කාබනික පොහොර, රසායනික පොහොර සහ විපරීත පොළොව

කාබනික පොහොර, රසායනික පොහොර සහ විපරීත පොළොව

ආණ්ඩුව විසින් රසායනික පොහොර තහනමක් ගැන අදහස ගෙන ආ වෙලාවේ සිට කාබනිකවාදීන් හා රසායනිකවාදීන් දෙපිළකට බෙදී තර්ක විතර්ක ඉදිරිපත් කරමින් සිටිති. ඇත්තටම පොහොර කියන්නේ මොනවද? අපි දැන් පාවිච්චි කරන අර්ථයෙන් ගත්තොත් නං “පොහොර” කියන්නේම නූතනත්වයේ සහ ධනවාදයේ නිෂ්පාදනයක්. දැන් තියෙන පොහොර භාවිතවල ඉතිහාසය සාපේක්ෂව ගත්තම මෑතකාලින වන අතර එහි ඉතිහාසය දිව යන්නේ යම්තම් විසිවෙනි සියවසේ අන්තිම භාගය දක්වා පමණයි. රසායනික පොහොර සම්බන්ධයෙන් ගත්තොත් බොහෝ රසායනික පොහොරවල මූලික සංරචක වන ඇමෝනියා සහ නයිට්‍රික් ඇසිඩ් නිපදවීමට 20 වැනි සියවසේ මුල හැකියාව තිබුණත් 20 වෙනි සියවසේ මැද භාගය වන තුරුත් රසායනික පොහොර භාවිතය සීමිත විය.
අතීතයේ පස සාරවත් කිරීමට ප්‍රධාන වශයෙන් යොදා ගන්නා ලද්දේ ගොම වැනි සත්ව වසුරුය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පුරාඋද්භිදවිද්‍යාඥවරියක වන ඇමී බොගාර්ඩ් ඇතුළු පර්යේෂක කණ්ඩායමක් යුරෝපය පුරා අතීත ගොවිබිම් 13කින් තිරිඟු සහ බාර්ලි වැනි ධාන්‍ය වර්ගවල සහ පරිප්පු වැනි මාංශ භෝගවල අවුරුදු 4400 සිට අවුරුදු 7900 දක්වා පරණ සාම්පල පරීක්ෂා කිරීමෙන් සොයාගන්නා ලද්දේ ඒවායේ නයිට්‍රජන්-15 සාමාන්‍ය මට්ටම ඉක්මවා පවතින බවයි. සාමාන්‍ය මට්ටම ඉක්මවා යන නයිට්‍රජන්-15 සමස්ථානිකයක් පවතින්නේ ගොමවලය. ගොම වැටුණු තැන්වල තණකොළ ආදිය වඩා සරුවට වැවෙන ආකාරය දැකීමෙන් මෙලෙස ගොම පොහොර භාවිතය සිදුවන්නට ඇති බව අනුමාන කළ හැකිය. ගොවිතැන සහ සත්ව පාලනය ආරම්භයේ සිට ම එකට බැඳී පැවතුනු බව ද මෙහිදී සැලකිල්ලට ගත යුතු ය. කෘෂිකර්මය ආරම්භ වීමෙන් පසු අවුරුදු දහස් ගණනක් යන තුරුම මේ අකාරයට මූලිකම පාංශු පෝෂකය ලෙස යොදා ගන්නා ලද්දේ ගොවිපළ සතුන්ගේ වසුරුය. ඇත්ත වශයෙන්ම මෙහිදී සිදුවුණේ අමුතුවෙන් “පොහොර” යෙදීමක් නො වේ. පසෙන් ගත් දේ නැවත පසට ලබා දීමය. ගොවිපළ සතුන්ට කෑමට දෙන ලද්දේ ගොවිපලෙහි ම වවන ලද ධාන්‍ය වැනි දේය. ගොම පොහොර වැනි ආකාරවලින් පොහොර ලෙස නැවත පසට එකතු වූයේ ඒ ගොවි බිමෙහිම සාරයයි. විශේෂම දෙය නම් පිටතින් ගෙනවිත් “පොහොර” යෙදීමක් මෙහි දී සිදු නොවීමයි. ගම්මානවල හෝ අහාර මූලාශ්‍රවලට සමීපව ජිවත් වූ මිනිසුන්ද මූලික වශයෙන් ආහාර ලබා ගත්තේ එම ආසන්න මූලාශ්‍රවලින් වන අතර ඔවුන්ගේ දෛනික “අපද්‍රවයද” ඔවුන් ජිවත් වූ බිමටම එකතු විය. (භූමදානය යනු භූමියට දෙන දානයයි. පොළොවෙන් ලබා ගත් ද්‍රව්‍යයේ සහ ශක්තියේ අවසන් ශේෂයද නැවත පොළොවටම දන් දීමයි) මේ අනුව ඇත්තටම සිදු වූයේ “පොහොර” පිටතින් යෙදීමක් නොව ක්‍රමවත් ප්‍රාදේශීය පෝෂක චක්‍රණයක් ක්‍රියාත්මක වීමයි. කාබනික හෝ රසායනික ලෙස ගොවිබිමෙහි පසට “ආගන්තුක” දෙයක් එකතු කරනු ලැබුවේ නැත.
