අනෙක් බාහු

අනෙක් බාහු

අනෙක් බාහු

“බාහු සහෝදරයා” යයි අපි ඔහු අමතමු. අපගේ දේශපාලනය දක්ෂිණාෂිකයන්ට මෙන් ම වාමාංශිකයන්ට ද එක සේ එරෙහි වන නමුත් වාමාංශික දේශපාලන සංස්කෘතියේ ඇතැම් වතාවත් අපගේ දේශපාලන අනුරාගය තවමත් දල්වයි. “සහෝදරයා”, “සහෝදරිය” යන ඇමතුම්  එවැනි ඒවා ය.  ඒවා පවතින අර්ථ සහිත ලෝකය තුළ මුළුමනින් ම අර්ථවත් කළ  නො හැකි වෙනස් මිනිස් සබඳතාවක සේයාවක් අපට ගෙන එයි. ආර්ථික, සමාජීය හෝ වෙනත් යටිතලයේ සම්බන්ධයක් විසින් දරා නො සිටින, යම් “විකාර සහගත” විස්වාසයක් විසින් පමණක් ම දිවෙන, කිසිදා දිනුමක් සහතික නැති නමුත් කිසිදා අත් නො හරින සටනක ගමන් සගයෙකුගේ සේයාවක් එය අප වෙත ගෙන එයි. පසුගිය ජුලි 16 වෙනි දා බංග්ලාදේශයේ දී අබු සයෙද් උණ්ඩයට පපුව පාන්නේ මේ “වාමාංශික” අනුරාගී සබඳතාව වෙනුවෙනි. ඔහුගේ සහ මියගිය අන් අයගේ මළ මිනී මතින් ක්‍රමය යළි ප්‍රතිව්‍යුහගත වීම හැර අන් කිසිවක් සිදු නො වන යථාර්තයක වුවත්, ඒ නිශ්චිත නිමේෂයේ සිය පපුව උණ්ඩයට පෑමේ අනුරාගී ක්‍රියාව අවතක්සේරු වන්නේ නැත.  

බාහු සහෝදරයා අපට අවසන් වශයෙන් හමුවූයේ 2019 සැප්තැම්බර් 21 දා කොල්ලුපිටියේ CMU ශාලාවේ පැවති “ප්‍රජාතන්ත්‍රවාදය: ඉල්ලමද? ඉල්ලීමද? ඉල්ලං කෑමද?” නමින් පැවති අභිමුඛ සංවාද මාලාවේ දෙවැන්නෙහි දී ය. ඒ වන විටත් බාහු සහෝදරයාගේ සක්‍රීය දේශපාලන ජීවිතය අඩාල ව තිබූ අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ද එතරම් සතුටුදායක මට්ටමක පැවතියේ නැත. ඒ නිසා ම, එදින ද,  සිය කතාව පවත්වා මඳ වෙලාවකින් ඔහු සමුගෙන ගියේ ය. ඒ සමුගෙන යාමෙන් පසු         

බොහෝ දේ සිදු විය. ඒ බොහෝ දේවල අවසානය ගැන අපට ලියන්නට වෙන්නේ පැරඩොක්සීය වැකියකි. අප දන්නා තරමින් බාහු සහෝදරයා මිය ගියේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු වශයෙනි! බාහු සහෝදරයා සිය දිවිසැරිය නිමවා නික්ම යන්නේ ලංකේය වාමාංශික දේශපාලනයේ වැදගත් සංධිස්ථානයක් සටහන් වන මොහොතක ය. එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගනිමින් බාහු සහෝදරයා සිය තීරණය ගැන  දැඩි විශ්වාසයකින් සඳහන් කළේ “මාක්ස් ජිවත් ව සිටියේ නම්, ඔහු රනිල්ට අතට අත දී ඔහු වැලඳ ගනු ඇති” බව යි. මේ ප්‍රකාශය අද රනිල්වාදීන් වී ඇති බොහෝ වාමාංශිකයන්ගේ උදාන වාක්‍යය යි. නව සම සමාජ මධ්‍යම කාරක සභා සාමාජිකයෙකු ව සිටි අජිත් මුණසිංහ, හිරු කණ්ඩායමේ ක්‍රියාකාරී ප්‍රබල සාමාජිකයෙකු ව සිටි අජිත් පැරකුම් ජයසිංහ වැනි චරිත මේ සඳහා උදාහරණ වෙයි. සැබවින් ම බාහු සහෝදරයා මාක්ස් සහ රනිල් සම්බන්ධයෙන් කියන කතාව ලංකාවේ (ලෝකයේ ද එසේ ය) වාමාංශික කතිකාව තුළ සත්‍යයකි. සෝවියට්  මාක්ස්වාදී මතවාදී ෆැක්ටරියේ නිෂ්පාදනයක් වන “ඓතිහාසික භෞතිකවාදයේ” පිළිගැනීමට අනුව සමාජ ප්‍රගමනයට මාවතක් තිබේ. අප දිගට ම පැමිණ ඇත්තේ ප්‍රගතියේ මාවතෙහි ය. එය භෞතික දියුණු ව මෙන් ම “ප්‍රජාතන්ත්‍රවාදය”, “මානව හිමිකම්”, “නීතියේ ආධිපත්‍යය” වැනි දේ සම්බන්ධයෙන් ද අදාළ ය. ලංකාවේ මේ මොහොතට අදාළ ව, අප ළඟා වී ඇති ප්‍රගතියේ සැතපුම් කණුව ඉක්මවා යා හැක්කේ රනිල් වික්‍රමසිංහට ය. බාහු සහෝදරයා වාමාංශිකයෙකු ව රනිල් සමඟ එකතු වූයේත්, මාක්ස් ජීවත් ව සිටියේ නම් මාක්ස් ද එය ම කරනු ඇති බව කීවේ ද ඒ අනුව ය. ඒ අර්ථයෙන් ගත් විට වාමාංශික බාහු සහෝදරයා රනිල් සමඟ එකතු වීමෙහි පරසපරයක් නැත. බාහු සහෝදරයාගේත් ඔහු අනුගිය බොහෝ වාමාංශිකයන්ගේත් අවසන් නවාතැන රනිල්ගේ එක්සත් ජාතික පක්ෂය වීම ලංකාවේ වාමාංශික කතිකාවේ ම එක් අවසන් ගමනාන්තයක් මිස බාහු සහෝදරයාගේ හෝ වෙනත් කිසිවෙකුගේ පුද්ගලික ප්‍රශ්නයක් නො වේ.

