පෝට් සිටි විරෝධය හා වාමාංශයේ උභතෝකෝටිකය

පෝට් සිටි විරෝධය හා වාමාංශයේ උභතෝකෝටිකය

කොළඹ වරාය නගර පණත පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම සදහා යොමු වීමත් සමඟ ඒ පිළිබඳව වන කතිකාව ඉතාමත් තීව්‍ර තලයකට පැමිණියේය . මුහුණු පොතේ සාමාන්‍ය තරුණයෙකු “දැන් සැපද?” යැයි චීන භාෂාවෙන් ලියා කෝචෝක් දැමීමේ පෝස්ට් පල කිරීමේ සිට ජාත්‍යන්තර දේශපාලන පොර පිටිය තෙක් කතිකාව ඇවිලී ගියේය .මුහුණු පොතෙන් මුහුණ ඉවතට ගැනීමටවත් නොසිතෙන තරම් ආතල් වැකි දහස් ගණනින් හුවමාරු විය. පරිසරවේදීන්, ජාතිකවාදීන්, දේශප්‍රේමීන්, වාමාංශිකයින් පමණක් නොව ඇතැම් ලිබරල්වාදීහුද තරගයට මෙන් විරෝධයේ ගිණිසිලු දැල්වූහ. සමහර රූපවාහිනී නාලිකා ස්වකීය “පරම උද්ධෘත” පවා චීන භාෂාවෙන්  වර නැගුවේ ව්‍යංගාර්ථයෙන් කින්ඩි දමන්නේ කෙසේද යන්න ප්‍රකට කරමිනි. මෙලෙස පෝට්සිටි විරෝධීන්ගේ අති විවිධත්වයක් දක්නට ලැබුණි. එහෙත් ඒ බැලූ බැල්මට පමණි .සියල්ලෝ සමානයින් කරන එක්තරා සුවිශේෂී ලක්ෂ්‍යක් සටහන් විය . එනම්, “සංවර්ධනය” යි. සියල්ලෝම සංවර්ධනය පිළිගනිති . නැතහොත් සංවර්ධනයේ දෘෂ්ටිවාදය දරා සිටිති. මොවුන් අතරවන චූල වෙනස්කම් වනුයේ සංවර්ධනය සිදුකරන්නේ කෙසේද යන්න අරබයා පමණි. එහෙයින් මෙම වියමන පෝට් සිටි විරෝධයේ එක් සුවිශේෂී පාර්ශවයක් වෙත යොමු යෙයි. එනම් ලාංකීය වාමාංශය වෙතයි.

පොදු වශයෙන් වාමාංශිකයෝ කොළඹ වරාය නගරයට විරුද්ධ වුවද, ඔවුන් අතරද සුළු සුළු වෙනස්කම් තිබේ. ඇතමෙක් ලෝක බලතුලනයේ ගෝලීය උතුරට (global north) එරෙහිව ගෝලීය දකුණේ (global south) පාර්ශ්වය ගනිමින් බටහිර ප්‍රාග්ධනයට එරෙහිව චීන ප්‍රාග්ධනයේ ඇති “සුමට බව” වෙනුවෙන් රම්‍ය-ලංකාර වක්‍රෝක්ති ලියමින් සිටින අතර තවකෙක්, බටහිර නූතනත්ව බුද්ධිමය සම්ප්‍රදායේ උරුමය අරබයා ධර්මදේශනාමය ගීතිකා ගයමින් සිටියි. පෝට්සිටි පණත නිසා රාජ්‍යයේ ස්වාධිපත්‍යයට සිදුවන හානිය වෙත තවත් අයෙකුගේ විරෝධයේ වැඩි බර තැබීමක් දක්නට ලැබේ. මේ අතර වඩාත් කැපී පෙණෙන වාමාංශික ප්‍රවාදය වූයේ, කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නිසා දැවැන්ත පාරිසරික විනාශයක් සිදුවන බවයි. මෙම ව්‍යාපෘතිය කිසිදු විද්‍යාත්මක පදනමක් නැති මෝඩ අවිද්‍යාත්මක ව්‍යාපෘතියක් යැයි ඔවුන්ගේ මතයයි. එයින් අනෙක් අතට  කියවෙන්නේ  නිවරැදි ලෙස පරිසර ශක්‍යතා වාර්තා ආදිය මත පදනම් වෙමින් ඉතා විද්‍යාත්මක ක්‍රමවේද යටතේ සංවර්ධන ව්‍යාපෘති කළ හැකි බවයි . එට්කා ගිවිසුම කරලියට ආ මොහොතේද ඔවුන් මෙවැනිම ප්‍රකාශයක් කළේය .එනම්, ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වලට ඔවුන් පොදුවේ විරුද්ධ නැතත්, එට්කා ගිවිසුම නිසා ඉන්දීය කම්කරුවන්ගේ ශ්‍රමය ඉතා ලාබදායි ලෙස සූරාකෑමට ඉඩ සැලසෙන බැවින්  ලංකාවේ කම්කරුවන් හා සමාන වේතනයක් ඔවුන්ටද ලබාදිය යුතු බවයි . එමගින් වැටුප් ශ්‍රමය සූරාකෑම “කළමනාකරණය ” කිරීම අරබයා මනරම් “පෙරටුගාමී’  ප්‍රවාදයක් ගොඩනැගීමට ඔවුන්ට හැකි විය. දැන් මෙතනදී සිදුවන්නේත් එයම ය. පාරිසරික විනාශයකින් තොරව කළ හැකි සංවර්ධනයක් ගැන අප නම් දන්නේ නැත. ඒ සදහා ලෝක ඉතිහාසයේද කිසිදු නිදර්ශනයක් නැත. “පාරිසරික ශක්‍යතා අධ්‍යයන’ වැනි මනස්ගාත වනාහි බොරු සළුපිළි පමණි. එබැවින් ඔවුන්ගේ පෝට්සිටි විරෝධය බරපතල විරුද්ධාභාෂකි.