මේ චක්‍රණය අර්බුදයට යවමින් ගොවිබිමෙහි පසට ආගන්තුක යමක් පොහොර (වෙනත් තැනකින් ගෙනෙන ලද) ලෙස යෙදීම යුරෝපයේ මහා පරිමාණයෙන් ආරම්භ වන්නේ 1800 ගණන්වල පමණ සිටය. යුරෝපය පුරා යුදබිම්වල සහ සිසිලියේ භූගත සුසාන භූමිවල ඇටකටු ගොඩට ගැනුණු අතර කෘෂිකාර්මික බිම් පුරා අතුරනු ලැබුණි. 1840 සහ 1880 අතර වවුල් සහ මුහුදු ලිහිණි වසුරු සහ නයිට්‍රේට් ලුණු ටොන් මිලියන ගණනක් පේරු සහ චිලී රටවලින් මහා බ්‍රිතාන්‍යයට සහ උතුරුදිග ලෝකයේ අනෙකුත් රටවලට නැව්ගත කරන ලදී. මේ කාලයේ දී වඩාත් ම මිල අධික පොහොර වූයේ පේරුවියානු වවුල් වසුරු සහ මුහුදු ලිහිණි වසුරු ය. 1890 ගණන්වල කුඩක් බවට පත් කරන ලද ඊජිප්තුවේ මමි බවට පත්ව තිබූ බළලුන්ගේ සිරුරු පොහොරක් ලෙස බ්‍රිතාන්‍යය තුළ භාවිත කෙරිණ. බ්‍රිතාන්‍යය සෙසු යුරෝපා රටවලින් ඇටකටු ටොන් ගණනින් ආනයනය කළ අතර මහද්වීපයේ සෙසු රටවල සාරවත් බව මංකොල්ල කන බවට විවේචන එල්ල විය.
ඇමෙරිකාව තුළ පොහොර ලෙස යෙදීම සඳහා සත්ව ඇටකටු අවශ්‍යතාව තවදුරටත් පශු නිෂ්පාදනහල්වලට සැපයිය නොහැකි වූ බැවින් බටහිරදිග තණබිම්වල මහා බයිසන් ගව සංහාරයෙන් ශේෂ වුණු බයිසන් ඇටකටු ටොන් දහස් ගණනක් එකතු කර පොහොර ලෙස ගොවිබිම් කරා පටවන ලදී.
එතෙක් ගොවිපළ සතුන්ගේ වසුරු මත පදනම් වූ පාංශු පෝෂක මිනිස් හා සත්ව ඇටකටු සහ වෙනත් පෝෂක වෙත මාරු වීමට ප්‍රධාන වශයෙන් බලපාන ලද්දේ ධනවාදී කෘෂිකර්මාන්තයෙහි වර්ධනය යි. යුරෝපයේ,දී ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය, ගම සහ නගරය අතර බෙදීම, ප්‍රාග්ධන ක්‍රමය සමග බැඳුණු දේපළ අයිතිවාසිකම්, නව කාර්මිකරණ පද්ධති, ලාභය වැඩිකර ගැනීම සඳහා වන පෙළඹීම, සහ නව කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රම සහ භාවිත ආදේශනය මේ සමග බැඳී පැවතුණි. මේ නව වෙනස නිසා මෙතෙක් පැවති ද්‍රව්‍යයයෙහි සහ ශක්තියෙකි චක්‍රණය බිඳවැටුණු අතර ආහාර සහ වෙනත් දෛනික පරිභෝජන පෙර නොවූ අකාරයෙන් දුර බැහැර වෙළඳපොළවල් කරා ප්‍රවාහනය කෙරුණේ ගමේ පසෙහි පෝෂක දුර බැහැර නගර කරා ප්‍රවාහනය කෙරෙමිනි. ඒවායෙහි දී ඒවා නැවත පසට එකතු වනවා වෙනුවට “අපද්‍රව්‍ය” ලෙස බැහැර කරණු ලැබේ. “අපද්‍රවය” නැතහොත් “කසල” යනුද මේ අනුව ධනවාදයේ නිෂ්පාදනයකි. ගොවිබිමෙන් ලබාගත් පෝෂක නැවත එයට එකතු නොවීම නිසා පිටිසරබද පස නිසරු විය. නගරවලට පටවන ලද ආහාර හෝ වෙනත් පරිභෝජන භාණ්ඩවල “අපද්‍රවය” මුහුදට සේදී ගිය අතර නැවත කිසිදා එහි මූලාශ්‍රයට එකතු වූයේ නැත. ඒවා ගබඩා කොට නැවත ගම්බදට යැවීම ලාබදායි නොවීය. පිටතින් “පොහොර” යෙදීමේ අවශ්‍යතාව ඇති වූයේ මේ තත්වය ය යටතේය.