බාහු සහෝදරයා නික්ම යන නිමේෂයේ ලාංකේය වාමාංශික කතිකාවේ එක් අන්තයක් එසේ සලකුණු වන අතර ම එහි තවත් අන්තයන් කිහිපයක් ද සලකුණු වෙමින් තිබීම දෛවෝපගත ය. ඉහත සඳහන් කළ ආකාරයට වාමාංශය යනු සෝවියට් මතවාදී ෆැක්ටරියේ නිෂ්පාදනයක් වන ඓතිහාසික භෞතිකවාදය අනුයමින්  සමාජ ප්‍රගමනය වෙනුවෙන් දක්ෂිණාංශයටත් වඩා කැපවූවකි. මේ ප්‍රගතිය “සුපිසිදු ධනවාදයක්” ක්‍රියාත්මක නො වන අප වැනි රටවල ළඟා කරගත නො හැක්කේ දුෂණය, වංචාව, හොරකම වැනි හේතු නිසා ය (මෙය දෘෂ්ටිවාදී මුලාවකි. එවැනි “ශුද්ධ ධනවාදයක් මේ මිහිපිට නැත). මේ අවහිර මඟ හරවා ප්‍රගතිය සහතික කිරීමේ නව බලවේගය ලෙස මේ මොහොතේ ඉදිරියට පැමිණ ඇත්තේ ජාතික ජන බලවේගය යි. ජාතික ජන බලවේගය යනු චීන කොමියුනිස්ට් පක්ෂයේ උරුමයක් සහිත, අවස්ථා දෙකක දී ලාංකේය ධනවාදී රාජ්‍යයට එරෙහි ව සන්නද්ධ කැරළි ගැසූ ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන මාධ්‍යමික වාමාංශික රූපාන්තරණය යි (අතිශයින් සිත්කළු දෙයක් වන්නේ 1971 දී ජනතා විමුක්ති පෙරමුණ මෙහෙය වූ කැරැල්ලේ දී ඔවුන් නාමකරණය වූයේ “චේගුවේරාකාරයින්” ලෙස වීම යි. මේ නාමකරණය කෙසේ සිදු  වූවාද යන්න ගැන අප දන්නා තරමින් 1971 ගැන පොත් ලියා ඇති කිසිවෙක් පැහැදිලි ව කියා නැත. දැන් අපට තේරෙන තරමින් “චේ ගුවේරාකාරයින්” යනු එතෙක් නො දැන සිටි යමකට දෙන ලද නාමකරණයකි). ජාතික ජන බලවේගය රාජ්‍ය බලය ලබා ගැනීමේ වැඩි සම්භාවිතාවක් පවතී. එය එසේ සිදු වුවහොත් මාධ්‍යමික වාමාංශික රජයක් යටතේ ලංකාව තුළ ධනවාදය ප්‍රතිව්‍යුගත වනු ඇති අතර එය චීන පන්නයේ රාජ්‍යවාදී ධනවාදයක් වීමට ඇති ඉඩ කඩ වැඩි ය. ඒ  අනුව බාහු සහෝදරයා නික්ම යන නිමේෂයේ ලංකාවේ වම තවත් අන්තයකින් රාජ්‍ය බලය ලබා ගැනීමේ ආසන්නයට පැමිණ සිටින අතර දුෂණ වංචාවලින් තොර “පරිසිදු” ධනවාදයක් සහතික කිරීමේ වගකීම භාරගෙන ඇත.  