සංවර්ධනය වාමාංශිකයින්ගේ දෘෂ්ටිවාදී උරුමයකි. මෙය නිල  “මාක්ස්වාදයේ” සුවිශේෂී සංරචකයයි. විශේෂයෙන් සෝවියට් දේශය තුළ ගොඩනැගුණු අති මහත් දැනුමේ අවිඥානය සංවර්ධනය යි. “සමාජ සංවර්ධනයේ සර්පිලාකාර ව්‍යුහය” පිළිබඳ ප්‍රවාදය මීට කදිම නිදර්ශනයකි. මින් කියවෙන්නේ මිනිස් සමාජය අනවරත සහ අනිවාර්ය සංවර්ධනයේ ගමන්මගක ගමන් ගන්නා බවයි .එය පහළ සිට ඉහළටත්, නොදියුණු බවේ සිට දියුණුව දක්වාත්,නොදැනුමේ සිට දැනුම දක්වාත්, මිත්‍යාවේ සිට විද්‍යාව දක්වාත් ආදී වශයෙන්වන ප්‍රගමණය දෙසට දිශානත වූ අනවරත හා අනිවාර්ය සංවර්ධනයේ ගමනකි. එමතු නොව මුලුමහත් සෝවියට් සාහිත්‍යයම මෙකී සංවර්ධනයේ දෘෂ්ටිවාදය දරා සිටී. ඩාවීනියානු පරිණාමවාදී ප්‍රවාදය අනුව යමින් එංගල්ස් ලියූ “වානරයාගේ සිට මිනිසා දක්වා පරිණාමය වීමේදී ශ්‍රමය ඉටුකළ කාර්ය කොටස” නම් රචනය නිල  “මාක්ස්වාදී” සාහිත්‍යයේ මානව සංවර්ධනය අරබයා වන ප්‍රවාදයේ  මුල්ගලකි. එහි කාබන් පිටපතක් බදු සෝවියට් සාහිත්‍යය තුළ හදුනාගත හැකි “මිනිසා යෝධයෙකු වූයේ කෙසේද ?” කෘතිය මීට තවත් එක් කදිම නිදසුනකි . එක් පැත්තකින් මින් සමාජ සංවර්ධනය පිළිබඳව සිත් කාවදිනසුලු “කතන්දරයක්” ගොඩනගන අතර අනෙක් පැත්තෙන්, මිනිසා මිහිමත කේන්ද්‍රය යැයි පවසයි. සෝවියට් සාහිත්‍යයෙන් ආවේෂණය ලද “මාක්ස්වාදීන්ගේ” වඩා සිත් ගන්නා “අත් පොත” බදු කෘතිය , චින්ගීස් අයිත්මාතොව් ලියූ “ගුරු ගීතය” යි. කිර්ගීසිය නම් ඉතාම හද්දා පිටිසර ගමක විසූ අල්තිනායි නම් තරුණියක් එම ආවේනික  නොදැනුමේ “මුග්ධබවින්” මුදවා දැනුමේ හිනිපෙත්ත දක්වා ඇය රැගෙන යන දුයිෂෙන් නම් විප්ලවවාදී