ලෝකයේ එක් කොනක ඇති “පොහොර” අනෙක් කොනේ වගා බිම් වෙත පැටවුණු අතර ඒ පොහොර යොදා වගා කෙරුණු භෝග නගරවලට පටවන ලද්දේ නගරවල “අපද්‍රවය” ගොඩ ගස්සවමිනි. ඒ අපද්‍රවය “බැහැර” කෙරුණු අතර ද්‍රව්‍යයය සහ ශක්තිය ගත් බිමට ඒවා නැවත එක් නොවීය. ඒ නිසා නැවත නැවත පොහොර යෙදීම අවශ්‍ය වූ අතර නැවත “පොහොර” ලෝකයේ වෙනත් කොහේ හෝ තැනකින් ගෙනවිත් වගාවට යෙදීමට සිදුවිය. ද්‍රව්‍යයේ සහ ශක්තියේ චක්‍රණය විපරීත කරමින් එක් අන්තයක පොහොර මූලාශ්‍රයත් අනෙක් අන්තයෙහි අපද්‍රව්‍ය බැහැර කිරීමත් සහිත විවෘත ආරම්භයක් සහ විවෘත අවසානයක් සහිත සරල රේඛීය ක්‍රියාවලියක් නිර්මාණය විය. ප්‍රශ්නය පවතින්නේ මෙතැනය. රසායනික පොහොර භාවිතය ප්‍රචලිත වීමට පෙරම පස විපරීත කිරීම ධනවාදී කෘෂිකර්මාන්තය විසින් සිදු කර තිබුණි.
කෙසේ වෙතත් විසිවැනි සියවසේ මැද භාගය වනතුරුත් රසායනික පොහොර භාවිතය එතරම් ප්‍රචලිත ව පැවතුණේ නැත. සත්ව අස්ථි සහ සත්වඝාතකාගාර අපද්‍රවය අඹරා තැනූ පොහොර (bone meal) සහ සත්ව ලේ පිටිකර සාදන ලද පොහොර (blood meal) මද වශයෙනුත් සත්ව වසුරු සහ රනිල කුලයේ ශාඛ සමග පොළොව හෑම ප්‍රධාන වශයෙනුත් පස පෝෂණය කළ ආකාර ලෙස භාවිත විය.
පොහොර ලෙස රසායනික යෙදීම සම්බන්ධයෙන් ගත් විට වගාවට යොදන ලද ප්‍රථම ඛනිජ වර්ගවලින් එකක් වූයේ ජිප්සම්ය (gypsum). එනමුත් ඒ වන විටත් භෝග නිෂ්පාදනය සඳහා අවශ්‍ය මූලික රසායනික සංඝටක හඳුනාගෙන නොතිබුණු අතර එහෙයින් එහි ක්‍රියාකාරිත්වය කුමක්ද යන්න ගැන තිබුණේ අනුමානය සහ අත්දැකීම පමණි. අදටත් භෝග නිෂ්පාදනය සඳහා මූලික වශයෙන් ම අවශ්‍ය වන පෝෂක ලෙස සැලකෙන නයිට්‍රජන් (N), පොස්ෆොරස් (P), සහ පොටෑසියම් (K) ගැන ඉදිරිපත් කරන ලද්දේ “රසායනික පොහොර කර්මාන්තයේ පියා” ලෙස සැළකෙන යස්ටස් ෆොන් ලියිබික් විසින් 19 වන සියවසේ අග භාගයේදීය.