තුන්වැනු ව, වාමාංශික දේශපාලනයේ තවත් එක් ප්‍රබල ප්‍රකාශමානවීමක් වන්නේ “තෝල්ක වාමාංශික දේශපාලනය”යි. එනම් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන, ඉල්ලීම් ඉල්ලන, වීදි අරගල දේශපාලනය යි. ජ.වි.පෙ. විශාල වශයෙන් මේ දේශපාලනයේ ආධිපත්‍යය දැරූ නමුත් පෙරටුගාමී විමතිකයන් සමඟ විභේධනයෙන් පසු සහ විශේෂයෙන් ම එහි අනු ඵලයක් ලෙස අ.වි. ශි.බ.ම. බලය ජ.වි.පෙන්  ගිලිහීමෙන් පසු ජ.වී.පෙ. ක්‍රමික ව එයින් ඉවත් ව රාජ්‍ය බලය ඉලක්ක කොට ගත් දේශපාලනයට යොමු විය.  එළඹීමට නියමිත ලාංකේය දේශපාලනයේ කාල පරිච්ඡේදයේ ජවිපෙට හෝ ජාජබයට “තෝල්ක වාමාංශික” භූමිකාවට නැවත ගමන් කිරීමේ ඉඩක් නැත (රාජ්‍ය බලය ලබා ගත්තත් නැතත්) . මේ ගැන වැඩිම සෙන්සිටිව් සහ ජවිපෙ/ජාජබ  දේශපාලනයට වඩාත් ම අවංක පුද්ගලයා වන ලාල් කාන්ත සහෝදරයා  මේ ගැන හොඳින් ම දැනුවත් බව ඔහු කරන ප්‍රකාශවලින් පැහැදලි ය.  එවැනි පසුබිමක් තුළ මේ “තෝල්ක වාමාංශික” භූමිකාව පෙරටුගාමින්ගේ  තනි අයිතියට ලියවීමට ඇති ඉඩ කඩ වැඩි ය. තමන් විසින් “වාමාංශික” ආණ්ඩුවක් ලෙස නම් කරගනු ලබන ජාජබ රජයක්, පෙරටුගාමීන් විසින් නායකත්වය දෙන තෝල්ක වාමාංශික දේශපාලනයට කෙබඳු ප්‍රතිචාරයක් ලබා දෙනු ඇද්ද යන්න විවෘත ප්‍රශ්නයකි. කෙසේ වෙතත් හිස්ටරික තෝල්ක වාමාංශික දේශපාලනය යනු සැමදා ගහට පොත්ත මෙන් සංස්ථාපිතයට බැඳී පවතින්නකි. සොරුන් , මංකොල්ලකරුවන්, පාතාලයින් විසින් නීතියේ අධිපත්‍යය තහවුරු කරන ආකාරයට ම, හිස්ටරික දේශපාලනය විසින් සංස්ථාපිතය තහවුරු කරයි. ඒ අනුව බාහු සහෝදරයා නික්ම යන නිමේෂයේ ලංකාවේ වාමාංශයේ තවත් අන්තයක් සලකුණු වන්නේ හිස්ටරික තෝල්ක වාමාංශික දේශපාලනයේ ප්‍රධාන බලවේගය ලෙස පෙරටුගාමින්ට ඉඩ විවර කරමිනි.

මෙලෙස අන්ත තුනකින් ලංකාවේ වාමාංශය සලකුණු වෙමින් පවතින මොහොතක බාහු සහෝදරයා අපෙන් සමුගනී. බාහු සහෝදරයා අයත් වන මුල් අන්තය සහ අනෙක් අන්ත දෙක පොදුවේ බෙදා ගන්නා උරුමය වන්නේ ඓතිහාසික භෞතිකවාදී දෘෂ්ටිවාදය යි; එනයින් සමාජ ප්‍රගමනය, ප්‍රගතිය, දියුණුව පිළිබඳ දෘෂ්ටිවාදය යි.              

බාහු සහෝදරයාගේ සමස්ත දේශපාලන ජීවිතය දිවවුනේ මේ දෘෂ්ටිවාදය  විසින් වන අතර අවසානයේ ඔහු රනිල් වික්‍රමසිංහ වෙත රැගෙන යන ලද්දේද මේ දෘෂ්ටිවාදය යි.  

දැන් අපි “අනෙක් බාහු” ගැන කතා කරමු. අප ඉහත සඳහන් කළ පරිදි බාහු සහෝදරයා ඓතිහාසික භෞතිකවාදියෙක් වූ නමුත් ඔහුට ලංකාවේ බොහෝ වාමාංශිකයන්ට කිසිම වැදගත්කමක් නැති මුත් මාක්ස්ගේ වැදගත්ම අදහස වන ප්‍රාග් කොමියුනිස්ට් සමාජය ගැන සංවේදනාවක් තිබූ බව අප ඉහත සඳහන් කළ සම්මන්ත්‍රණයේ දී ඔහු කළ කතාවෙන් පැහැදිලි ය. එහි පිටපත පහත පළ ක සංකල්පීය ර ඇත.

බාහු සහෝදරයාගේ මේ මුළු කතාව ම එක වැකියකට සාරාංශ කළහොත් ඒ මෙසේ ය: “ප්‍රාග් කොමියුනිස්ට් සමාජවලින් පස්සේ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ වගේ ඒවා ගැන කතා කරන එක ම විකාරයක්.” සැබවින් ම මේ කතාව පුරා ම බාහු සහෝදරයා “ප්‍රජාතන්ත්‍රවාදය” යන්න ගන්නේ රූපකාර්ථයකින් (එහෙම එකක් පවතිනවා නම්) මිස ලෙස නො වේ. ඔහුගේ කතාවේ හරය එදා සම්මන්ත්‍රණයට සහභාගී වූ අනෙක් දෙදෙනා වන නිර්මාල් රංජිත් දේවසිරිට හෝ අර්ජුන පරාක්‍රමට නො වැටහුණු බව සංවාදය දැන් කියවන විට පැහැදිලි ය. ඔවුන් දෙදෙනා නැවත නැවතත් “ස්වර්ණමය යුගයක්” ගැනත් “ප්‍රජාතන්ත්‍රවාදය නූතන සංකල්පයක්” වීම ගැනත් බාහු සහෝදරයාගෙන් නැවත නැවත ප්‍රශ්න කරන්නේ එබැවිනි. සැබවින් ම බාහු මේ කතාවේදී කරන්නේ “ප්‍රජාත්නත්‍රවාදය” එහි වර්තමාන අර්ථයෙන් ගලවා ප්‍රාග් කොමියුනිස්ට් සමාජමය අර්ථයක් කරා ගෙන යාම යි. එමඟින් ඔහු ඉතා සිත් ගන්නා සුළු දෙයක් කරයි. එනම් ඔහු “ප්‍රජාතන්ත්‍රවාදය” ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයට පූර්ව ව ස්ථානගත කරයි. එසේ ස්ථානගත කරන විට ම “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය” යනු “ප්‍රජාතන්ත්‍රවාදයට” එරෙහි විප්ලවයක් බවට පත් වෙයි. නූතන  ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය යනු “ප්‍රජාතන්ත්‍රවාදය” වළ දමා ගොඩ නැඟූ “ප්‍රජාතන්ත්‍රවාදයක්” බවට පත්වෙයි.

