වෙන අතර අපට කිසි විට ” යථ” හමු වන්නේ නැත. එහෙත් අපට යතාර්ථය පහසු නොවේ. එම පරස්පරය අපව වික්ෂිප්ත භාවයට පත් කරයි. අප සියල්ල හොදම ආකාරයෙන් කල පසුවද ඉතිරිවන යමක් පවතියි. අඩුවක් නැතහොත් ලැක් එකක් පවතියි. එබැවින් අප කරන දෙයේහී පරස්පරයක් ඇත. එම පරස්පරය තුල අප කරන්නේ කුමක්දැයි අපම නොදනී. එසේනම් ජීසස්ගේ සහ සිසෙක්ගේ ඉදිරිපත් කිරීම් දැක්වීම වැරදි වන්නේ නැත. එලෙසම “යථ ” කාගේදැයි ඇසීමම ගැටලුවකි. අප නැවතත් තමලුගෙන් විමසන්නේ ඔබ යථ පිළිගන්නේද යන්න සහ අපට ඒ වෙත ලගාවීමට හැකිද? යන්නයි. ලගා වීමට නොහැකිනම්, අප කරන දේවල සහ යථ අතර පිරවිය නොහැකි පරස්පර නැතිද යන්නයි. 

මෙහි දී අපට තමලුට කීමට තවත් දෙයක් ඇත. කරුණාකර භාෂා ක්‍රීඩාව නවත්වන්න. බටහිර විද්‍යා විරෝධී බුද්ධිමය සම්භවයක් ඇති ඔබ භාෂාව මෙතරම් විද්‍යාත්මක කරන්නට යත්න දරන්නේ ඇයි? ඔබ කළ ෆොයබාක් තීසිස පරිවර්තනය “හරිම” එක ලෙස පිළිගෙන ඒ මත පමණක් පදනම් වන ලෙස යෝජනා කිරීමෙන් ඔබ කියන දෙය කුමක්ද? ඔබ විද්‍යාව පට්ටපල් බොරු බව සවිඥානික ව කිව්වත් ඔබේ අවිඥානය බටහිර විද්‍යාව බව නො වේද? භාෂාව විද්‍යාත්මක නැත. එය ජීවමාන වන්නේ එහි ඇති අවිද්‍යාත්මක බව නිසා ය. එය කොහොමත් එහි විශිෂ්ට ම අදියරේදී නිශ්චිත අදහසක් නො දී අප ව්‍යකුල කරයි. භාෂවේ විශිෂ්ටත්වය වන්නේ එය මිස ටක්කෙට තේරුම් දීම නො වේ. තරුණ මාක්ස් වනාහි කවියෙකි. අප දන්නා තරමින් භාෂාවේ මේ නිශ්චිත තේරුම් නැති ගුණයෙන් උපරිම ප්‍රයෝජනය ගත් මිනිසා ලකොන් ය.  එනිසා “මං හරි ම  එක  කරා..මීට පස්සේ ඒක විතරයි වැනි  කතා භාෂාව විද්‍යාවත්මක ව ගන්නා කතා ය.   

  තමලු :- 

  මීලගට අපට තමලුගේ පිළිතුරු ලිපියෙන් දක්වා ඇත්තේ මෙයයි. එනම්, 

  EWO :- 

 14,15 පිටුවල ඇත්තේ “පාරභෞතික නොවන ලෙසකින් හෝ” යනුවෙන් සදහන් දියාරු ප්‍රකාශයකි. 

    මෙමගින් තමලු පවසන දේ අපැහැදිළි උවත් අපට පෙනීයන්නේ ඔහු  මාක්ස් පාරභෞතික වාදියෙක් හෝ පාරභෞතිකයක් ඉදිරිපත් කලා යැයි සිතා අපගේ ලිපිය ලියා ඇති බවකි. අප එසේ කියා නැත. අප පවසන්නේ තමලු මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් රුසියානු අර්තයෙන් භෞතිකවාදයක් ලෙසත් ද්‍රව්‍යවාදයක් ලෙසත් මාක්ස්  පිළිගත් බවත් දක්වන බවයි. එය ඉහත තමලුගේ පොතේ 14 වන පිටුවෙහි පැහැදිළිව සදහන් කර ඇතිබව උපුටනය සමග දක්වා ඇත. අප නැවත පවසනේ අප පිළිතුරු ලියා ඇත්තේ පොතට මිස පසුව එක් එක් පුද්ගලයින් සමග කල වීඩියෝ සංවාද වලට ද නොවන බවයි. මාක්ස් ඉදිරිපත් කලේ ද්‍රව්‍යවාදයක්/ භෞතිකවාදයක් ලෙස රුසියානු මාක්ස්වාදීන් සහ වාමාංශිකයින් තේරුම් ගෙන ඇති ආකාරයටම තමලුද මාක්ස්ව තේරුම් ගෙන ඇති බව අප අපගේ ලිපියෙන් පැහැදිලිව පෙන්වාදී ඇත. මාක්ස්ගේ සමස්තය නොගෙන දැනුමකින් පණ්ඩිතමානී ලෙස මාක්ස්ව හදාරන්න ප්‍රවේශ වූ බොහෝ අය මාක්ස්ව තේරුම් ගන්නේම රුසියානු අර්තයෙනි. තමලුට දිගින් දිගටම මාක්ස්ගේ කෘති කියවමින් ඒවා පරිවර්තනය කරමින්, භාෂාවන් ඉගෙන ගනිමින් ඔහුගේ කාලය වැය කිරීමට සිදුවී ඇත්තේ අපගේ මෙම හෙළිදරව්ව හේතුවෙනි. මන්ද ඔහු රුසියානු අර්තයෙන් මාක්ස්ව අවබෝධ කරමින් පොතක් ලියා ඇත. එය දැන් ලියා අවසන්ය. එය රුසියානු අර්තයෙන් නොව හරියටම මාක්ස්ව කියවා ගත්තේ මම මගේ පොත තුලින්‍ ය යන්න ඔප්පු කිරීමේ ඊගෝවක දැං තමලු හිරවී අවසන්‍ ය. එය ඔප්පු කිරීමට මේ පිළිතුරු ලිපියත් සමග තවත් බොහෝ ලෙස මහන්සි වීමට තමලුට සිදුවේ. කීමට ඇත්තේ කොපමන එය ඔප්පු කිරීමට වෙහෙසුනද, අවසානයේ ඔබට පිළිගැනීමට යමක් ඉතිරි වන බවයි. 