කාඩර්වරයෙකු වටා මෙහි ආඛ්‍යානය ගොඩ නැගෙයි. මෙකී කෘතියේ දෘෂ්ටිවාදය ද සමාජ සංවර්ධනය යි. සෝවියට් විප්ලවයේ උණුසුම යන්නත් මත්තෙන්  සංවර්ධනය සදහා වන නිදහස සාක්ෂාත්  කිරීම අරමුණු කරගත් “නව ආර්තික ප්‍රතිපත්ති” (NEP) හදුන්වා දුන් ලෙනින්ගේ, පිටිසරබද ප්‍රදේශ එම අවවර්ධිත මුග්ධභාවයෙන් මුදවා ගැනීම සදහාවන උදාන වාක්‍ය වූයේ, ඒවා සහ නගර යා කරන මංමාවත් ඉදිකිරීම යි. පසුව එම දියුණු නගර වඩාත් දියුණු නගරයවන මොස්කව් හා යා වේ. ඒ අනුව නිදහස සාක්ෂාත් කරන ලද්දේ ආර්ථික සංවර්ධනයේ නිදහස වෙනුවෙනි. ලෙනින්ගේ මරණින් පසු බලයට පැමිණි සෝවියට් නායකයෝ ඔහු අනුව යමින් න්‍යෂ්ටික බලාගාර පවා ඉදිවුණු , සඳ පවා තරණය කළ , අති දියුණු “සංවර්ධිත” සෝවියට් දේශයක් ගොඩනැගූහ. වර්තමානයේ ව්ලැඩිමීර් පුටින් දක්වා දිව එන්නේ ඒ එකම සංවර්ධන මාවතයි. ඒ අනුව පුටින් යනු (ජෝසෆ් ස්ටාලින්, නිකීතා කෘෂෙව්, සහ මිඛයිල් ගොර්බචෝව් මෙන්ම) සෝවියට් විප්ලවයේ උරුමයේ මාවත මිස බොහෝ ට්‍රොට්ස්කිවාදීන් යෝජනා කරන පරිදි එහි ප්‍රතිපක්ෂය නොවේ. (සැබවින්ම ට්‍රොට්ස්කි සිටියේද මේ සංවර්ධන උරුමය දරාගෙනය.) පිටිසර ගම්මානවල සිටි “මුග්ධ” අල්තිනායිලා “සංවර්ධනයේ” සහ “ප්‍රගතියේ” ආත්ම බවට පරිවර්තනය කොට මේ සංවර්ධන මාවතට ගෙන ඒම රුසියානු දුයිෂෙන්ලා විසින් කරන ලද “විප්ලවීය” කාර්යභාරය යි. දුයිෂෙන්ගෙන් ආවේෂණය ලබා ඇති ලාංකීය “මාක්ස්වාදීන්ගේ” අවිඥානය වන්නේද ලංකාවේ ගම්වල සිටින “අල්තිනායිලා” මුග්ධභාවයෙන් මුදවාලීමේ “පෙරටුගාමී” කාර්යය මගින්  “ජනතා විමුක්තිය” ලබා දීමයි. එනම් ඔවුන් සංවර්ධනයේ මාවතට ගෙන ඒමයි.    