ඓතිහාසික භෞතිකවාදියෙකු ව සිටියදීත් බාහු සහෝදරයාට ප්‍රාග් කොමියුනිස්ට් සමාජය සහ ඉන් පසු සමාජ අතර බෙදුම්  කඩනයක් සලකුණු කළ හැකි වෙයි. අපට දැනෙන තරමින් ඔහු තුළ සිටින ඓතිහාසික භෞතිකවදියා යටපත් කරමින් මෙලෙස ඉදිරියට එන්නේ ප්‍රාග් කොමියුනිස්ට් සමාජ සම්බන්ධයෙන් වන ඔහුගේ සංවේදනාව  යි. ඔහු ඉතා පහැදිලි ව සාමූහිකත්වය, ආධිපත්‍ය විරහිතභාවය වැනි තැන්වලින් මේ සමාජ වර්ග දෙක අතර විභේදනය සලකුණු කරයි. මාක්ස්ගේ අදහස නැවත අප කියවිය යුත්තේ “ප්‍රාග් කොමියුනිස්ට් සමාජය යනු වෙන අර්ථ ලෝකයක් වී ය” යනුවෙනි. බාහු සහෝදරයාට මේ සංවේදනය තිබූ බවට  ඔහුගේ කතාව දෙස් දෙයි.

එපමණක් නො ව මාතෘ මූලික සමාජ  වටිනාකම් ගැන දිගින් දිගට ම ඔහු සඳහන් කරන විට ඉන් පසු බිහි වූ ආධිපත්‍ය සහිත සමාජ යනු ම “ප්‍රජාතන්ත්‍ර” විරෝධී සමාජ බව ඔහු ඇඟවුම් කරයි. අපගේ දේශපාලන-න්‍යායික භාෂාවෙන් කියන්නේ නම් මේ පවතින යථාර්තය, හෙවත් අර්ථ සහිත ලෝකය තනා ඇත්තේ ස්ත්‍රිය පිටමං කිරීමෙනි. එවන් යථාර්තයක් තුළ නෛසර්ගික ව ම ආධිපතයක් පවතී. දේශපාලනය යනු මේ නෛසර්ගික පිටමං කිරීමට අභිමුඛ වීම යි. “ස්ත්‍රිය නො පවතී” යන ලකානියානු අදහස බාහු සහෝදරයාට ආගන්තුක වන්නට ඇතැයි අපි සිතමු. එහෙත් ඒ න්‍යායික තලයට ඔබ්බෙන් වන වටහා ගැනීමකින් ඔහු මේ සමස්තය තුළ ස්ත්‍රිය “නො පවතින” බව අපට ප්‍රකාශ කරයි. එපමණක් නො ව ස්ත්‍රිය ලෙස පෙනී සිටිමින් මේ යථාර්තය තුළ ෆැලික ස්ත්‍රීන් පුරුෂමූලික සමස්තය ම නඩත්තු කරන ආකාරය පවා ඔහු අපට පෙන්වා දෙයි. මේ පහත පළ කරන ඔහුගේ කතාවේ පිටපත කියවන්න. ඔබටත් අනෙක් බාහු මුණ ගැසෙණු ඇත. ඒ අනෙක් බාහු ඉන්නේ අපගේ දේශපාලන ස්ථාවරයේ ය. (අප කියන අදහස ඇත්තේ ඓතිහාසික භෞතිකවාදී බාහු සහෝදරයාගේ කතාවේ එක් අංගයක් ලෙස පමණි. අනෙක් සියල්ල අපගේ ස්ථාවරයට පටහැනි ය.)