රසායනික පොහොර නිෂ්පාදනය සඳහා පර්යේෂණාත්මක පසුබිම මෙලෙස සකස් වුවත් ඒවායේ නිෂ්පාදන මිල අධික වීම, ඒවා ගොවිබිම්වලට යෙදීමේ යාන්ත්‍රික ක්‍රම නොපැවතීම සහ ඒවා යෙදිය යුතු කාලය, ප්‍රමාණය සහ යෙදිය යුතු ආකාරය වැනි දේ ගැන තිබූ ප්‍රශ්න නිසා එය බලපෑම් සහගත නොවී පැවතුණි. රසායනික පොහොර නිෂ්පාදනය සහ භාවිතය කාබනික පොහොර පරයා ඉදිරියට එන්නේ දෙවැනි ලෝක යුද්ධයෙහි ප්‍රතිඵලයක් වශයෙනි.නයිට්‍රජන් නිෂ්පාදනයෙහි දැවැන්ත වර්ධනයක් ඇති වූයේ එය පුපුරන ද්‍රව්‍යවල මූලික අංගයක් වූ නිසාය. දෙවැනි ලෝක යුද්ධය ආරම්භ කෙරෙන විට ඇමෙරිකාව පුරා යුධ උපකරණ සඳහා අවශ්‍ය ඇමෝනියා නිෂ්පාදනය සඳහා ම නව කර්මාන්ත අංගන 10ක් විවෘත කරන ලදී. යුද්ධය නිම වන විට මේවායින් හැම වසරකම ඇමෝනියා ටොන් 730000ක් නිපදවෙමින් තිබූ අතර ටොන් මිලියන 1.6ක් නිපදවීමේ ධාරිතාව ඒවාට තිබුණි. යුද්ධය අවසන් වීමත් සමග මහා පරිමාණ රසායනික පොහොර නිෂ්පාදනයට සහ භාවිතයට මග හෙළි වූයේ එසේය.
මේ අනුව රසායනික පොහොර මෙන්ම කාබනික පොහොරද එකම කාසියේ දෙපැත්ත වනවා පමණක් නොව රසායනික පොහොර කරා ගමන් මග හෙළි පෙහෙළි කර ඇත්තේ කාබනික පොහොර විසිනි. අදටත් නගරවල “කුණු” ලෙස ගොඩ ගැසෙන්නේ භෝගවලට උරාගන්නා ගොවිබිම්වල පාංශු පෝෂකයි. කාබනික පොහොර විහිළුවක් වන්නේ එහිදී සිදු වීමට නියමිත දෙය වන්නේ නැවත වරක් සමහර විට ලංකාවේම වෙනත් ප්‍රදේශයකින් හෝ නැතහොත් සමහර විටක වෙනත් රටකින් ආනයනය කෙරෙන ආගන්තුක දෙයක් යම් නිශ්චිත භූමියකට එකතු කිරීම වන නිසාය. එසේ එකතු කිරීම සඳහා තවත් තැනක බිමක දෙයක් එයින් උදුරා ගැනීමට සිදුවෙයි. මේ අනුව රසායනික පොහොර භාවිත කළා හෝ කාබනික පොහොර භාවිත කළාය කියා පස විපරීතකරණ ක්‍රියාවලියෙහි වෙනසක් වන්නේ නැත.
දැන් ඔබ අසන්නට යන ප්‍රශ්නය පැහැදිලිය. එනම් අප යෝජන්න කරන “විසඳුම” කුමක්ද යන්නයි? ඒ ප්‍රශ්නය මදකට කල් තබා අපි මෙය තව ටිකක් තේරුම් ගන්න උත්සාහ කරමු. භෝග වැවෙනවා කියන්නේ පසෙහි ගුණ උරාගැනීමයි. පොළොවේ තියෙන ද්‍රව්‍යමය සහ ශක්තිමය ගුණයන්. මේවා පස්සේ කාලෙක තමයි නයිට්‍රජන්, පොස්ෆරස්, පොටෑසියම් වගේ විද්‍යාත්මක නම්කිරීම්වලට ලක් වෙන්නේ. ඉතින් මේ ද්‍රව්‍ය සහ ශක්තිය (matter and energy) පොළොවෙන් භෝගවලටත් ඒ භෝගවලින් මිනිසුන්ට සහ සතුන්ටත් ලැබෙනවා. ඉතින් මේ විදියට පොළොවෙන් ගන්න දෙය නැවත පොළොවට එකතු නොවුනොත් ඒ පොළොවට බැහැ භෝගවලට ඒ ද්‍රව්‍ය සහ ශක්තිය දෙන්න. ඉතින් අර අපි කලින් කිව්ව විදියට අතීත සමාජවල ලොකු සංචරණයක් තිබ්බේ නැහැ. ගම සහ නගරය කියන බෙදීම ලොකුවට තිබුනේ නැහැ. මේ නිසා පොළොවෙන් ගන්න දේ නැවත ඒ ගත්ත තැනටම එකතු වෙන චක්‍රණයක් තිබුණා. මේක පරිවෘත්තික චක්‍රයක් (metabolic cycle).