  6) . 

  තමලු :- 

  අලුත් ගොඩනැංවීමක් නොමැතිව යමක් විවේචනය කළ නො හැකි ය යන්න ම වැරදි ය. 

  EWO :- 

 මින් තමලු පවසන්නේ ආර්ථිකය හෝ වෙනත් යම් දෙයක් හෝ සම්බන්ඳයෙන් ගොඩනගන ලද යමක් නොමැතිව විවේචනය කල හැකි බවයි. එලෙස විවේචනය කිරීමෙන් ඔහුව ලිබරල් වාදියෙක් ලෙස නම් කල නොහැකි බවයි. 

  අප තමලුගෙන් ෆේස්බුක් සංවාදයේදී විමසුවේ මෙසේය. 

  //Pkd Premathelake 

Thamalu Maliththa Piyadigama 

මාක්ස්ගේ වටිනාකම පිළිබද ශ්‍රම න්‍යාය (තාවකාලිකව)වැරදියි කියමුකෝ. උඹ ඕක වැරදියි කියනවානේ. දැං හරි එක මොකක්ද? 

February 9 at 6.15pm// 

  //Thamalu Maliththa Piyadigama 

මම නම් “හරි ප්‍රවාදයක්” යෝජනා කරන්නේ නෑ.. මං කියන්නේ ඕවට තියෙන්නේ රටා මිස ඒවා පාලනය කරන සැඟවුණු මූලධර්ම නෙමෙයි කියන එක. 

February 9 at 6.49 pm// 

  මේ අප විමසූ පැනයකට තමලු පිළිතුරු දෙන ආකාරයයි. අපගේ ලිපියේ මාක්ස් අලුතින් ආර්ථික විද්‍යාවක් ගොඩනැගුවේ නැත යන අපගේ අදහස ගෙන තමලු පවසන්නේ මාක්ස් ගැන අපට එසේ පැවසිය හැකිනම් තමලුට ගොඩනගන ලද යමක් නොමැතිව මාක්ස්ව විවේචනය කල හැකි බවයි. එබැවින් ඔහුව ලිබරල් වාදියෙක් ලෙස නම් කල නොහැකි බවයි. 

  තමලුට අපට පැවසීමට ඇත්තේ මාක්ස් ආර්ථික විද්‍යාවක් ගොඩ නොනැගූ මුත් මාක්ස් කොමියුනිස්ට් නැමැති දේශපාලන අදහසක් ගොඩනගා ඇති බවයි. තමලු මෙපමණ ලෝකයේ මාක්ස්ව විවේචනය කල සියල්ලන්ගේ පොත් පීරමින් කරන්නට උත්සහ කරන්නේම එම මාක්ස්ගේ යෝජනාව වැඩකට නැති එකක් බව ඔප්පු කිරීමටය. මින් තමලුම මාක්ස්ට යෝජනාවක් ඇත යන්න පිළිගනියි. එහෙත් තමලුට එවැන්නක් නැත. එම නිසාම තමලු මාක්ස්ගේ කොමියුනිසම් අභියොගයට ලක් කරනේ දැනට ඔහු දන්නා එකෙනි. එම දන්නා එක කුමක්ද? ඔහුගේ පොත පුරාවට ඔහු කරන්නේ සංසන්දනයකි. එසේ සංසන්දනය කරනේ ඩේවිට් රිකාඩෝ,ඇඩම් ස්මිත්, කෙන්ස්, මිලර් වැන්නන්ගේ ඉදිරිපත් කිරීම් සමගය. එනම්, ලිබරල් ගොඩනැංවීම් වලට අනුවය. මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් නිශේධනය කරන්නේ කුමකට අනුවද යන්න අප නැවත විමසමු. පරස්පර පවතින්නේ ප්‍රවාද වල බවත් පරස්පර සහිත ප්‍රවාද වෙනුවට පරස්පර රහිත ප්‍රවාද ගොඩනැගීමෙන් ගැටලුව විසදෙන බවත් යන රිකාඩෝගේ යෝජනාව අනුව යමින් තමලු යෝජනා කරන්නේ මාක්ස් කල යුතුව තිබුනේ එය පිළිගෙන එයට අදාලව ඔහුගේ මතය ඉදිරිපත් කිරීම බවයි. තමලු පුන පුනා පවසන්නේ එයයි. මෙය ලිබරල් ප්‍රවේශය නොවේද? 

