කෑමේ, බීමේ දේශපාලනය

කෑමේ, බීමේ දේශපාලනය

//අද ආයතනයේ තිබුන වෛද්‍ය සායනයකට සහභාගි වුනා. මෙතන එක දොස්තර මහත්මයෙක් ඉතා වැදගත් කතාවක් කිව්වා. මායි, මගේ යෙහෙලියකටයි , තවත් අයෙකුටයි.
මේ රිපොට්ස්වල තියෙන ඉලක්කම් ඉස්සෙල්ලා ම අමතක කරන්න. මේ අගයන් අඩු වැඩි වීම නෙවෙයි ප්‍රශ්නය වෙන්නේ.
මේ අගයන් මේ ප්‍රශස්ථ මට්ටමෙන් පවත්වාගත යුතු යි කියලත් නෙවෙයි වෙන්න ඕනේ.
ඔයාට යම් ශාරිරික අපහසුතාවයක් තියෙනවනම් ඒක ඔයාට යි දැනෙන්න ඕන.
ඔයාට එදිනෙදා වැඩ හරිහැටි කරගන්න බැරිවෙනව නම්, අකාර්යක්ෂමතාවක් දැනෙනව නම්, වේදනාවක් දැනෙනව නම්
අන්න එතනයි ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ.
ඒ දේවල් ඔයාගේ ජීවිතයට බලපාන්නේ කොහොමද කියන එකෙයි වැදගත්කම තියෙන්නේ.
ඒක නිසා රිපෝට්ස් වල තියෙන ඉලක්කම්වලට ඔයා කම්පා වෙන්න එපා !//
මේ Sudarika Perera විසින් පසුගිය මාර්තු 26 දින තබන ලද වත්පොත් සටහනකි. මෙය සාමාන්‍යයෙන් බටහිර වෛද්‍යවරුන් විසින් අනුගමනය කරන ක්‍රියා පිළිවෙතට වෙනස් ආකාරයේ හැසිරීමකි. බොහෝ විට මේ අදාළ වෛද්‍යවරයා මේ අදහසට පැමිණ තිබෙන්නේ සිය ජීවිත ව්‍යවහාරය මඟින් වීමට තිබෙන ඉඩ කඩ වැඩි ය. මක් නිසාද යත් බටහිර වෛද්‍ය විද්‍යා දැනුම වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය අනුව මෙවැනි අදහසකට කිසිදු ඉඩක් නැති බැවිනි. වර්තමාන බටහිර වෛද්‍යවරයා යනු වෛද්‍ය පරීක්ෂණ, ඖෂධ, සහ බටහිර වෛද්‍ය විද්‍යා දැනුම යන ලක්ෂ්‍ය තුන යාන්ත්‍රික ලෙස යා කරන රොබෝවරයෙකුගේ භූමිකාවට වැඩි දෙයක් කරන්නෙකු නො වේ. බටහිර වෛද්‍ය විද්‍යාව සම්බන්ධ මූලික ගැටළු එසේම තිබිය දීත්, මින් දශක කිහිපයකට පෙර බටහිර වෛද්‍යවරු සම්බන්ධයෙන් “අත්දැකීම” යන කලාපය විසින් ආවරණය කරන ලද භූමිකාවක් ද තිබුණි. මාතර ප්‍රදේශයේ ජීවත් වූ වෛද්‍ය ෆර්ඩිනන්ඩ්ස් වැනි වෛද්‍යවරයෙකු සිය අවසන් කාලයේ පවා රෝග විනිශ්චය සම්බන්ධයෙන් වැඩිපුර විශ්වාසය තැබුවේ තම රෝගියා පරික්ෂා කිරීමෙන් ලබන අත්දැකීම සහ සිය දීර්ඝ කාලීන අත්දැකීම් මත ය. එහෙත් ඒ ඒ කුඩා ශරීර කොටසට ඒ ඒ විශේෂඥ වෛද්‍යවරුන් වැඩිවීමත්, වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයේ තාක්ෂණික වර්ධනයත් (මෙය අර්ථ දැක්වෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ දියුණුව වශයෙනි) නිසා දැන් වෛද්‍යවරයා යනු ක්ෂුද්‍රකරණය වූ වෛද්‍ය විද්‍යා දැනුමෙහිත් වෛද්‍ය පර්යේෂණවලත් වහලෙකි. ඒ අනුව ඔහු ඉටු කරන්නේ ඖෂධ සහ වෛද්‍ය පර්යේෂණ සේවා වෙළඳ නියෝජිතයෙකුගේ භූමිකාව ද වෙයි. ඖෂධ සමාගම්වල වෙළඳ නියෝජිතයන් හවසට හවසට පැමිණ මේ වෛද්‍ය වෙළඳ නියෝජිතයාට ඖෂධ නිර්දේශ කර යාම පෞද්ගලික රෝහල් ආශ්‍රිත සුලබ දර්ශනයකි.