බාහු සහෝදරයාගේ කතාව 

සාකච්ඡුාවට මට ආරාධනය කිරීම පිළිබඳව. මම හිතන හැටියට මේ ඉතිහාසයට ඉස්සෙල්ල පූර්ව ඉතිහාසය ගැන කතා කරන්න වෙනවා. මේ මනුෂ්‍යයා කොහොමද ආවේ කියල. මනුෂ්‍යයා ආරම්භයේ දී ම ඉතාම ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටාපිටාවක් තුළ තමයි ජීවිතය ආරම්භ කළේ. අපි දන්නව හෝමෝ එතේකස් වගේ වඳුරු යුගයක ඉඳලා පියවර කීපයකින් තමයි හෝමෝ සේපියන්ස් කියන පැත්තට මනුෂ්‍යයා එන්නෙ. ඒ දිර්ඝ ගමන තුළ වෙච්ච එක දෙයක් තමයි, දරුවා උපදින හැටි මාරු කළා. ඉස්සෙල්ල යුගවල හිටපු තත්වයට වඩා හොඳ තත්වයකින් මොළේ වැඩි දරුවෙක් හදාගන්න තියෙන අරගලය තමයි, කාන්තාවගෙ අරගලය තමයි ඒ පූර්ව ඉතිහාසයෙ තියෙන්නෙ. ඒකෙදි වාරෙන් වාරෙට වැඩි කරලා ඒ අරගලය තුළින්.. මොකද ඔළු ලොකු වෙනකල් හිටියොතින් බඩ තුළ.. බඩ තුළින් එළියට ගන්න බෑ. ඒ නිසා ඇවිදින්න පුලූවන් වෙන්න  ඕන් නෑ. ඊට ඉස්සෙල්ලා දරුව එළියට දාල හදා ගන්න  ඕන, කියන තැනට ඉතිහාසය තුළ ඒ ගමන ගිහිල්ලා, සංවිධානාත්මක ගමනක් නෙවෙයි, තියෙන ස්වභාවයේ ගමන තුළ, ඒ කියන්නෙ නොමේරූ දරුවෙක් එළියට ගන්නවා. ඒක කාත්තාවන්ගේ ව්‍යායාමයේ ප‍්‍රතිඵලයක්. ඊට පස්සෙ එළියට ආවහම එයාට ඇවිදින්නත් බෑ… කන්ඩත් බෑ… මුකුත් බෑ.. අර අනෙක් සත්තු වගේ නෙවෙයි, යන එන මං නැති දරුවෙක්.. ඒ දරුවා බලා ගන්න  ඕන. දරුවා බලා ගන්නනම් කවුරු හරි උදව් වෙන්න  ඕන. අම්මට බලා ගන්න බෑ. මේ රටේ නම් අම්ම බලා ගන්න  ඕන. එයාට කන්න -බොන්න අරව මේවට තව කෙනෙක් සපෝට් කරන්න  ඕනෙ. නැත්නම් සමාජය සපෝට් කරන්න  ඕන. ඒ වගේ සමාජයම බැඳ ගන්න වැඩක් තමයි ඒක.. ඒ හොඳ මොළේ ඇති දරුවා කියන එක. මොළේ ඇති දරුවා ඇති සමාජය කියන්නෙ සියල්ලන්ගෙම සමන්විත සමාජයක්. ඒ තුළ තමයි, මාතෘමුලික ආරම්භයක් අපිට තියෙන්නෙ.

අපි මාතෘමූලික කොමියුන් එකක… ප‍්‍රජාතන්ත‍්‍රවාදීව උපන්න මනුෂ්‍යයො අපි. එතන ඉඳලා ඒ මාතෘමූලික සමාජය බිහි කිරීම තුළ, එතකොට කාන්තාවන්ගෙ බලය තියෙන සමාජයට

අනුපූරකව පිරිමින්ගෙ බලය තියෙන එකකුත් ඇති වෙනව, ගත්ත කෘෂිකර්මයේ වෙනස්කම තුළ. ගොවීන් වගේ කෘෂිකර්මයට විරුද්ධ හරක් ඇති කරන…අර ඒකෙ ප‍්‍රතිවිරුද්ධ දෙයක් හැටියට මතු වෙනව වෙන පිරිසක්. ඒගොල්ලන්ගෙ ගතිකය වෙනස්. එතකොට මේ දෙක අතර ඇතිවන වෙනස ගැටුම.. කාල පරිච්ඡේදයන් ගෙවිලා ගිහිල්ලා අවසානයේ දී මේ කොමියුන් ජීවිතයක් ගත කරපු මනුෂ්‍යාගෙ කොමියුන් ජීවිතය විනාශ වෙන්න පටන් ගත්තෙ ලෝහ හොයා ගෙන යනවා. ඒවා වැඩියෙන්ම කළේ ගොවිතැන් කළ අය නෙවෙයි, ගොවිතැනට ප‍්‍රතිවිරුද්ධ අය කඳු උඩ අරහෙ මෙහෙ හරක් බලන්න…එළවළු වවන්න.. සත්තු බලන්න.. ඒ විදිහෙ වර්ගයක් තිබිච්ච අය අතරින් තමයි, ඔය සම්පත් වෙනස් විදියට හදල යකඩ භාවිතය දක්වා ගියෙ. යකඩ භාවිතය දක්වා ගමන් කළාට පස්සෙ, මිනිස්සු අතර මේ තියෙන සමානාත්මතාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මොකවත්  ඕනෙ නෑ, මේ අයට වැඩ කරන්න පුලූවන් ශක්තිය වැඩියි.. ඒගොල්ලො අපි අල්ල ගත්තොත්, ඒගොල්ලගෙන් අපිට වැඩ ගන්න පුලූවන්. අපිට නිකම් ඉන්න පුලූවන් කියන එක..සූරාකෑම.. ප‍්‍රධාන වශයෙන් ඇති වෙනව. එතකොට ඒක ඇති වෙන්නෙ අර පුරුෂාධිපත්‍යය තියෙන අශ්වයො…හරක්.. සත්තු හදන අය අතරයි, ගොවිතැන් කරන ජනතාවයි අතර කරන සටනකින්.  ඒ සටන ලෝකය පුරාම පැතිරිල ගිහිල්ල..ඊට පස්සෙ තමයි සූරාකෑමේ සමාජයක් ඇති වෙන්නෙ, අපි ආරම්භ කරපු මාතෘමූලික සමාජය බිඳගෙන. මාතෘමූලික සමාජයක අපි ඇත්ත වශයෙන් ම මනුෂ්‍යයො වගේ ඉපදිල, ඉතාම ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදියට ගමන් කරපු සමාජයකුත් තියෙනව. ඒකට ප‍්‍රතිවිරුද්ධව ආපු සත්තු හදපු සමාජයකුත් තියෙනව. ඒ දෙක අතර ගැටුමෙන් තමයි ඇති වෙන්නෙ කියල.