නමුත් නූතනත්වය, ධනවාදය, කාර්මීකරණය මේ චිත්‍රය සම්පූර්ණයෙන් වෙනස් කරනවා. ගොවිබිම්වලින් ජනාවාස වෙන් වෙනවා, ගම්වලින් නගර වෙන්වෙනවා, අලුතින් ඉදිවෙන කර්මාන්තශාලා වටා විශාල කම්කරු ජනගහනයක් ඒකරාශි වෙනවා. ඔවුන්ට අහාර සහ වෙනත් පරිභෝජන අවශ්‍යතා පිටතින් ප්‍රවාහනය කරන්න වෙනවා. කලින් කිව්වා වගේ “කුණු” විදියට එකතු වෙන අපද්‍රවය (ගොවිබිමේ පසෙහි තිබුණු ද්‍රව්‍ය සහ ශක්තිය) බැහැර කෙරෙනවා. බොහෝ විට මුහුදට සේදී යනවා. ඉතින් අර පොළොව, භෝග, සතා සීපාවා සහ මිනිස්සු එකට බැඳිලා හිටපු ප්‍රාදේශිය පරිවෘත්තික අන්තර්හුවමාරුව තවදුරටත් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේක නිසා ඇතිවෙන තත්වයට තමයි කියන්නේ පරිවෘත්තික පැල්ම (metabolic rift) කියල.
මේ අදහස ඉදිරිපත් කරන්නේ කාල් මාක්ස්. ඔහු මෙහි දී සමාජ ආර්ථික ක්‍රමය වඩාත් විශාල ජීවභෞතික (biophysical) ලෝකය තුළ පිහිටුවන අතර එමගින් ද්‍රව්‍යය සහ ශක්තිය (matter and energy) පරිසරය සහ සමාජය අතර හුවමාරු වන ආකාරය පැහැදිලි කරයි. මාක්ස් සිය දේශපාලන ආර්ථිකය ගැන විවේචනයට පරිවෘත්තිය යන සංකල්පය අන්තර්ග්‍රහණය කරන්නේ එමගින් “නිෂ්පාදනයේ ස්වභාවික ක්‍රියාවලිය මිනිසා සහ සොබාදහම අතර ද්‍රව්‍යමය හුවමාරුව ලෙස” ඉදිරිපත් වන බව පැහැදිලි කරමිනි.මිනිසුන් සහ මහ පොළව අතර අවශ්‍යයෙන් ම වන “පරිවෘත්තිය අන්තර්ක්‍රියාකාරිත්වයක්” (metabolic interaction) පවතින බවත් ශ්‍රමය “මිනිසා සහ සොබාදහම අතර ක්‍රියාවලියක්, මිනිසා තමාගේ ම ක්‍රියාවන් මගින් තමා සහ සොබාදහම අතර පරිවෘත්තියට මැදිහත් වන, එය නියාමනය සහ පාලනය කරන ක්‍රියාවලියක්” ලෙස ක්‍රියා කරන බවත් මාක්ස් පැහැදිලි කරයි. මාක්ස්ගේ මෙම අදහස “සොබාදහමේ විශ්වීය පරිවෘත්තිය”, “සමාජ පරිවෘත්තිය” සහ “පරිවෘත්තික පැල්ම” යන අංග තුනෙන් සමන්විත ත්‍රිකයක් මත පදනම් වෙයි.
“සොබාදහමේ විශ්වීය පරිවෘත්තිය” යනු පාරිසරික තත්ත්වයන් නිපදවීම සහ පුනර්ජනනය සිදු කරන්නා වූ වඩා පුළුල් ජීවභෞතික ලෝකය තුළ වන සුවිශේෂ චක්‍ර සහ ක්‍රියාවලි වෙයි. මානව සමාජ සහ පොදුවේ ගත් විට මිහිපිට සියලු ජීවයන් මේ මිහිමය පරිවෘත්තිය තුළ පවතින්නේ ද, ඒ මත පරායත්ත වන්නේ ද, එය සමග අන්තර් ක්‍රියා කරන්නේ ද වෙයි. ඔවුන්ගේ නිෂ්පාදනීය ජීවිත සහ ක්‍රියාකාරකම් හරහා, මිනිස්සු ඔවුන් ම සහ සෙසු සොබාදහම අතර ද්‍රව්‍යයයෙහි සහ ශක්තියෙහි අන්තර්හුවමාරුවක් අවශ්‍ය කෙරෙන සමාජ පරිවෘත්තියක් නිර්මාණය කරති. ඒ අනුව මිනිසුන්ගේ සමාජ පරිවෘත්තිය සිදුවන්නේ සොබාදහමේ විශ්වීය පරිවෘත්තියට සම්බන්ධිත ව ය. මේ අන්තර්ක්‍රියාකාරිත්වය සමාජයේ ශ්‍රමය සහ නිෂ්පාදනය ඓතිහාසික ව සුවිශේෂ දේශපාලන-ආර්ථික සංවිධානය විසින් හැඩහුරු ගන්වනු ලබයි. මේ අනුව අපට වැටහිය යුත්තේ එක් එක් නිෂ්පාදන මාදිළිය සමාජය සහ පාරිසරික පද්ධති අතර අන්තර්හුවමාරුව සහ අන්තර්විනිවිදීම බලපෑමට ලක් කරන එකිනෙකට වෙනස් සමාජ පරිවෘත්තික පටිපාටියක් ජනනය කරන බව යි. ඒ අනුව ධනවාදය යටතේ පූර්ව සමාජපාරිසරික පද්ධතිවලට වෙනස් වූ අකාරයකින් සමාජ පරිවෘත්තිය භෞතිකකරණය කරයි (එනම් එය පරාරෝපනයේ රූපාකාරයක් ගනී. ජිවිතයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ප්‍රාග්ධනයේ සමුච්චනය සහ ප්‍රසාරණය මගින් හැඩහුරු ගැන්වෙයි.) ප්‍රාග්ධන සමුච්චනයේ තර්කය වන්නේ එය හුදෙක් ධනපතියාගේ ඉලක්කය වීම පමණක් නො ව, සමස්ත ආර්ථිකයේ ම (ධනවාදයට පෙර “ආර්ථිකය” යනුවෙන් වෙන ම පවතින “යමක්” තිබුනේ නැත.) චාලක බලය ද එය වීමයි. එහි දී ප්‍රාග්ධන සමුච්චනයේ ඉල්ලුම පරිසරය මත පතිත කෙරෙයි. පාරිසරික පද්ධති මත පීඩනය අධික කෙරෙන අතර අපද්‍රව්‍ය නිෂ්පාදනය ඉහළ දැමෙයි. නොයෙකුත් ස්වභාවික චක්‍ර සහ ක්‍රියාවලිවලින් සමන්විත වඩා පුළුල් විශ්වීය පරිවෘත්තිය සහ සමාජ පරිවෘත්තිය යන දෙකෙහි ම වෙනස් වෙනස් පරිවෘත්තික පැල්මවල් ජනනය කෙරෙයි.
පරිවෘත්තිය සංකල්පයක් ලෙස මාක්ස් සිය විශ්ලේෂණයට අන්තර්ග්‍රහණය කරගැනීමට පෙර ක්‍ෂේත්‍ර කිහිපයක ම පැවතුණි. මෙයින් මාක්ස් අභාෂය ලැබූ ප්‍රධාන මූලාශ්‍ර දෙකක් වන්නේ මාක්ස්ගේ මිතුරකු වූ රෝලන්ඩ් ඩැනියල්ස් සහ පාංශු විද්‍යාඥ යස්ටස් ෆොන් ලියිබික් ය (ඔව් මේ මීට කලින් සඳහන් කළ “රසායනික පොහොර හඳුන්වාදුන් පියා” ලෙස සැලකෙන ලියිබික් ම ය). පාරිසරික පද්ධතිවලට එය ආදේශ කරමින් පරිවෘත්තිය යන සංකල්පය ජීවීන්ගේ සමස්ත සංකීර්ණතා වෙත විස්තාරිත කළේ රෝලන්ඩ් ඩැනියල්ස්ය. පොෂ්‍යපදාර්ත මිනිසුන් සහ පොලොව අතර හුවමාරු වන ආකාරය පැහැදිලි කිරීම සඳහා පරිවෘත්තිය සංකල්පය යොදා ගත්තේ ලියිබික්ය. වගාවන් නිපදවීම සඳහා පසෙහි නයිට්‍රජන්, පොස්පරස්, සහ පොටෑසියම් වැනි පෝෂක තිබිය යුතු ය. භෝග වැවෙන විට ඒවා මේ පෝෂක පසෙන් ගනී. ලියිබික් කියා සිටියේ පසෙහි දිගු කාලීන ඵලදායිත්වය සඳහා “දීමනාවේ නීතිය” නැතහොත් ප්‍රතිපුරණයේ නීතිය, එනම් පොළොවෙන් ඉවත් කෙරුණු පෝෂක යළි එයට එක් කළ යුතු බව ය. ඔහු බ්‍රිතාන්‍යයේ ඉහළ ගොවිපළ තාක්ෂණික ක්‍රම විවේචනය කළේ පසෙහි පෝෂක සොරා ගනිමින් මිහිතලය විනාශ කරන “මංකොල්ල කෑමේ ක්‍රමයක්” (robbery system) බව පවසමිනි. මාක්ස්ට අතිශය බලපෑමක් එල්ල කළේ මේ අදහසය.
මාක්ස් වඩා පුළුල් පරිවෘත්තික විශ්ලේශනයක් ඉදිරිපත් කළේය. ඔහු ලියිබික්ගේ අදහස අනුව යමින් ධනවාදී කෘෂිකර්මාන්තය ගැන විවේචනයක් ඉදිරිපත් කළේය. ඔහු පසෙහි සාරවත්භාවය සමාජපාරිසරික සම්බන්ධතාවල ඓතිහාසික වර්ධනය මගින් බලපෑමට ලක්වී ඇති බව හඳුනාගත්තේය.
මාක්ස් ප්‍රාග්ධනය කෘතියේ පළමු වෙළුමේ සඳහන් කරන්නේ “ධනවාදී කෘෂිකර්මාන්තය මිනිසා සහ මහපොළොව අතර පරිවෘත්තික අනතර්ක්‍රියාකාරිත්වයට බාධා කරන” බව යි. එය “මිනිසා විසින් අහාර සහ ඇඳුම් පැළඳුම් ලෙස පරිභෝජනය කළ, එහි අඩංගු අංග නැවත පසට එකතුවීම” වළක්වන අතර “ඒ අනුව පසෙහි කල්පවත්නා සාරවත්භාවය සඳහා වන සදාතනික ස්වාභාවික තත්ත්වය ක්‍රියාත්මක වීම වළක්වාලයි….. ධනවාදී කෘෂිකර්මාන්තයෙහි සියලු ප්‍රගතිය යනු කම්කරුවා මංපැහැරිමෙහි කලාවේ පමණක් නො ව පස මංකොල්ලකෑමෙහි කලාවේ ද ප්‍රගතියකි. යම්කිසි කාලයක් සඳහා පසෙහි සාරවත්භාවය වැඩි කිරීමේ සියලු ප්‍රගතිය, ඒ සාරවත්භාවයෙහි වඩා කල්පවත්නා මූලාශ්‍ර විනාශ කිරීම දෙසට වන ප්‍රගතියකි. ඒ අනුව ගත විට ධනවාදී නිෂ්පාදනය තාක්ෂණික ක්‍රම සහ නිෂ්පාදනයේ සමාජ ක්‍රියාවලිය සම්බන්ධ කිරීමේ ප්‍රමාණය වර්ධනය කරන්නේ ධනයෙහි ප්‍රාරම්භක මූලාශ්‍ර – එනම් පස සහ කම්කරුවා- නොතකා හරිමිනි.”
වෙනත් අක්කරයකින් කිව හොත්, ප්‍රාග්ධනයේ සමාජ පරිවෘත්තික පටිපාටිය, පාංශු පෝෂක චක්‍රයෙහි පරිවෘත්තික පැල්මක් නිර්මාණය කරමින්, මිහිමය පරිවෘත්තිය -එනම් ප්‍රතිපූරණයේ නීතිය – වැඩි වැඩියෙන් උල්ලංඝනය කර ඇත.
පරිවෘත්තික පැල්ම අනික් අතට කෙලින් ම සම්බන්ධවන්නේ පරාරෝපණය සමග ය. මානව පැවැත්මට පාර ඓතිහාසික පදනමක් සපයන්නේ ශ්‍රමය යි. සැබවින් ම ශ්‍රමය යනු මිනිසුන් සහ මහපොළොව අතර පරිවෘත්තික සම්බන්ධයෙහි ආකාරය යි. නමුත් ධනවාදයෙහි ඇති “පරාරෝපිත මැදිහත්වීම” වනාහි ඓතිහාසිකව ධනවාදී නිෂ්පාදන මාදිලියටම පමණක් විශේෂිත වූවකි. එය පවතින්නේ වැටුප් ශ්‍රමය ලෙසය.
ඍජු නිෂ්පාදකයාට නිෂ්පාදන ක්‍රියාවලියේ පාලනය අහිමි වන විට සිදුවන්නේ නිෂ්පාදනය සහ ඔවුන්ගේ ආසන්න ම අවශ්‍යතා අතර හිඩැසක් නිර්මාණය වීම යි. මෙය අනෙක් අතට නිෂ්පාදිතයෙහි භාවිත අගය වෙනුවට අමූර්ත අගය ඉස්මතු වීම කෙරෙහි බලපායි. එවිට එහි පරිභෝජකයා ද පරිභෝජනයට ලක් කරන්නේ සැබවින් ම සිය ආසන්න ම අවශ්‍යතාවක් වෙනුවෙන් නොවේ. ඒ අනුව නිෂ්පාදකයා මෙන් ම පරිභෝජකයා ද සොබා දහම සමග “පරාරෝපිත මැදිහත්කරුවෙකු” බවට පත්වෙයි.
ඉතින් අප සිටින්නේ රසායනික පොහොර/කාබනික පොහොර බයිනරියට බොහෝ එහා යන ප්‍රශ්නයක ය. සොබා දහමත් මිනිසාත් අතර සම්බන්ධයේ ස්වරූපය පිළිබඳ ගැඹුරු ගැටළුවක ය. දැනටමත් දැකගත හැකි ආකාරයට ඊනියා කාබනික ආහාර අප කරවටක් ගිලී සිටින පරිභෝජනවාදයට තවත් අලංකාරයක් එක්කරනවා පමණි. කාබනික අහාර යනු අමූර්ත අගය ඉහළට ඔසවන ලද ඍජු නිෂ්පාදකයාගෙන් පරාරෝපිත පරිභෝජන භාණ්ඩයකි.
එකක් පැහැදිලිය. කාබනිකවාදීන් මෙන්ම රසායනිකවාදීන් ද සිතමින් සිටින්නේ එකම සිතිජයකය. එය හරියටම ධනවාදීන් සහ සමාජවාදීන් අතර වෙනසට සමානය. අපට නැවතත් අතීතයට යා නොහැකි බව ඇත්තය. අප විසදුමක් යෝජනා කරන්නේ නැත. නමුත් එක දෙයක් දැඩි ලෙස විස්වාස කරමු. එනම් කොමියුනිස්ට් අදහස පිළිබඳ දේශපාලනය පවතින්නේ ධනවාදයේ සිතිජයට, නුතනත්ව ව්‍යාපෘතියේ සිතිජයට, සමාජ ප්‍රගමනය පිළිබඳ සෝවියට් ප්‍රබන්ධයක් වන ඊනියා “ඓතිහාසික භෞතිකවාදී” ආඛ්‍යානයේ සිතිජයට ඔබ්බෙන් බවය.

මේ ලිපි ලේඛන ඇසුරෙණි
Hergert, G., Nielsen , R., & Margheim, J. (2015, March 15). Fertilizer History P1: A Historical Overview of Fertilizer Use Almost 8,000 years ago farmers recognized its value. Retrieved from Cropwatch: https://cropwatch.unl.edu/fertilizer-history-p1
Hergert, G., Nielsen, R., & Margheim, J. (2015, April 10). Fertilizer History P3: WWII Nitrogen Production Issues in Age of Modern Fertilizers. Retrieved from Cropwatch: https://cropwatch.unl.edu/fertilizer-history-p3
Hergert, G., Nielsen, R., & Margheim, J. (2015, March 27). Fertilizer History P2: Fertilizer Moves from Bones to Chemistry A Historical Overview of Fertilizer Use. Retrieved from Cropwatch: https://cropwatch.unl.edu/fertilizer-history-p2
Marx, K. ([1887] 1976.). Capital: A Critique of Political Economy, Volume I. New York: Vintage.
Clark, B., Foster, J. B., & Stefano , B. (2019). Metabolic Rifts and the Ecological Crisis. In P. Prew, T. Rotta, T. Smith, & M. Vidal (Eds.), The Oxford Handbook of Karl Marx. New York: Oxford University Press.

දර්ශන ලියනගේ

ප්‍රසන්න අබේවික්‍රම