සැබවින් ම “ආයු අපේක්ෂාව වැඩිවීම”, “මළ දරු උපත් අඩුවීම”, පූර්ව රෝග නිවාරණය (එන්නත්කරණය) සහ “පූර්ව රෝග හඳුනා ගැනීමේ හැකියාව වැඩිවීම” වැනි බටහිර වෛද්‍ය විද්‍යාවේ බලපෑම නිසා අපට ලැබී ඇතැයි කියන “ප්‍රතිලාභ” සම්බන්ධ මතුපිට කතන්දරයට යටින් අපගේ “සෞඛ්‍යය” (මෙලස වෙන් කොට ගත හැකි දෙයක් සැබවින් නො පවතී) සම්බන්ධයෙන් අප සිටින්නේ ජංජාලයක ය. අප කළ යුතු නො කළ යුතු දේ, කෑ යුතු දේ/නො කෑ යුතු දේ සහ ඒවායේ ප්‍රමාණ, බිව යතු දේ සහ නො බිව යුතු දේ සහ ඒවායේ ප්‍රමාණ (උදාහරනයක් ලෙස වගකීම් සහගත මත්පැන් පානය – responsible drinking යටතේ ඔබට “විද්‍යාත්මක” සීමාවක් තුළ ඇල්කොහොල් පානය කළ හැකි ය. එපමණක් නො ව ලොව ඇතැම් රටවල නිර්ණායක අනුව ඔබට “විද්‍යාත්මක” සීමාවක් තුළ කංසා භාවිත කළ හැකි ය), කළ යුතු සහ නො කළ යුතු ශාරීරික අභ්‍යාස සහ ඒවායේ ප්‍රමාණ, වශයෙන් නිමක් නැති උපදේශන රැසකට අප නිරාවරණය වී සිටින අතර මේ “දැනුම” විසින් අපගේ ආත්මය හිස්ටරික තැනක ස්ථානගත කොට ඇත. උදාහරණයක් ලෙස රුහුණ විශ්වවිද්‍යාලයේ අහාර තාක්ෂණය පිළිබඳ මහාචාර්යවරයෙකු වන Nilantha Liyanage පසුගිය මාර්තු 19 වැනි දින සිය වත්පොත් සටහනකින් අහාර සහ සෞඛ්‍ය මාෆියාව ගැන අදහසක් දක්වා තිබිණ. ප්‍රශ්නය වන්නේ මෙවැනි අනාවරණයන් ඔනෑ තරම් තිබිය දී එක ම දේ ඒ විදියට ම සිදුවන්නේ මන්ද යන්නයි. අනෙක් අතට මෙවැනි “අනාවරණයන්වලින්” හෙළිදරව් කරන දේ ගැන ගැන අප නො දන්නේ ද? අප වස විස කන බව අප නො දන්නේද? එය අපට නො දැනෙන්නේද? වත්පොතෙහි ම එවැනි දේ ගැන කෙතරම් දේ හමුවන්නේ ද? එක අතකින් අපි ඒවා දැන දැන නො දන්නා සේ එයම කරන නරුමවාදීන් වන අතර ම, අනෙක් අතින් අපගේම නරුමවාදයට අපට පිටතින් සිටින “විශේෂඥයන්ගෙන්” විසඳුම් ඉල්ලා සිටින හිස්ටරිකයින් ද නො වෙමු ද? මෙවැනි “විද්‍යාත්මක” අනාවරණයන් කලින් කලට යාවාත්කාලීන වන දැනුමට අනුව ආහාර ශරීරයට විශ වන/නොවන නව ආකාර සොයාගනිමින් මේ විෂම චක්‍රයේ ම කොටසක් ලෙස ක්‍රියාත්මක නො වන්නේ ද?