ඒ අනුව සංවර්ධනය නිල මාක්ස්වාදීන්ගේ දෘෂ්ටිවාදී උරුමයකි. එබැවින් වාමාංශිකයින් සංවර්ධනය පිළිගැනීමෙහිලා කිසිදු න්‍යාය විරෝධයක් නැත. එහෙත් පෝට් සිටි වැනි සංවර්ධන ව්‍යාපෘති අරබයා ඔවුහු විරුද්ධවෙති. එක් පැත්තකින් ඔවුහු සංවර්ධනය පිළිගනිති. එපමණක් නොව “විමුක්තිය” සඳහා වන එකම මාවත එය බවද විශ්වාස කරති. අනෙක් පැත්තෙන් පාරිසරික විනාශයට එරෙහි වෙති. එය බිත්තර නොකඩා ඔම්ලට් සාදනවා වැනිය. පාරිසරික සමතුලනය රැකගෙන සංවර්ධන ව්‍යාපෘති කළ හැකිනම් ඊට වාමාංශිකයින් පමණක් නොව ලිබරල්වාදීහුද කැමතිය. මන්දයත්  පාරිසරික ව්‍යසන යනු  මුලුමහත් මානව ප්‍රජාවම ඉදිරියේ ඇති ජීවිතයත් මරණයත් අතරවන ගැටලුවකි. මෙම ගැටලුව ධනවාදී ලෝකය තුළ ඇති පදම් සාකච්ඡාවට බදුන්කොට ඇත. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට අමතරව විවිධ කාලවල ලෝක නායකයින් එකග වූ විවිධ සම්මුතීන් හා ප්‍රඥප්ති ඕනෑ තරම් තිබේ. රම්සා සම්මුතිය (1971), වියානා සම්මුතිය (1985), මොන්ට්‍රියල් සංධානය (1987) ,බාසල් සම්මුතිය (1989), කියතෝ සම්මුතිය (1997) හා පැරිස් සම්මුතිය (2015), මීට නිදසුන්‍ කීපයකි. (ඇත්ත වශයෙන්ම ගත් විට එකම විටක “ඩෝසරයට එරෙහිව” සම්මන්ත්‍රණ පවත්වන අතරම “රට “සංවර්ධනය” වී නැති බවට අවලාද නගන වර්ගයේ විකාර වාමාංශිකයන්ට වඩා පරිසර ප්‍රශ්න “කළමනාකරණය” කිරීම සම්බන්ධයෙන් වැඩි දෙයක් කර ඇත්තේ ලිබරල් නායකයන් විසිනි.) තිරසාර (ධරණීය) සංවර්ධනය නමින් මහත් උද්යෝගයෙන් උඩ දැමූ සංකල්පවලටද, සංවර්ධනය නමින් මිනිසා පරිසරය වෙත කල බලපෑමේ  අර්බුදයට විසඳුම් සොයා ගත නොහැකි විය. ඒ වෙනුවට සිදු වූයේ අර්බුදයය තව තවත් උග්‍ර වීමයි.මේ සියලු විසදුම්වල පොදු කතිකාව වූයේ , සංවර්ධනය ද එලෙසම පවත්වාගෙන යමින් පාරිසරික අර්බුදය “කළමනාකරණය” කරන්නේ කෙසේද යන්නයි. වාමාංශිකයින්ගේ පෝට්සිටි විරෝධයේ එළඹුමද එයයි. දෙගොල්ලෝ එකිනෙකා සම්පාත වෙති .එනම් පාරිසරික විනාශයකින් තොරව සංවර්ධනය අරබයා ලිබරල්වාදී ගෝලීය විසඳුම් හා වාමාංශිකයින්ගේ පෝට් සිටී විරෝධය යන දෙකම අවසාන වශයෙන් ස්ථානගතවනේ “කළමනාකරණ කතිකාවකය” (management discourse). (සැබවින්ම අද වන විට වම-දකුණ බේදයක් නැතිව සමස්ත  “දේශපාලනයම” කළමනාකරණ කතිකාවකි.) එහෙත් එම කතිකාවෙන් එළියට පනින පාරිසරික විනාශයේ සැබෑ චිත්‍රය ඉතා බියකරුය.  පූර්ව කාර්මික යුගය හා ඉන් පසු මේ දක්වා වන සමාජ යුගය සැසදීමෙන් සංවර්ධනයේ ප්‍රතිවිපාක ලෙස අපට හමුවන පාරිසරික විනාශයේ සංඛ්‍යා දත්ත (සංඛ්‍යා දත්ත යනුද මේ ප්‍රගතියේ දැනුම විසින්ම නිපදවන ලද්දක් වන අතර සංඛ්‍යා ලේඛන කිසිවිටෙකත් සත්‍ය තත්ත්වය නිරූපණය කරන්නේ නැත. කොවිඩ් ගැන සංක්‍යා දත්ත හැමවිටම සැක සංකාවලට ලක් වන්නේ හුදෙක් ආණ්ඩු ඒවා මැනිපියුලේට් කරන නිසාම නොව සත්‍යය දත්තවලින් ලිස්සා යන බැවිනි.)  