            දැන් මේකෙදි මිනිසුන්ගෙ ඔළුවල තියෙන දාර්ශනික අදහසුත් මේව අනුව වෙනස් වෙලා ගිහිල්ල තමයි, පළවෙනිම.. ඒකෙන් පටන් ගත්තෙ අර කට්ටියක් ගෙනිහිල්ලා, දැන් තමන් තමන්ගෙ කොමියුනයෙ අයට හොඳින් කතා කළත් අනෙක් අය යටත් කර ගත්තොත් අපිට ඒ අයගෙන් වැඩ ගන්න පුලූවන් කියලා. ඒක උඩ හදලා, සටන් කරලා

එහෙම යටත් කරන වහල් යුගය ආරම්භ වෙලා, අපි දන්නවා ඉරානය වගේ රටක තමයි පළවෙනි විශාලතම වහල් රාජධානිය හැදුවෙ. ඒ වහල් රාජධානිය… ආර්යයන්ගේ රාජධානිය කියනව..ඒකෙන් ලොව පුරා මේක පැතිරිලා ගිහිල්ල අර කාන්තාවාදී සමාජ විනාශයට පත්වෙලා ගියා. ඒ අය යටත් වුණා කියල තමයි ඉතිහාසය අපිට කියල තියෙන්නෙ. එතකොට ඒ අනුව තමයි, මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධව ඒකාධිපති රාජ්‍යවාදයක් ඇති වෙන්නෙ. ඒකෙදි මේක පළමුවෙන්ම හොයා බලපු කෙනා තමයි බුදුන්. බුදුන් උපන්නෙ ක‍්‍රි.පූ. 5 වෙනි වසරෙ විතර, ඒ අතරෙ තමයි ශක‍්‍රයාගෙ රාජ්‍යය… ඒ කියන්නෙ ඉරානයේ රාජ්‍යයත් ඇති වෙන්නෙ, පළවෙනි අධිරාජ්‍යය.. පුරුෂයන්ගෙ බලයෙන් තියෙන රාජ්‍යයක් පිහිටුවල තියෙන කාල පරිච්ඡේදය අවසානයේ තමයි බුදුන් ඉපදිල.. බුදුන් ඉපදුනෙත් එවැනි ඒකාධිපති රාජ්‍යයකට. ඒ වුනාට ඔහු ඒක අත්හැරල දාලා හැමතැනම ඇවිදල ගිහිල්ල නෂ්ටාවශේෂ වෙච්ච කාන්තා ගම්මානවල වැඩ කටයුතු බලල තමයි, එයා මේ බුදුදහම කියන දේශනය හැදුවෙ. ඒකෙ අපි බැලූවහම පේනව එයා කොහොමද මේ මනුෂ්‍යාගෙ… ඒ කියන්නෙ මනුෂ්‍යයා ඉන්න  ඕන.. මෛත‍්‍රිය.. කරුණා… මුදිතා…. උපේක්ෂා කියන තැන ඉන්න  ඕන. වෛරය, ලෝභය, මෝහය ඉවත් කරන්න  ඕනෙ. ඇත්තටම මේක එක්තරා සමාජ ප‍්‍රශ්නයකින් මතු වන එකක්. දැන් මේ මෛත‍්‍රිය කියල කියන්නෙ මොකක් ද? මම ජීවත්වෙන්න  ඕන නම්- අනෙක් මිනිහත් ජීවත් වෙන්න  ඕන නම් මං ඒ මිනිහගෙ ජීවිතයත් ආරක්‍ෂා කළ යුතුයි. ඒක තමයි අම්මාවරුන්ගෙ ……………………….. (කඩ ඉරි මගින් නිරූපණය කර ඇත්තේ හඩපටයේ අපැහැදිලි කොටසකි) ගහන කාරණය. අම්මාවරු ජීවත් වෙන්නෙ දරුවා වෙනුවෙන්. ………………………………….. (කඩ ඉරි මගින් නිරූපණය කර ඇත්තේ හඩපටයේ අපැහැදිලි කොටසකි) මට කන්න හම්බ කරන්න බැරි නම් මම දරුවත් මරල මමත් මැරෙනව. එච්චරයි. ඊට එහා කතා නෑ. අම්මගෙ කථාව ඒකයි. ඒ නිසා අම්මා කෙනෙක්ගෙ ප‍්‍රධාන දේ තමයි, මෛත‍්‍රිය. අම්මා කෙනෙක්ගෙ දෙවෙනි කාරණාව තමයි කරුණාව. මගේ පංගුව මට දෙන්න  ඕන කොහොමත් ජීවත් වීම සඳහා. ඒ පංගුව මගේ කවුරුහරි ඉන්නව නම් එයාටත් දෙන්න  ඕන. අම්ම කෙනෙක් තමයි තමන්ගෙ පංගුව දරුවට දෙන්නෙ. දරුවට දීල හරි ඒ පංගුව ආරක්ෂා කරන්නෙ අම්මා තමයි. ඊළ`ගට මුදිතා කියල කියන්නෙ, මං හදාපු දේ ගැන, මගෙ නිර්මාණය ගැන, මගේ ජයග‍්‍රහණය ගැන මං සන්තෝෂ වෙනව. ඔබගේ ජයග‍්‍රහණය ගැනත් මං සන්තෝෂ වෙනවා. අම්ම කෙනෙක් තමයි, අනිවාර්යයෙන් ම  තමන්ගෙ ජයග‍්‍රහණයට වඩා දරුවෙක්ගෙ ජයග‍්‍රහණය ගැන සතුටු වෙන්නෙ. එතකොට ඒකත් අම්මගෙන් එන ප‍්‍රතිපත්තියක්. ඊළ`ගට අවසානය තමයි උපේක්‍ෂාව. කවුරු හරි මට ගැහුවත් තරහක් නෑ මගෙ, මං සමාව දෙනවා කියල අම්ම කියනව. ඒකම තමයි මේ කියන්නෙ.. උපේක්ෂාව එවැනි ක‍්‍රියාදාමයක්.