  අනෙක් කාරණය වන්නේ අප තමලු ලිබරල් ආත්මයකි යනුවෙන් පවසන්නේ එපමණකින්ම නොවේ. ඔහුගේ ආත්මය ලිබරල් නිසාවෙනි. ආත්මය ගොඩනැගෙන්නේ හැගවුම්කාරක පද්දතියට ඇතුල් වීමෙනි. එනම් භාෂාව අපට හමුවන ආකාරය අනුවයි. එනම් අර්ත සහිත උවත්, අර්ත රහිත උවත් නැතිනම් සවිඥානික ව වුවත් අවිඥානිකව වුවත් අපි කතා කරනේ භාෂාව තුලිනි. වෙනත් ආකාරයකින් පවසතොත් අපේ සවිඥානය සහ අවිඥානය යන දෙකම සැකසී තිබෙන්නේ භාෂාව අප වෙත පැමිණ ඇති ආකාරය අනුවය. මෙම අවිඥානය සායනිකව මෙන්ම සාමන්‍ය ජීවිතයේදීද ( සිහින , කටවැරදීම්, අමතක වීම්, විහිළු) ප්‍රකාශමාන වෙයි. අවිඥානය “අවරෝධනය”  ( Repression) සමග බැදී පවතියි. අප තමලුගේ සමස්තය ක්‍රියාවන්හී අවරෝධනය ලිබරල් යන්න ප්‍රකාශ කලෙමු. ( ආත්මය, අවිඥානය, අවරෝධනය ආදිය වෙනම කතා කල යුතුය) මින් අපගේ අවරෝධනයද ලිබරල් නොවේයැයි නොකියමු. අපගේ අවරොධනයද ලිබරල්‍ ය. එහෙත් අපගේ ආත්මය දිසානත වන්නේ ආත්මීය විපරිවර්තනයකින් විමුක්තිය දෙසටය. එනම් මෙම ධනවාදය හෝ ලිබරල් ආත්මය මෙලෙසම පවතිද්දී අනුභූතිකව කරන දේවල් ( ලිබරල් සහ වාමාංශික ) දේශපාලනය යැයි අප නොසිතමු. අප දේශපාලනය ලෙස හදුනා ගන්නේ මෙම ආත්මීය විපරිවර්තනයයි. එය පටන්ගත යුත්තේ තමා තුලිණ් මෙන්ම සාමූහිකවය. එම නිසා අප පවසන්නේ ධනවාදය ඇත්තේ අප තුල මිස අපෙන් එලියේ නොවන බවයි. එහෙත්, තමලු මේ පොත තුලින් උත්සුක වන්නේ පවතින ධනවාදී පැවැත්ම විවේචනය කිරීම වෙනුවට එය කුමන අර්තයෙන් හෝ විවේචනය කල මාක්ස්ව වැරදිකරුවෙක් කර නිශේධනය කිරීමටය. එය කල පසුව ඉතිරිවන්නේ කුමක්ද? ධනවාදය නොවේද? එය ලිබරල්‍ නොවන්නටනම් තමලු එයට විරුද්ධ කතිකාවක් ගෙන ආ යුතුය. ඔහු එවැන්නක් ඉදිරිපත් නොකරන බව පවසයි. එම අර්තයෙන් අප තමලු ලිබරල් ආත්මයක් ලෙස නම් කලෙමු. 

  මේ අර්තයෙන් ගත් කල මාක්ස්ගේ ධනවාදයට ඇති විවේචනය සහ දේශපාලනික ප්‍රවේශය නිදහසයි. මිනිස් විමුක්තියයි.  ( Species – being) ( මේ ගැන වෙනම කතා කල යුතුය) එය කිසි ලෙසකින් හෝ ආර්ථික විද්‍යාවක් නොවේ. එය පවතින ආර්ථික කතිකාවක් සමග සංසන්දනය කිරීමම උද්දච්ච පන්ඩිතමානී ක්‍රියාවකි. එසේ සංසන්දනය කල හැක්කේ ලිබරල් කතිකාව පිලිගන්නා ආත්මයකට පමණි. එනයින් තමලු ලිබරල් ආත්මයකි. එනිසා මාක්ස් ආර්ථික විද්‍යාදරයකු සේ හෝ නොඑසේ විවේචනය කල එතෙක් මෙතෙක් සියල්ලන් වැටෙනුයේ තමලුගේම ගොඩටය. එමෙන්ම මිනිසුන්ගේ පැවැත්මේ පරස්පරය විසින් ගොඩනගාගන්න ප්‍රවාද නිරන්තරයෙන්ම පරස්පර වේ. දැනුම, සියලු විද්‍යාවන්, ප්‍රවාද කාලයෙන් කාලයට වෙනස් වන්නේම මෙම පරස්පරය නිසාය. එබැවින් කලින් පැවති පරස්පර වෙනස් කල පසු එම කලින් පැවති පරස්පරම මතුවන්නේ නැත. ඒ වෙනුවට අලුත් පරස්පර මතුවන අතර පැවැති පරස්පරයන්ට වැඩි ප්‍රමාණයකින් නව පරස්පර තුල ගැටළු මතුවේ. මෙය වලක්වාගත නොහැකිය. 

  තමලුගේ තක්කඩි කම යනු මාක්ස්ගේ සමස්ත දේශපාලන යෝජනාව නොගෙන ඔහුව ලිබරල් ආර්ථික විද්‍යාව සමග සංසන්දනය කරමින් ඔහු ආර්ථික විද්‍යාවක් ඉදිරිත් කලේ නැත යන්න පවසමින් ඔහුගේ දේශපාලන ඉදිරිපත් කිරීමද බැහැර කල යුතුයැයි විවේචනාත්මකව තහවුරු කිරීමට යෑමයි. එය අපගේ අර්තය නොවේ යන්නෙන් අදහස් කරන්නේ අප මාක්ස්ගේ දේශපාලන උවමනාව විශ්ලේෂණීය අර්තයෙන් පිළිගනිමිණි. එලෙස ගත් කල තමලු නිකම්ම තක්කඩියෙක් නොව අමු තකඩියෙකි. ඒ බව නැවතත් පසක් කරන්නෙමු. 

  7) . 

  තමලු :- 

  “ධනවදී ආර්ථික මොඩලයද ක්‍රියාත්මක වන්නේ එම පරස්පරය තුලයි. එම පරස්පරය සමනය කල නොහැකිය” මේ කතා කරන්නේ එම පරස්පර ගැන නොව රිකාඩෝ කියූ පරස්පර ගැන ය. 

  EWO:- 

  තමලු පරස්පර ගැන පවසන්නේ රිකාඩෝගේ පරස්පර නම් මාක්ස්ව එතනට ඇදලා ගත්තේ ඇයි. රිකාඩෝගේ පරස්පර වෙනම පැහැදිලි කර එම පරස්පර වලට අදාලව පසුව පැමිණි ප්‍රවාද ගැන සහ රිකාඩෝගේ පරස්පර වෙනස් වී ආර්තිකය ගමන් ගත් ආකාරය පැහැදිලි කිරීමට තිබිණි. මෙතන ගැටලුව ඇත්තේ තමලු මේ පොත තුලින් රිකාඩෝගේ පරස්පරයක් කීමට උත්සහා කලාද යන්නයි. තමලු සම්පූර්ණ ලෙස පොත යොදාගන්නේ මාක්ස්ගේ දාස් කපිටාල් විවේචනය කිරීමට සහ නිශේධනය කිරීමටය. එසේ තම පොත යොදාගත් තමලු දැන් රිකාඩෝගේ පරස්පර යැයි පවසමින් ඇඟ බේරා ගැනීමට තැත් කරයි. අපට පෙනීයන්නේ ඇත්තටම තමලුට මේ වන විට සියල්ල පැටලී ඇති බවකි. ඔහු පොත ලියා එලිදැක්වූ අරමුණද ඔහුට පටලැවී තැන තැන නන්දොඩවන තත්වයකට පැමිණ ඇත. තමලුට අපට පැවසීමට ඇත්තේ සිහි එලවා ගනිමින් අපගේ විවේචන ගැන සැලකිලිමත් වී නැවත නිදහසේ ඔබේ පොත කියවන ලෙසයි. එය ඔබ පාඨකයකු ලෙස කියවන්නේනම් ඔබට මේ අපගේ විවේචන පෙනෙනු ඇත. එසේ නොමැතිව මම ඕක නෙවෙයි කිව්වේ මේකයි, මේකත් නෙවෙයි කිව්වේ අරකයි කියමින් යන යන තැන විවිධ කරුණු කීවද ඔබ පොත එලිදක්වා ඇති හෙයින් ඒවා නිවරදි කල නොහැකිය. සිදුකරන විවේචන ගැන කල්පනා කර කතන්දර කිව හැකි උවත් එම පැහැදිලි කිරීම පොතට අදාල නැත. ඒ ගැන අවබොධයකට පැමිණිය හැකිනම් වැදගත් වන්නේ එයයි. 

8) . 

  තමලු :- 

  මේ ඔවුන්ගේ මාක්ස්ගේ යෙදුමක් පරිවර්තනයකි. ඔවුන්ය අනුව මට එය හමු වී නැත. මේ කොටස දස් කපිටාල් හි ප්‍රසිද්ධතම කොටසකි. එය හමු නොවූවා යන්න ම විහිළුවකි. 

  (ඔවුන්ගේ මේ පරිවර්තයයේ අවුල් තැන් ඇත.) 

  ඔවුන්ගේ ලිපියෙන් පහත උපුටා ගැනීම බලන්න. 