මේ පිළිබදව අසම්පූර්ණ වුවත් පැහැදිලි චිත්‍රයක් අප ඉදිරියේ දිග හරී. කෙටියෙන් කියතොත් මානව සමාජය සංවර්ධන මාවත දිගේ ප්‍රගමනය හා දියුණුව වෙත ආ ගමනේ අවසන් ශේෂ පත්‍රය ලෙස, ආහාර , වාතය හා ජලය යන මූලික මනුෂ්‍ය අවශ්‍යතා ත්‍රිත්වයම අර්බුදයට ගොස් ඇත. එය නම් සංඛ්‍යා දත්තවලට මෙහායින් දෛනික ජීවිතයේදී  අපට මුණ ගැසෙන දෙයයි. එහෙයින් මානව සමාජයට “සංවර්ධනයේ”, “දියුණුවේ”, සහ “ප්‍රගතියේ” දෘෂ්ටිවාදයෙන් ( මෙය ධනවාදයේ මෙන් ම සමාජවාදයේද දෘෂ්ටිවාදයයි) එළියට යන තාක් කල් “පාරිසරික සමතුලනය“ පිළිබඳ සිතීමටවත් නොහැක. සැබවින්ම මිනිස් සමාජය මෙකී දෘෂ්ටිවාදයන්ගෙන් පිටමං වූ කල පාරිසරික සමතුලනය පිළිබඳ කතිකාව ද අතුරුදහන් වනු ඇත. මන්දයත් පාරිසරික සමතුලනය පිළිබඳ කතිකාවමත් නූතනවාදි විද්‍යාත්මක කතිකාවක්වන බැවිනි. ඊට මෙහා සිදුවන  පෝට්සිටි විරෝධතා වැනි ලාමක ටිං ටිං විරෝධතා යනු තමන්ද පවතින බව තමන්ටත් අනෙක් අයටත් තහවුරු කර ගැනීම සඳහා පමණක් වැදගත් වන “කාලීන” විරෝධතාය. දේශපාලනය යනු කළමනාකරණය නොවේ. දේශපාලනයේදී නැගිය යුත්තේ “කළමනාකරණය කරන්නේ කෙසේද? යන බහුභූත ප්‍රශ්නය නොව මේ “සංවර්ධනය”, “ප්‍රගතිය”, “දියුණුව” කුමක්ද? කුමටද? කා සඳහාද? යන අති මූලික ප්‍රශ්නය. වෙනත් ලෙසකින් කිවහොත් “දේශපාලනය” යනු  මේ දෘෂ්ටිවාදී ගුහාව  සරසන විදිය, එය ආලෝකවත් කළ හැකි විකල්ප ක්‍රම, එහි එය තුළට ජලය කාන්දු වීම වලක්වන “පරිසර හිතවාදී” ක්‍රම වැනි නහුතයක් යෝජනා ඉදිරිපත් කිරීම නොව ඉන් පිටවීමය. එය දේශපාලනයක් වන්නේ කිසිවෙකුටත් තනිව ඉන් පිටවිය නොහැකි නිසාය.

පහත ලිපි ලේඛන ඇසුරු කෙරිණ 

ඉලින් , එම්. , සහ සේගාල් , වයි. (1997). මිනිසා යෝධයකු වූයේ කෙසේද. මොස්කව් : ප්‍රගති ප්‍රකාශකයෝ .

එංගල්ස් , එෆ්. (n.d.). වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේදී ශ්‍රමය ඉටුකළ කාර්යය. Retrieved from Left Library: https://drive.google.com/file/d/0Byhq2Tw14s4SOWt5U1p2TDhPbzA/view?resourcekey=0-hLgKqEEDfgHtStAqR4q8GA

Lenin, V. (2002). The New Economic Policy And The Tasks Of The Political Education Departments Report To The Second All-Russia Congress Of Political Education Departments October . Retrieved from marxist.org: https://www.marxists.org/archive/lenin/works/1921/oct/17.htm

     .

-ප්‍රසන්න අබේවික්‍රම