ඒ පැරණි සමාජයේ තිබිච්ච පුරුෂවාදී සමාජය විසින් යටපත් කරන්න බැරි සමාජයක් තිබුණ කාන්තා සමාජය. අයිතිවාසිකම තමයි ඉදිරිපත් කරල බුදුන් ඉදිරිපත් කරල තියෙන්නෙ ධර්මය…ඒ වගේ ම අනෙක් පැත්තෙන් කළ යුතු නැති දේ හැටියටත් තියෙන්නෙ යුදමය සමාජය. ආයුධ අරගෙන යුද්ධ කරන එක තමයි, සමාජයේ ශක්තිය නායකත්වය අරව මේව කියන අදහස. ඒක සම්පූර්ණයෙන් ම කාන්තාවාදයට විරුද්ධව එන එකක්. එතකොට ඒ නිසා මේ විදියට මේක ලෝකෙ ඇති වෙලා, පසුකාලීනව ලෝකය ගමන් කර ගත්තෙ මේ ආරම්භ කරපු පුරුෂවාදී සමාජ තුළ

ආයුධ සන්නද්ධ බලකායන් හදාගෙන ඉන්නවා. ආයුධ සන්නද්ධ බලකායන් හදාගෙන ඉන්නෙ ඔක්කොම. අනෙක් අය යටත් කරගෙන ඉන්නවා. අපි කියනව, අපි යටත් වෙන්නෙ නෑ. ඒත් අනෙක් උන් යටත් කර ගන්නවා. දැන් මේක සූදානමට තමයි දැන් ඔක්කොම පුරුෂවාදී සමාජය ලෑස්ති කරල තියෙන්නෙ. එතකොට ඒ ලෑස්ති කරල තියෙන එකේ හැම වෙලේ ම හමුදාවක් ඉන්නවා. හැමදාම හමුදාවට ගැළපෙන සෙල්ලම් තමයි උගන්වන්නෙ. ඔක්කොම රගර් ගහනව, ක‍්‍රිකට් ගහනව, මොනව හරි ගහල අරුන්ව නැති කරල, භංග කරල කෑගහන්න  ඕන කියන එක තමයි උගන්වන්නෙ. ඊට පස්සෙ ඒක ගෙනියනව හමුදාවට. හමුදාවට දානව. හමුදාවෙන්  ඕක තමයි කරන්නෙ. එතකොට මේ පුරුෂවාදී සමාජයේ ගමන තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියල එකක් ගන්න බෑ. ඔය විදියට අනෙක් මිනිස්සු යටත් කර ගැනීම සඳහා තියෙන ආයුධ සන්නද්ධ බලකායන් ආයුධ ටික තියෙනකම් ඔක්කෝම ආයුධ සන්නද්ධ වුණාම ඔක්කෝම නිහ`ඩව ආයුධ ටික පවත්වාගෙන ඉන්නව. නිව්ක්ලියර් වෙපන්ස් දුන්න නම් එකෙක් ගැහුව නම් අනෙකත් ගහනව. ඔය ඔක්කෝම ටික ඉවර වෙනවා. ඔක්කොමල දන්නවා, කවුරුවත් පාවිච්චි කරන්නෙ නෑ. හැබැයි පල්ලෙහ ඉන්න වුන් ගහගන්න ඒවට ඒව සල්ලිවලට විකුණල ආයුධ බලකායන් තියෙන සමාජයක් හැදිල. මේක තමයි ධනවාදී සමාජය කියල අවසානයට ඇවිල්ල තියෙන තත්වය.

මේක අයින් කරන්න නම්, මනුෂ්‍යත්වය අපි ආපහු මාතෘ මූලික සමාජයට නැවත ගෙනියන්න  ඕන. ඒ තියෙන තත්වයට හරවන්න අපි ඔක්කොමලගෙ එක`ගත්වයක් ඇති වෙලා එහෙම ගෙනියන්න  ඕන. මොකද අපි හැමෝම බුදුන් වඳින අය බුදුන් වඳිනවා. මෙත්තා, මුදිතා, කරුණා උපේක්ෂා කියල ඔක්කෝමලා කියනව. කි‍්‍රස්තුස් වහන්සේගෙ බලවත් කියල කියනව. කවුරු මොනව කිව්වත් ඒක මූලධර්මයක් විදියට කවුරුත් අරගන්නෙ නෑ. මොකද මාතෘමූලික සමාජයක් කියන්නෙ, මාතෘවරුන් බලයක් පාවිච්චි කරන්න පුලූවන් සමාජයක්. දැන් අපි කොච්චරවත් කතා කරනව, කාන්තාවන්ට බලය දෙන්න  ඕන.