සංතෘප්ත මේද අම්ල බහුල ඌරු තෙල්, හෝටලවල කුස්සිවලින් බැද ඉවත් කරන කුකිං ඔයිල්, අරක්කු පානයෙන් ලෙඩ වීම ආදී වශයෙන් කාරණා ගත් විට ඔවුන් අපට කියන්නෙ මේ මේ ආහාර භාවිතාවන් ප්‍රතික්ශේප කර නිවැරදි පරිභෝජන රටාවක් තුළ රැඳීමෙන් රෝගී නොවී සිටිය හැකි බවය. මේ නිවැරදි ආහාර රටාව යනු කුමක්ද? එය තීරණය කෙරෙන “දැනුම” කුමක් ද?
මේ මේ ආහාර මේ මේ ප්‍රමාණවලින් ගැනීමෙන් ලෙඩ නො වන බව අප දැනගන්නේ කෙසේ ද? නීරෝගී ව ජීවත්වීම පිළිබඳ ව දිනපතා අපට තොරතුරු ලැබේ. යහපත් සෞඛ්‍ය පුරුදු පාසල් අධ්‍යාපනයේ අනිවාර්ය අංගයකි. අපගේ ශරීරය, එහි ස්වභාවය, ක්‍රියාකාරිත්වය වැනි සියලු දේ අපි හොඳින් ම “දනිමු”. මීටත් අමතර ව සියලු රූපවාහිනී ගුවන්විදුලි නාලිකාවල උදෑසන පැයක් දෙකක් වෙන් කරන්නේ වෛද්‍ය සාකච්ඡා සදහා ය. වෛද්‍යවරුන් විසින් පවත්වාගෙන යන YouTube නාලිකා, වත්පොත් කණ්ඩායම් සහ පිටු , නොමිලේ පවත්වනු ලබන වෛද්‍ය සායන, පාසැල් මට්ටමින් පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩමුළු, විශ්වවිද්‍යාල මගින් පවත්වන ප්‍රදර්ශන වැනි අටෝ රාශියක් “දැනුවත්” කිරීම් තිබේ. මේ සියලු මාර්ග මගින් දෛනික ජීවිතයේ සියලු ක්‍රියාකාරකම් පැහදිලි කරනු ලබයි. ආහාරයක අඩංගු ලිපිඩ, මේදය, පිෂ්ටය ආදී සංයෝග, ඒවා සිරුරට අවශ්‍යකරන ප්‍රමාණයන්, එම ප්‍රමාණයන් වැඩි හෝ අඩු වූ විට සපුරාගත යුතු පිළිවෙත් (ව්‍යායාම,බෙහෙත්..), ආහාර වේල් ගනන, දිනකට පානය කල යුතු ජල ප්‍රමාණය, නිදාගත යුතු පැය ගණන, දත් මැදීම, ශරීරය පිරිසිදු කර ගැනීම, ශරීර කෘත්‍යය, ආදී වශයෙන් සමස්ත දෛනික ජීවිතයම මේ දැනුම විසින් තීරණය කරයි. මේ දැනුම අප කරා එන්නේ එය නිපදවන්නන් නැතහොත් ඒ පිළිබඳ විශේෂඥයන් හරහා ය. කලින් සඳහන් කළ ආකාරයට පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා ම විධිමත් අධ්‍යාපනය තුළත්, රුපවාහිනී සංවාදවල සිට ඉරිදා පුවත්පත් සමඟ බෙදා හරින ටැබ්ලොයිඩ් අතිරේක දක්වා නොව්ධිමත් අධ්‍යාපනය තුළත් මේ දැනුම පවතී.
දැන් මේ දැනුම තුලින් ඒ ඒ නිර්ණායකවලට අනුව නිශ්චිත ආහාර පරිභෝජන රටාවක් පවතින අතර නිර්ණායකවලින් ඔබ්බට යන විට ඒවා වැරදි ආහාර රටාවන් බවට පත් වේ.
“විද්‍යාත්මක” දැනුම අපට කියන්නේ “වගකීම් සහගත පරිභෝජනය” මඟින් අප මුහුණ දෙන ප්‍රශ්නය විසඳා ගත හැකි බව යි. මෙය පුද්ගල වගකීමක් වන අතර තනි තනි පුද්ගලයා සිය අහාර සම්බන්ධයෙන් වගකීම්සහගත විය යුතු ය. සමාජීය ප්‍රශ්නයක් ලෙස මෙයට මුහුණ දෙන්නේ කෙසේද යන්න අභිමුඛ වූ විට ඉදිරිපත් වන ජනප්‍රිය විසඳුම වන්නේ “රාජ්‍ය නියාමනය” වැනි ක්‍රියාවලියකි. එහි ඊ ළඟ පියවර වන්නේ “යහපත්” පාලකයන් පත් කරගැනීම යි. අපේ නරුමවාදය නැවතත් අප “යහපත් පාලකයන්” ඉල්ලා සිටින හිස්ටරිකයන්ගේ තැන ස්ථානගතගත කරන්නේ ඒ ආකාරයට ය.
ආහාර ගැනීමේ දී ලිපිඩ, මේදය ප්‍රෝටීන ආදිය ගැන සැලකිලිමත් වීමට නූතන දැනුම විසින් යෝජනා කරයි. මේ “සංඝටක” යනු අපට දෛනික ව්‍යවහරයේ දී හමුවන ඒවා නො ව අපෙන් බාහිර ව, වියුක්ත ව පවතින ඒවා වේ. පොල් තෙල් කෑමට සුදුසු ද නැද්ද යන්න ව්‍යවහාරයක් ලෙස අප වෙත පැමිණ තිබුණි. එහි ගඳ සුවඳ, පැහැය ආදිය අනුව පරිභෝජනයට සුදුසු/නුසුදුසු බව අපට ම තීරණය කළ හැකි ව තිබිණ. ඒවා ඉන්ද්‍රීයගෝචර සංයුක්ත අත්දැකීම්‍ ය. නමුත් පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් ඇති බව කී විට එය අපේ අත්දැකීමෙන් හදුනාගත නො හැක. පැහැය, ගඳ සුවඳ පවා රසායනිකව පෙර පැවති තත්වයටම වෙනස් කර ඇති බැවින් පොල්තෙල් කෑමට සුදුසු ද නැද්ද තීරණය කිරීමට ඒ පිළිබද ව්ශේශඥයෙකු අවශ්‍ය වේ. ගඳ සුවඳ වැනි සරල අත්දැකීමක සිට ඇෆ්ලටොක්සීන් නැමති වියුක්ත සංකීර්ණ සංකල්පයක් තුළින් අප දැනුමකට යටත් වේ. එසේ ම සමස්ත සොබාදහම ම වෙනස් වී ඇති තත්වයකදී පොල් තෙල් සතුව ද පෙර පැවති ව්‍යවහාරික ව හදුනාගත හැකි ව තිබූ ගුණ වඩාත් සංකීර්ණ වී ඇත.
දැන් අප සිටින්නේ විශේෂඥ දැනුමේ “විපරීත” අධියරක ය. “විද්‍යාත්මක දැනුම” එක ම දැනුම වීම සමඟ ම සිදු වූ අනෙක් දෙය නම් සියලු ආකාරයේ “දැනුම්” සහ අතීත ව්‍යවහාරයන් පවා “විද්‍යාත්මක දැනුම” සේ බෞතිස්ම වීමයි. ඒ අනුව දැන් ආයුර්වේදය හෝ ඊනියා “හෙළ වෙදකම” කියා දෙයක් නැති අතර ඇත්තේ එක ම “විද්‍යාත්මක” දැනුමකි. දිලිත් ජයවීරගේ අරුණ පුවත් පත සමඟ බෙදා හැරෙන “ආයුෂ්” ටැබ්ලොයිඩ් අතිරේකය අපට ආයුර්වේද සහ “හෙළ ඔසු” මෙන් ම සුදුසු නුසුදුසු කෑම බිම නිර්දේශ කරන්නේත්, තිස්ස ජනනායක සමෝධානික වෛද්‍යවිද්‍යාව” (integrated medicine) ගැන කියමින් “ෆැටි ලිවර්” “ග්‍රේඩ් වන්” සඳහා “යකිනාරන් කොළ කැඳ” නිර්දේශ කරන්නේත් මේ පසුබිමෙහි ය. “විද්‍යාත්මක “දියුණුව” අපගේ සෞඛ්‍යය අපට මුණ ගස්වා ඇත්තේ ක්ෂ්තියක් ලෙස ය; චැනල් පෝලිම්වල දොස්තර වන්දනාවේ යන ගමන් කිසිදා දැක වත් නැති “හීන් බෝවිටියා”, සහ “මොණර කුඩුම්බිය” වැනි කැඳ පානය කරමින්, අපි ගැළවිය නො හැකි ජංජාලයක පැටලී සිටිමු.
විද්‍යාත්මක දැනුම නිරන්තරයෙන් අලුත් වෙමින් එය විසින් ම අර්තකතනය කල පැරණි සත්‍යන් අසත්‍යකරණය කරන නිසා ආහාර වල අඩංගු යැයි කියන විශ රහිත සංඝටක යලි විශ සහිත සංඝටක බවටත් එහි ප්‍රතිලෝමය බවටත් පත්වේ.
ළිං ජලය වෙනුවට එයට වඩාත් පහසු සහ “සෞඛ්‍යමය” ලෙස අර්ත දැක්වූ ටැප් ජලය ආදේශ වූ පසු “ක්ලෝරීන්” නම් අලුත් වචනයක් දෛනික ව්‍යවහරයට එක් විය. “පහසු සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතය” පැමිණෙන්නේ තනිව නො ව ක්ලෝරීන් සමඟ ය.ක්ලෝරින් ශරීරගත වීමෙන් පසු ඇතිවන රෝගී තත්ව යනු මේ “පහසු ජීවිතය” විසින් ම දායාද කළ යමක් ලෙස නො ගෙන නව රෝගයක් ලෙස වටහාගන්නා අතර ඒවාට ප්‍රතිකාර කිරීම “පහසුව” ලෙස යලිත් අරුත් ගැන්වේ. ක්ලෝරින් ශරීරයට විස ද නැද්ද යන ප්‍රශ්නය වෙනුවට විස වන්නේ කුමන මාත්‍රාව ඉක්මවා ගිය විට ද යන ප්‍රශ්නය විද්‍යාව විසින් හදුන්වා දෙයි. මේවායේ මාත්‍රාවන් නිර්ණය කිරීම විද්‍යාව භාර ගනිද්දී එහි ඒජන්තයින් වන වෛද්‍යවරුන් විසින් මාත්‍රාව ඉක්මවන තත්වයන් හෙළි කිරීම භාර ගනී. ක්ලෝරින් යනු කුමක්දැයි නොදැන වුව ද ක්ලෝරින් දැමූ විට ජලය පිරිසිදු වන බව සාමාන්‍ය මිනිසුන් දන්නේ කෙසේ ද? සැබෑවට ම එය දන්නේ නැත. ඔවුහු එය එසේ වෙනවා යැයි විශ්වාස කරති. ජලයේ පිරිසිදු බව ව්‍යවහාරයෙන් (දැකීමෙන්) වටහාගැනීම තව දුරටත් වලංගු නැත. විශබීජ යනුවෙන් වියුක්ත යමක් පවතින බව විද්‍යාව විසින් පවසා එය විසින් ම ක්ලෝරින් යෝජනා කර ඇත. මෙසේ “නිෂ්පාදනය” වන ජලය ද දිනකට පානය කල යුතු ප්‍රමානය වෛද්‍යවරුන ම පවසති. ජලය පානය කිරීම යනුවෙන් හුදකලා ක්‍රියාවක් නැත. එය “තිබහ” සමග සම්බන්ධය තුළ පමනක් ප්‍රකාශ වෙයි. නමුත් දිනකට මේ මේ ප්‍රමානවලින් ජලය භාවිතා කල යුතු යැයි දැනුමකින් තීරනය වන විට “තිබහ”නම් ව්‍යවහාරය වෙනුවට ජලය නිශ්චිත ප්‍රමාණයක් පානය කිරීම දක්වා යාන්ත්‍රික වන අතර එය “විද්‍යාත්මක” ජල පානයක් බවට පත් වේ. නළ ජලය “අපිරිසිදු” ලෙස අර්ථ ගැන්වෙන විට වෙළඳපොළ මඟින් ජල පෙරණ හඳුන්වා දෙන අතර, ජල “පෙරණවල” ක්‍රියාකාරිත්වය “විද්‍යාත්මක” ව අවිස්වාසයට ලක් වන විට ඍජුව ම වෙළඳපොළෙන් “පිරිසිදු” ජලය මිල දී ගැනීමට සිදුවන අතර වෙළඳපොළ අවසන් නිෂ්ඨාව ලෙස ඉතිරිවෙයි.
ඉන්දියාවේ දැනටමත් ස්වසනය සදහා පිරිසිදු ඔක්සිජන් අලෙවි කරන ස්තාන ඇත.ඔක්සිජන් එහි දී ම ලබාදෙන අතර ලබාගන්නා කාලය අනුව මුදල් අය කෙරේ.ඒ අනුව හුස්ම ගැනීම සවිඥානිකව (හිත හිතා) කල යුතු ක්‍රියාවක් බවට පත් වී ඇත. වායුගෝලය ම විස වායුවලින් පිරී තිබියදී, ඔක්සිජන් ම (ස්වසනය සදහා ඔක්සිජන් අවශ්‍ය බව කියන්නේ විද්‍යාවයි. ඔක්සිජන් සොයා ගැනීමට පෙරත් මිනිස්සු හුස්ම ගත්තේය) පිටින් ලබාගත යුතුව තිබිය දී පවා සිගරට් දුමේ පිළිකාකාරක බව ගැන කතා කිරීම ම විහිලුවකි. ඩීසල්,පෙට්‍රල් දහනය සාමාන්‍යකරණය වූ විට ඒවා ස්වභාවිකව බාර ගනිමින් අවශේෂ කාරණා මත (සිගරට්, දර ලිප්) විරෝධය පෑම යනු පද්ධතිය පවතින්නේ එවැනි විරෝධයන් තුලම බව ප්‍රකාශ වීමකි. අනික් අතට ඒවා ගෙන හැර පාන්නන් අපට පෙන්වන්නේ වෙළඳපොළට මේ සියල්ලට විසඳුම් පවතින බව යි.
අහාර හෝ ජලය හෝ වාතය හෝ යනුවෙන් සුවිශේෂී ක්‍රියාවන් නැත. ඒවා මූලික අවශ්‍යතා බව කියන්නේ ම නූතන දැනුම විසිනි. සමස්තය තුලින් ඒ ඒ ක්‍රියාවන් සුවිශේෂී කොට සැළකීම දැනුමේ/ විද්‍යාවේ ආකෘතිය වේ. මිනිස් පැවැත්ම එසේ තනි තනි ක්‍රියාකාරීත්වයන්ගේ එකතුවක් දක්වා සරල කරමින් විද්‍යාව විසින් ඒ ඒ ක්‍රියාවන්ගේ සීමා මායිම් ලකුණු කරන අතර පැය 8ක් හෝ 6ක් නිදා ගැනීම, ජලය ලීටර් 6ක් පානය කිරීම, වේල් තුනක හෝ හතරක ආහාර රටාව ආදී ලෙස තනි අධිපති දැනුමකින් (දැන් පවතින “විද්‍යාත්මක” දැනුම පවතින්නේ ම අධිපති දැනුමක් ලෙස ය.) සියල්ල තීරණය කරයි. හුස්ම ගැනීම ඔක්සිජන් ලබා ගැනීම තෙක් ද, තිබහ ජලය මාත්‍රා ව අනුව පානය තෙක් ද ලඝු වෙමින්, ජීවිතය ව්‍යවහරික අවබෝධයෙන් ගලවා වියුක්ත දැනුමක් යටතේ ස්තානගත වේ. අප එරෙහි විය යුත්තේ මේ ඛණ්ඩනයටයි. එනම් ව්‍යවහරිකව දේවල් වටහාගැනීමේ ගුණය බාහිර දැනුමක් බාරගැනීම දක්වා විතැන් වීමටත්, එම දැනුම වෙළදපොල විසදුම් තුලින් ප්‍රකාශ වීමටත්, වෙළදපොළ විසදුම්වල හිමිකාරිත්වය දිනාගැනීම දේශපාලනය ලෙස වර නැගීමටත් (ධනවාදී හෝ සමාජවාදී) එරෙහි වීමයි. ප්‍රශ්නය අපේ නරුමවාදීකම යි, යහපත් පාලකයන් යැදීම අපගේ හිස්ටරික ඉල්ලීමයි!

නිරංජ හර්ෂ
කෝසල කෝරළගේ