  EWO :- 

  මෙහිදී තමලු අපට දි ඇති පිළිතුරු තුල ඇති කාරනයක් වන්නේ දස් කපිටාල් පළමු වෙළුමෙහි දෙවන ජර්මන් සංස්කරණයෙහී අප උපුටා දැක්වූ කොටසයි. අප විමසන්නේ යමෙකු එම කොටස දුටුවේනම් මාක්ස් ගැන එවැනි කතාවක් ගෙතීමට නොහැකි යැයි අප හිතන නිසාය. තමලු එම අපගේ පරිවර්තනය වැරදි යැයි පවසන අතර කලින් ඔහු එය දුටු බවද පවසයි. මුලින්ම කිව යුතු වන්නේ දස් කපිටාල් අප දන්නා පරිදි සිංහලට පරිවර්තනය කර ඇත්තේ ජයතිලක ද සිල්වායි. අප එම උපුටනය ලබාගන්නේ ඔහුගේ සිංහල පරිවර්තනයෙන් මිස අප පරිවර්තනය කල එකකින් නොවේ. එහි පරිවර්තනය වැරදියි ලෙස පවසන තමලු, ( ජර්මන් භාෂාව සිංහලට පරිවර්තනය කිරීමේදී ජයතිලක ද සිල්වා වැරදි ලෙස පරිවර්තනය කර ඇත්නම්, තමලු ෆොයාබග් තිසීස් පරිවර්තනය කලා වගේ ඔහුට අනුව නිවැරදිම පරිවර්තනය කල යුතුය. ඒ ගැන සැලකිලිමත් වීමට අප සූදානම් බව පැවසිය යුතුය) වැරදි කොටස ලෙස පෙන්වන්නේ ideal යනු පරමාදර්ශය ද යන්න විමසමිනි. අපට අනුවත් ජයතිලක ද සිල්වාට අනුවත් එහි තේරුම පරමාදර්ශය යන්න වන අතර ඊට වෙනස් අදහසක් තමලු ඉදිරිපත් කර නැත. කෙසේ වෙතත් එය අපගේ මූලික දේශපාලනය අදහසට බාධාවක් කරන්නක් නොවන අතර එය තාක්ෂණික ගැටලුවකි. මෙම පිළිතුරු ලිපියේ එල්ලෙන්න තැන් නැතිව තමලු බොහෝවිට තාක්ෂණික කාරනා වල එල්ලීම යනු ඔහුගේ  දේශපාලන දැක්මෙහි ගැටලුවකි. 

  කෙසේ වෙතත් මෙම ජර්මන් දෙවන සංස්කරණයේ අප ගෙනහැර දැක්වූ කොටස සෝවියට් මාක්ස්වාදීන්ද, සමාජවාදීන්ද, වාමාංශිකයින්ද වරදවා තේරුම් ගෙන ඇති බවයි අපගේ වැටහීම. නැවතත් තමලු එය පැහැදිලි කිරීමට ගොස් ඉහත කණ්ඩායම් ඝනයටම වැටී ඇති බවක් පනේ. අප තමලුගේ පිළිතුරු ලිපියෙහි තමලුව සෝවියට් මාක්ස්වාදීන්ගේ ගොඩට දමා ඇත්තේ එබැවිනි. ඒ තමලු පැහැදිලිවම මාක්ස්ව තේරුම් ගෙන ඇත්තේ එම සෝවියට් කණ්ඩායම් තේරුම් ගත් ආකාරයටම නිසාය. එය මුල් ලිපියෙහි අපි තමලුගේ පොතෙහි උදෘත සහිතව පෙන්වා දී ඇතත් නැවත මේ ජර්මන් සංස්කරණය සදහා පෙරවදනෙහි අප උදෘත කර ඇති කොටස විග්‍රහ කරන්නට ගොස් වඩා හොදින් තමලු පෙන්වා දී ඇත. ඒ මෙසේය. 

  // Ideal පරමාදර්ශය ලෙස පරිවර්තනය කිරීම නිවැරදි ද? Exit way out කණ්ඩායමට අනුව ඇත්තේ මිනිසුන් ගොඩනැඟූ ලෝකයකි. එහෙත් ඔවුන්ගේ මාක්ස් පරිවර්තනයට අනුව නම් ද්‍රව්‍යමය ලෝකයක් ඇති අතර එය පරාවර්තනය වනවා පමණි. පරිකල්පනය නොකළ ද්‍රව්‍ය හරහා චින්තතනය ලැබෙන ගුණ ආදී පටලැවිලි වාක්‍ය පැත්තකින් තියමු. පරිකල්පනය නොකර පවතින ද්‍රව්‍ය පවතී ද? එසේ නම් ඒ බව දන්නේ කෙසේ ද? මේවාට Exit way out කණ්ඩායමට උත්තර තිබේ ද? // 

  මෙය එම කොටස අනෙක් පැත්තට කියවීමකි. සෝවියට් මාක්ස්වාදීන් ද කර ඇත්තේ තමලු කරන වරදමය. එනයින් මේ දෙගොල්ලොම මාක්ස්ව ද්‍රව්‍යවදී තැනක ස්තානගත කරයි. එම ස්තානගත කිරීමට අනුව ගෙනඑන සියලු  ඉදිරිපත් කිරීම් ව්‍යාකූල වී ඇති බව පෙනෙන්නෙට ඇත. තමලුට වී ඇත්තේද එයයි. අපට අනුව සරළව මෙහි මාක්ස් පවසන්නේ ඔහුගේ දයලෙත්තික විධික්‍රමය හෙහේලියානු විධික්‍රමයෙන් වෙනස් වන බවත් එයට සෘජුව විරෝදී බවත්‍ ය. එය මෙසේ පැහැදිලි කරයි. හෙගල්ට අනුව සැබෑ ලෝකය යනු මානව මොළයෙහි ජීව ක්‍රියාවලිය ( ජීව ක්‍රියාවලිය කී පමණින් එය මොළයට ජීව විද්‍යාතමකව ලැබුන නෛසර්ගික ගුනයක් හඟවයි) නැතහොත් චින්තන ක්‍රියාවලිය ( සිතීමේ ක්‍රියාවලිය, ඉහත මොළයේ නෛසර්ගික ගුණය හේතුවෙන් මෙම සිතීමේ හැකියාව ලැබී ඇත) හේතුවෙන් ගොඩනගන ලද විශ්මකර්මයකි. හෙගල් අදහස යන නාමය යටතේ චින්තනය ස්වාධීන වස්තුවක් බවට පවා පත්කරයි. එවිට ඔහුට සැබෑ ලෝකය ( ද්‍රව්‍යමය ලෝකය) “අදහසෙහි” බාහිර ප්‍රපංචමය ස්වරූපයකි. මෙය තවත් සරලව දක්වන්නේ නම්, හෙගල්ට අනුව ද්‍රව්‍යමය ලෝකය කියන්නේ මිනිස් මොළයේ සුවිශේෂී හැකියාවක් මගින් හදුනාගන්නා ලද්දක් බවයි. එයට අප සහජඥානය ලෙස දක්වා ඇත. 

  හෙගල්ගේ එම හදුනාගැනීම නිවැරදිනම්, මිනිසුන්ට ව්‍යවහාරයක් අවශ්‍ය වන්නේ නැත. මොළයේ සුවිශේෂී ගුණය මගින් නිර්මාණය කරන ද්‍රව්‍යමය ලෝකයේ සියල්ල සැනින් හදුනා ගත හැකිවිය යුතුය. මන්ද ඒ සියල්ල ඥාණනය වන්නේ මොළය මගින් බැවිනි. එවිට වස්තුවෙහී සියලු ආකාරයන්, එහි සංඝටක, රසායනික, භෞතික, ජීව විද්‍යාතමක ගුණයන්, විද්‍යාව විසින් ගෙනෙන ඉලෙක්ට්‍රෝණ, ප්‍රෝටෝණ ක්‍රියාකාරීත්වය පවා ( අප එලෙස පවතිනවා යැයි විද්‍යාවෙහි සදහන් ගුණයන් පිළි ගන්නේ නැත) මොළයේ මෙම සුවිශේෂී ගුණය හේතුවෙන් දත යුතුය. එහෙත් අප පැහැදිලිව ප්‍රත්‍යක්ෂව දන්නා දේනම් අප වස්තූන් සමග කරන ව්‍යවහාරික ක්‍රියාකාරකම් මගින් ක්‍රමක් ක්‍රමයෙන් එම වස්තූන්ට අදාලව ගුණයන් නිර්මාණය කරන බවයි. එය සිදුවන්නේ ඉන්ද්‍රීයමූලික ක්‍රියාකාරකම් තුලින් වයවහාරය තුලින් සහ ආත්මීයවය. ආත්මය සැකසෙන්නේ භාෂාව සම්බන්ධ වීමත් සමගය. එනම් භාෂාව අදාල වස්තුව අර්තවත් කරගැනීමට මූලාරම්භයක් සැපයයි. ගුණයන් යනු මිනිසා විසින් වස්තුවට ලබාදෙන ගුණයන් මිස එහිම වූ නෛසර්ගික ගුණයන් නැත. එය ආත්මීය ක්‍රියාවලියකි. 

  මේ ආකාරයෙන් ගත් කල මාක්ස් එම පෙරවදනෙහි ඉදිරිපත් කරන ආකාරය අපට අනුව සහ අපගේ දේශපාලන කතිකාවට අදාලවන ලෙස ගතහොත් අපට හැගීයන්නේ ( මෙමගින් අප මාක්ස්ව අපගේ දේශපාලන කතිකාවට ඇතුලත් කොට ඔහු වැරදි ලෙස අර්තවත් කල කරුණු නිවරදි කිරීමක් සිදු නොකරන අතර මාක්ස්ව විශ්ලේශනය කිරීමේදී අප දකින ඔහුගේ පරස්පර අදහස් දැක්වීම් බැහැර කරන්නේ නැත.) හෙගල්ට ඉදුරා වෙනස්ව ඔහුට පරමාදර්ශය වූ සැබෑ ලෝකය යනු වෙන කිසිවක් නොව මානව මනැස තුල පරාවර්තනය වූ චින්තන ස්වරූපය බවට පරිවර්තනය වූ ද්‍රව්‍යමය ලෝකයම ය. [මෙය අප තේරුම් ගන්නේ ඉන්ද්‍රීයගෝචර දෙය ( කුමක් හෝ භෞතිකය) චින්තන ක්‍රියාවලියක් බවට පත්වීමෙන් අනතුරුව ගොඩනගන ලද ද්‍රවයමය ලෝකය ලෙස ය.] මින් මාක්ස් පවසන්නේ ඔහුට පරමාදර්ශය වන්නේ චින්තන ස්වරූපය බවට පරිවර්තනය වූ ද්‍රව්‍යමය ලෝකයක් ගැනය. එනම් අපට හැගෙන පරිදි පෙනෙන රූප, ඇසෙන ශබ්ද, දැනෙන ගන්ද, රසයන්, ක්‍රියාකාරකම්, වස්තු හදුනාගනු ලබන්නේ චින්තන ස්වරූපය මගින්, එනම් , මින් කියැවෙන්නේ එය චින්තන ස්වරූපය මගින් ගොඩනගන අර්තයන් මගින් බවයි. එම අර්තයන් විසින් මනැස තුල පරිවර්තනය වී පරාවර්තනය වන්නේ එලෙස ගොඩනගන ද්‍රව්‍යමය ලෝකය ම බවයි. එසේ නොමැතිව හෙගල්ට අනුව මොළයෙහි විශේෂ ගුණයක් නිසා ද්‍රව්‍ය පවතිනවාය යන්න නොවේ. එය අප විශේෂයෙන් පවසන්නේ මාක්ස් චින්තන ස්වරූපය බවට පරිවර්තනය වූ යන කොටස විශේෂයෙන් ඇතුලත් කර ඇති නිසාය. එවිට තමලු අපගෙන් පරිකල්පනය නොකර පවතින ද්‍රව්‍ය පවතී ද? එසේ නම් ඒ බව දන්නේ කෙසේ ද? වැනි කාරනා විමසීම විහිලු සහගතය. 

  අනෙක් අතට අප මෙම ඉදිරිපත් කිරීම ෆොයාබග් තිසීස සමග සම්බන්ද කර බලන ලෙස දක්වන්නේ මෙම පටලවා ගැනීම සිදු කරන බව දන්නා බැවිනි. මෙහි මනසින් පරිභාහිරව ද්‍රව්‍ය පවතින්නේ යැයි මාක්ස් පවසන්නේනම්, ෆොයාබක් තිසීස වල ෆොයාබග් ඇතුලු සියලු භෞතිකවාදීන්ගේ මූලික වරද වන්නේ දෙය හා යථාර්තය ඉන්ද්‍රීයගෝචරත්වය සංකල්පගත වී ඇත්තේ ඉන්ද්‍රීයමූලික ක්‍රියාකාරීත්වය ලෙස, ව්‍යවහාරික ලෙස, ආත්මීය ලෙස යන්න මගහැර ඇති බැවින් යන්න නොකියනු ඇත. එම නිසා නැවත අදාල උදෘතය තමලු කියවිය යුතුය. 

 9) .

අවසන් කොටස ඉතාමත් විහිළු සහගතය. තමලු පොතෙහි තැන් ගනනාවක පවසනේ මාක්ස් ආර්ථික දේශපාලනය පැහැදිලි කිරීමට එංගල්ස්ගේ ස්වභාවධර්මයේ අපෝහොකය බාවිතා කල බවයි. නමුත් පිළිතුරු ලිපියෙහි ඔහු පවසන්නේ දයලෙත්තිකය සම්බන්දයෙන් මාක්ස් පැහැදිලිව කිසිම තැනක දක්වා නැත යන්නයි. තමලු දර්ශනයේ දරිද්‍රතාවය හී සටහනක් ගෙන එමින් මාක්ස් දයලෙත්තිකය ගැන පවසන ආකාරයක් දැක්වුවද එය ඊට කිසිම සම්බන්දයක් නොමැත. එසේනම් තමලුම ඔප්පුකර සිටින්නේ මාක්ස් තමාගේ දයලෙත්තිලය මේ යැයි පවසා නොමැත යන්නනම් තමලු එංගල්ස්ගේ අපෝහකය තුලින් දේශපාලන ආර්ථික විග්‍රහ කර ඇතැයි පවසන්නේ කෙසේද? 

එය තමලුගේ හිතලුවකි. 

  එමෙන්ම මාක්ස් දාස් කපිටාල් හී දෙවන ජර්මන් සංස්කරණයෙහි පසුවදන යන්නෙහි එක් ස්තානයක එම්. බ්ලොක් විසින් මාක්ස්ගේ දයලෙත්තිකය ගැන මෙසේ කියයි ගන්නෙන්ද, හෙගේලියානු දයලෙත්තිකය විවේචනය කරන කොසෙහි මාගේ දයලෙත්තික විධික්‍රමය ලෙස පටන් ගන්නේමත්, ෆොයාබග් තිසීස වල ෆොයාබග්ගේ දයලෙත්තිකය විවේචනය කරන්නේත් මාක්ස්ට දයලෙත්තිකය ගැන ඉතා පැහැදිලි අදහසක් තිබූ නිසාය. එය නිශ්චිතව එංගල්ස්ගේ අපෝහකය නොවේ. මන්ද එංගල්ස් සොබාදහමේ දයලෙත්තිකය 1873 සිට 1886 දක්වා කාලය තුල ලියා ඉදිරිපත් කල එකකි. එහෙත් මාක්ස් හෙගේලියානු දයලෙත්තිකයේ ගුඪකාරක පාර්ශවය විවේචනය කරන ලද්දේ දැනට වසර 30 කට ආසන්න කාලයකට ඉහතදී බව දෙවන ජර්මන් සංස්කරණයෙහි පසුවදනෙහි සදහන් කරයි. එම පසුවදන මාක්ස් ලියන ලද්දේ. 1873 ජනවාරි 24 ලන්ඩන්හීදීය. එනම් එම විවේචනය හෙගේලියානු දයලෙත්තිකයට මාක්ස් කර ඇත්තේ 1843 ට ආසන්න කාලයකදීය. එසෙනම් මින් පැහැදිලි වන්නේ එංගල්ස්ගේ සොබාදහමේ දයලෙත්තිකය ඉදිරිපත් කිරීමට වසර 30 කට ප්‍රතමව මාක්ස්ට දයලෙත්තිකය සම්බන්ද අදහස තිබී ඇති බවයි. 

  එසේනම් මාක්ස් දයලෙත්තිකය ලෙස ගෙන එන්නේම හෙගේලියානු දයලෙත්තිකය විවේචනය කිරීමේ ආකාරය සහ ෆොයාබක් දයලෙත්තිකය විවේචනය කිරීමේ ආකාරයයි. එය තමලුට නිශ්චිත නැතත් අපට දෙවන ජරමන් සස්කරණයෙහි පසුවදන කොටසේ මාගේ දයලෙත්තික විධික්‍රමය ලෙසත් සමස්ත ෆොයාබග් තිසීස පුරාවටත් ගෙන එන්නේම මාක්ස්ගේ දයලෙත්තිකයයි. කනගාටුවට කරුන තමලුට මෙය නොවැටහීමයි. මාක්ස්ගේ දයලෙත්තිකය සම්බන්දව වෙනම කතාකිරීමට අවශය වන අතර එය රුසියානු මාක්ස්වාදීන්ට මෙන්ම එම විග්‍රහය තුලින්ම මාක්ස්ව හදුනාගන්නා තමලුටද ප්‍රයෝජනවත් වනු ඇත. 

  අවසානව තමලුගේ මෙම පොත පුරාවට මාක්ස් ඉදිරිපත් කලායැයි ඔහු පවසන්නේ ඔහුගේ හිතලුය. ඇත්තෙන්ම තමලුට මාක්ස්ව හදුනාගැනීමට තබා මාක්ස්ගේ ලේඛනයන් කියවා අවබෝධ  කරගැනීමටද නොහැකි වී ඇති බව අපට පෙනී යන දෙයකි. මාක්ස්ගේ මූලික ඉදිරිපත් කිරීම් වරදවා හදුනාගන්න තමලු සමස්ත පොතම එම වැරදි හදුනා ගැනීම තුල සිටිමින් ගෙන ඒම තුල සිදු වී ඇත්තේ රුසියානු මාක්ස්වාදීන්ටද එල්ල කල යුතු විවේචනය එල්ල කර නැති වීමයි. මාක්ස් ආර්ථික විද්‍යාවක් නැතහොත් භෞතිකවාදයක් ඉදිරිපත් කලේය යන්න පවසන රුසියානු මාක්ස්වාදීන් හෝ වාමාංශිකයින් මෙම පොත සහ මාක්ස්ගේ දාස් කපිටාල් උවමනාවෙන් කියවූවේනම් තමලු දාස් කපිටාල්හී කරුණු අවබෝධයෙන් තොරව සහ විකෘති සහගතව ඉදිරිපත් කර ඇද්දැයි යන්න වැටහෙනු ඇත. අවාසනාවට කරුන ඔවුන් එවානි කියවීමකට ප්‍රවේශ නොවීමයි. අපගේ කාර්‍යභාරය වන්නේ එය නොවන බැවින් මින් ඉදිරියට තමලුගේ පොතේහී අපට කතා කිරීමට යමක් නොමැති බව දක්වා සිටිමු. එය විකාර සහගත ලියවිල්ලකි. වචන පාවිච්චි කර කෙසේ හෝ මාක්ස්ව විවේචනය කිරීමට දරන ලද පන්ඩිතමානී උත්සහයකි. 

  ෆොයාබාහ් තිසීස බාගෙට ලියා ඇතිබව තමලු කියා ඇත.තමලු විසින්ම ෆොයාබාහ් තිසීස පරිවර්තනය කර ඇති බැවින් එහි බාගෙට ලියා ඇති ඒවා පෙන්වා දිය හැකි විය යුතුය.තමලුගේ පරිවර්තනය නම් බාගෙට නොව සර්වසම්පූරණ බව ඔහු පවසයි. මෙම පරිකර්තනයෙන් පෙනී යන්නේම අප ෆොයාබග් තිසීස් හී මාක්ස්ගේ දයලෙත්තිකය සදහන් වන්නේය යන්න ඔහුට බලපා ඇති ආකාරයයි. තමලුට මේ කතාවේ දිගටම යන්නේනම් තව කෘති පරිවර්තනය කරමින් විශාල මහන්සියක් වීමට සිදුවේ. 

පී. කේ. ඩී. ප්‍රේමතිලක