කාන්තාවන් ශක්තිමත් තරන්න  ඕන කියලා අපි කියනව. කිව්වට කිසිම බලයක් එහෙම දෙන්නෙ නෑ. කාන්තාවන්ට කරන්න බැරි ආයුධ අරව මේව ගෙනල්ල කෙරුවම කාන්තාවන් පැත්ත පළාතේ එන්නෙ නැති ඒවා තමයි සෙල්ලම් වුණත් තියෙන්නෙ, තර`ග ඔක්කොම තියෙන්නෙ ඒ විදියට. ඒ නිසා සමාජය ප‍්‍රජාතන්ත‍්‍රවාදී කරනව කියන එක, සමහරු කියනව.. දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය තියෙනව. ඒකෙදි වහල්ලූන්ව නිදහස් කරා. වහල්ලූන්ව නිදහස් කළා තමයි, වහල්ලූන්ව නිදහස් කරල ආයුධ නැති සමාජයක් ඇති කළේ නෑනෙ. ඊට පස්සෙත් ආයුධ සමාජයක් තියෙන්නෙ. වහලූන් ඒ ආයුධ අර ගන්නවා. ඒවා කරගෙන එහෙම සමාජයක් ඇති කරන්න. එතකොට ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය කොයි විදියකින්වත් මුක්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නෙවෙයි. අපි හිටපු ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෙවෙයි. හිටපු ප‍්‍රජාතන්ත‍්‍රවාදය කවුරුවත්, කාටවත් හිංසා කිරීම සඳහා ඉඩ තියා ගන්න සමාජයක නෙවෙයි අපි හිටියෙ.

එතකොට මේ විදිහට අපි කල්පනා කළොත් එහෙම යන ගමනක්, මේ පුරුෂවාදී සමාජයේ තියෙන අංග ලක්ෂණ පරාජය කරල, ඇත්තම සමාජවාදී විප්ලවයක් හරි මොන විප්ලවයකින් හරි ඒක කළොත්, ඒක තමයි අවසානයකට අපිට කියන්න පුලූවන්. එහෙම නැතුව මෙතන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කිරීම තුළ, දැන් ආයුධ සන්නද්ධ ජනතාවක් එක කොටසකට සංවිධානය කරන දීල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කළාට ප‍්‍රශ්නයක් නැති වෙන්නෙ නෑ. දැන් ලංකාවෙ හමුදාව ගත්තොත්  90% ක් සිංහල. එතකොට ඔක්කොම බලසම්පන්නෝ සිංහල. හමුදාව සිංහල. එතකොට කියනව ආරක්ෂාව අපිට තියෙන්න  ඕන. කාටද මේ ආරක්ෂාව තියෙන්නෙ. ආරක්ෂාව කියන්නෙ සිංහලයන්ගෙ බලය තියෙන එක ආරක්ෂාව. එතකොට අනෙක් එකාට ආරක්ෂාව නෑ. එතකොට කවුරු හරි කිව්වොත් එහෙම හමුදාවල එකකවත් මේ සිංහලෙන් අණ දෙනවද? නෑනෙ. දකුණට හැරෙන්න. වමට හැරෙන්න කියල කියනව. එහෙම නැත්නම් ඉංග‍්‍රීසියෙන් කියයි. දෙමළෙන් කියනවද?

දෙමළෙන් කියන හමුදා ඛණ්ඩයක් තියෙනවද? මාර්ච් කරන්න පුලූවන්, කෑගහන්නෙ මොකෙන් ද. සටන් කරන්න අණ දෙන්නෙ මොකෙන් ද? කතා කරන්නෙ මොකෙන් ද? වැඩ කරන්නෙ මොකෙන් ද? හමුදා ක්‍ෂේත‍්‍රයේ කිසිම දෙමළ ප්ලැටූන් එකක්වත් තියෙනවද? දෙමළ කතා කරන එක ප්ලැටූන් එකක්වත් නෑ. ඒකට කියනව, මේක ලංකාවෙ දේශීය හමුදාව. ඒකට ඔක්කොම බැෙ`දමු කියලා. ඒක විහිළු කතන්දරයක් විතරයි. එතකොට ඔය හමුදාවෙ සියයට කීයක් ඉන්නවද කාන්තාවො. මං හිතන්නෙ 10% ක් වත් නැතිව ඇති. ඉහළ තට්ටුවේ නම් එකෙක්වත් නෑනෙ. ඒ නිසා මේක මේ සම්පූර්ණ භයානක තත්වයක තියෙන රටක්.  ඕන රටක් එහෙමයි. එහෙමයි සුද්දො කළෙත්. එංගලන්තෙත් එහෙම තමයි. කතා කළා ද? දැන් තමයි, ටිකක් හරි නැගිටල, ඇවිල්ල සටන් කරල, කාන්තාවන්ගෙ අයිතිවාසිකම් ගැන කතා කරන්නෙ. එතකොට මාතෘමූලික සමාජයක් ගැන කතා කරන්නෙ නෑ එතනත්. නැත්නම් ඉන්න කාන්තාවො පිරිමි වගේ නටල, කොහොමද යන්නෙ කියල බලන්න. ෆුට්බෝල් ගහනව නම්, කාන්තාවොත් ෆුට්බෝල ගහනව, නැත්නම් වෙන එකක් කරනව නම්, ඒකත් අපි කරනව. අර පිරිමියාගෙ ආවේශයට යන්න උත්සාහ කරනව මිසක මේ කාන්තාවො හැටියට අපි මේකයි කරන්නෙ, අපි අම්මලා හැටියට මේකයි අපි අද ගෙදර කරන්නෙ, ඒක තමයි සමාජයට දෙන්නෙ කියලා කවුරුවත් කියන්නෙ නෑනෙ. ඒක උගන්වන්නෙත් නෑ. ඒ නිසා මේක මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන එක එක්තරා විහිළුවක් තමයි. නමුත් අර සම්පූර්ණයෙන් ම හමුදා බලය ඇතිව, හමුදාව හංගගෙන ඉඳගෙන සාමාන්‍යයෙන් ඉතින් අනෙක් දවස්වලට හමුදාව පෙන්නන්නෙ නැතිව වැඩ කරගෙන යන එක තමයි, ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නෙ. ඒක තුළ සාධාරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇති වෙනවා කියල මං විශ්වාස කරන්නෙ නෑ. 

– දර්ශන ලියනගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *